රටක් වටින දූ පුතුන් හැදූ අම්මලා

ගොඩක් වෙලාවට අපිට මුණ ගැහෙන දැවැන්ත චරිත පිටිපස්සේ සැඟවුණු චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි ඔහුගේ හෝ ඇයගේ අම්මා සහ තාත්තා. මේ නිසා අපි හිතුව හැමදාම මේ දැවැන්ත චරිත ගැන විතරක් කතා කරන්නෙ නැතුව ඒ චරිත පිටිපස්සේ හිටපු අම්මලා සහ තාත්තලා ගැනත් කතා කරන්න. මේ ඒ වගේ ලිපි පෙළක ආරම්භය. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ දන්න කියන සුප්‍රකට චරිත කිහිපයක් බිහිකරපු අම්මලා ගැන.

 

1. නාලිනී වික්‍රමසිංහ 

රනිල් වික්‍රමසිංහට බොහෝ දෙනා චෝදනා කළත් ඔහුගේ මව නාලිනී වික්‍රමසිංහ මැතිනිය ගැන විරුද්ධවාදීන් පවා කතා කරන්නේ මහත් ගෞරවයකින්. ලංකාවේ පුවත්පත් කලාවේ දැවැන්තයෙක් වුණු ඩී. ආර් විජේවර්ධන මහතාගේ දියණිය වුණු ඇය පස්සේ කාලෙක ලේක්හවුස් ආයතනයේ ප්‍රධානත්වය පවා ඉසිලුවා. ඇය කියන විදියට ඇගේ ජීවිතයට ලොකු බලපෑමක් කරලා තියෙන්නේ ඇගේ ආච්චි අම්මා වුණ හෙලේනා විජේවර්ධන මැතිනිය. කලාව කෙරෙහි දැඩි ලැදියාවක් දැක්වූ ඇය පොත පත කියවීමට දැක්වූයේ ඇබ්බැහියක්. රනිල් වික්‍රමසිංහටත් මේ පුරුද්ද ඇතිවුණේ ඇයගෙන්.

 

2. දෑල ශ්‍රද්ධා සිල් මාතාව

වර්තමාන දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ මව සිල් මාතාවක් බවට පත්ව තිබෙනවා. පිළියන්දල ප්‍රදේශයේ උපත ලද එතුමිය ගුරුවරියක් ලෙස කටයුතු කළ අතර සසර පුරුද්ද නිසාම දෝ පැවිදි දිවියට එළැඹී තිබෙනවා. නිලංග දෑල බණ්ඩාර මහතා දියවඩන නිලමේ ලෙස පත්වීමේදී මාළිගාවේ යතුරු භාර ගන්නා දින දළදා වහන්සේ ළඟටම ගොස් වැඳ පුදා ගැනීමට ලැබීම තම ජීවිතයේ ලැබූ උත්තරීතර භාග්‍යයක් ලෙස එතුමිය සලකනවා.

 

3. නාලිනී සේනානායක 

සේනක සේනානායක කියන නම අපේ රටේ මිනිස්සුන්ට එතරම් හුරුපුරුදු නමක් නොවුනට ඔහු ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ චිත්‍ර ශිල්පියෙක්. කුඩා කාලයේ අතිශය දඟ දරුවකු වුණු සේනක පෙර පාසල් යන අවධියේ පටන් චිත්‍රශිල්පියෙකු වීමේ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. එතැන් පටන් ඔහුගේ එම දක්ෂතා දියුණු කර ගැනීමට ඇය තමන්ගේ උපරිම දායකත්වය ලබා දුන්නා.

 

4. චාලට් පෙරේරා

ඇතැම් තැන්වලදී ආන්දෝලනාත්මක චරිතයක් වුණත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් කියන්නේ අපේ රටේ බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරන්න දායක වුණු හිමිනමක් බව විවාදයකින් තොරව පවසන්න පුළුවන්. උන්වහන්සේව මෙලොවට බිහි කළ පින්වන්ත මාතාව වන්නේ චාලට් පෙරේරායි. එතුමිය පවසා තිබෙන ආකාරයට එක දිගට දියණිවරුන් තිදෙනෙක් ලැබීමෙන් පසුව කතෝලික ඇය කිරිබත්ගොඩ පන්සලේ බෝධීන් වහන්සේට භාරයක් වී තිබෙනවා. ඒ තමන්ට පුතෙකු ලබා දෙන ලෙසයි. ඒ අනුව ලැබුණු දරුවා සසර පුරුද්ද අනුව කිරිබත්ගොඩ ඤාණාණනන්ද නමින් ධර්ම ප්‍රචාරයේ යෙදීම තවත් එක් ප්‍රාතිහාර්යයක්ම නොවන්නේද? 

 

5. සිත්ති රලීනා 

මෑතකාලීන මුස්ලිම් දේශපාලනය තුළ ඉහළටම ගිය කාන්තාවක් විදිහට ෆේරියල් අශ්රොෆ් මැතිනිය හඳුන්වන්න පුළුවන්. ඇගේ මව වුණු සිත්ති රලීනා මැතිනිය ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් පවුලකට අයත් තැනැත්තියක්. ගම්පොළ ප්‍රදේශය උපන්ගම කරගත් ඇය පාසල් අධ්‍යාපනය නිම කළත් උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් තමන්ට අහිමි වුණු එම අවස්ථාව තම දියණියන්ට ලබාදීමට එතුමිය කටයුතු කළා. එසේම ඇය එවකට පැවති සම්ප්‍රදාය අනුව ළාබාල වියේදීම විවාහ ජීවිතයට එළැඹුනත් තම දියණියන්ට නිසි වයස එනතෙක් විවාහ කර දීමට උනන්දු වූයේ නැහැ.

 

6. බාබ්රා රාමනායක

දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබූ බාබ්රා රාමනායක ඉගෙනුමට දක්ෂ තැනැත්තියක් වුණා වගේම යහපත් ගෘහණියක් වීමට අවශ්‍ය දැනුමත් තම පවුල තුළින් ලබා ගත්තා. පසු කලෙක මේ සියළු දැනුම රෝසි සේනානායක ඇතුළු තම දරුවන් උස්මහත් කිරීමේදී වැදගත් වූ බව ඇය පවසනවා. සිය දියණියගේ සෑම කටයුත්තකදීම සෙවනැල්ලක් ලෙස සිටි ඇය සිය බෑනා වූ අතුල සේනානායකගෙ ව්‍යාපාරික කටයුතු සඳහාත් තම උපරිම දායකත්වය ලබා දුන්නා. 

 

7. බ්‍රෙන්ඩා හේරත් ගුණරත්න

කාලෙකට පෙර පාර්ලිමේන්තුවේ මහලේකම් ධූරය දැරූ ප්‍රියානි විජේසේකර එම භාරදූර තනතුරේ වගකීම් නොපිරිහෙලා ඉටු කළ තැනැත්තියක් ලෙස ගෞරවාදරයට ලක් වනවා. එතුමියගේ මව වන බ්‍රෙන්ඩා හේරත් ගුණරත්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය කාන්තාවක්. සිය සැමියා සහ දරුවෙකු අහිමි වීමෙන් අනතුරුව දුෂ්කර ජීවිතයක් ගත කළ ඇය සිය දියණියන් තිදෙනා උස්මහත් කිරීමට මහත්සේ කැපකිරීම් කළා.

 

මේ ආරම්භක ලිපිය ලිවීම සඳහා අපි භාවිතා කළේ ලංකාවේ පුවත්පත් කලාවේ නොමැකෙන නමක් තබා තිබෙන සුවිශේෂී අම්මා කෙනෙක් වන ශ්‍රියා රත්නාකර මැතිනියගේ “මවක මතක” කෘතියයි. එතුමිය වගේම මේ ලිපියට ඇතුළත් වූ අම්මලා කීපදෙනෙක් මේ වෙනකොට ජීවිතෙන් සමු අරන් ඉන්නවා. එම සියළු අම්මලාට මේ ලිපිය උපහාරයක්ම වේවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *