දැන් ඔය කායවර්ධන මධ්‍යස්ථාන තියෙන්නේ? ඒ කියන්නේ ජිම්නේසියම් නැතිනම් තේරෙන විදියට කිවුවොත් ජිම්? ආන්න ඒවලට කොල්ලො කෙල්ලො යනවනේ. යන්නෙ නැතිනම් අදම යන්න පටන් ගත්තත් කමක් නෑ. මොකද, අපි හැමදාමත් කියන විදියට ශරීර සුවතාවය ඉතාම වැදගත්. හැබැයි ඉතින් ගැලපෙන හොඳ ජිම් එකක් හොයලා, සල්ලි ගෙවලා යන්න පටන් ගන්න එක විතරක් මදි. ජිම් එකකට ගියාට පස්සේ හැසිරෙන්න ඕන විදියක් තියෙනවා. ආන්න ඒවා දැනගන්නත් ඕන ජිම් යනවා නම්. අන්න ඒ දේවල් ගැන තමයි මේ කියලා දෙන්න යන්නේ.
1. ටවල් එකක්
අපි ජිම් එකට යනකොට සාමාන්‍යයෙන් ටවල් එකක් අරගෙන යනවනේ. ඒ දාඩිය පිහිදන්නද? ඔව්, දාඩිය පිහිදන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම ටවල් එකක් හෝ රෙදි කෑල්ලක් තියෙන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඔය ජිම් එකට ගියාට පස්සේ අපි එක එක මැෂින් පාවිච්චි කරනවනේ. දැන් එක්සයිස් මැෂින් එකක් පාවිච්චි කළාට පස්සේ අපිටත් දාඩිය දානවනේ. එහෙම දාඩිය දැම්මහම මැෂින් එකේ ආම්ස් වල එහෙම දාඩිය ගෑවෙනවා. එතකොට අපි මැෂින් එකක් පාවිච්චි කරලා ආවට පස්සේ, තව කෙනෙක් මැෂින් එක පාවිච්චි කරන්න ගියහම එයාලගේ අත් වල අපේ දාඩිය ගෑවෙනවා. ඒක අප්සට්නේ. ආන්න ඒකට තමයි අර ටවල් එක ඕන. මැෂින් එකක් පාවිච්චි කළාට පස්සේ ඒකේ ගෑවෙන අපේ දාඩිය ටවල් එකෙන් පිහිදන්න. අන්න ඒක හොඳ පුරුද්දක්.
2. ගත්ත දේ ගත්ත තැනින්
ජිම් එකේ තියෙන මැෂින් නම් සාමාන්‍යයෙන් එහා මෙහා කරන්න ටිකක් අමාරුයිනේ. හැබැයි අපි වර්ක්-අවුට් එකක් කරනකොට එහා මෙහා කරන්න සිද්ධ වෙන සෑහෙන දේවල් තියෙනවා. වේට්ස්, ඩම්බෙල් වගේ එක එක දේවල්. මේ දේවල් සම්බන්ධව තියෙන රීතිය ඉතාම සරලයි. ගත්ත දේ ගත්ත තැන මතක තියාගෙන ඉඳලා ගත්ත තැනින් තියන්ඩ. එච්චරයි. එහෙම නැතිනං ඉතින් සමහර වෙලාවට ජිම් එකේ අයියගෙන් හොඳ පදෙන් අහගන්නත් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එහෙම ගත්ත දේ ගත්ත තැනින් නොතියන එකෙන් කරදරේ වෙන්නේ අනික් අයටමයි.
3. ආපු වැඩේ ෆර්ස්ට්
මෙන්න මේක ප්‍රධානතම කාරණාවක්. දැන් අපි ජිම් එකට යන්නෙ මොකටද? අර මැෂින් වලට ඉස්සරහින් ඉඳලා සෙල්ෆි ගන්න? කොල්ලෙක් එක්ක කයියක් දාගෙන ඉන්න? කෙල්ලෙක්ව ටෝක් කරලා බලන්න? ආන්න වැරදි හේතු. ජිම් යන්නේ ශරීර සුවතාවය හදාගන්න. අන්න එතකොට ඒකට තමයි මුල් තැන ලැබෙන්න ඕන. හරි, නිකම් ජිම් එකට ගිහින් යකඩ ගිලින බුම්මට්ටා වගේ තනියම වර්ක් අවුට් කරන එක පොඩ්ඩක් අප්සට් තමයි. හැබැයි අපි මේ කියන්නේ, ජිම් එකට ගිහිල්ලා එක්කෝ හතර අතේ සෙල්ෆි ගහ ගහා හරි, කාව හරි කයියට සෙට් කරගෙන හරි ඉන්න එපා කියන එක. ඒකෙන් ජිම් එකේ අනික් අයටත් වාතයි. විශේෂයෙන්ම ජිම් එකට ගොඩක් සෙනඟ එන දවසකට එහෙම ඒ විදියට හැසිරෙන එක අන්තිම කරදරකාරී වැඩක්.
4. ජිම් උපකරණ අයිති කරන් ඉන්න එපා
ඔන්න සමහරු ඉන්නවා, ට්‍රෙඩ්මිල් එකකට නැග්ගට පස්සේ ඔහේ නාකි බල්ලො කොළඹ යන්නැහේ අඩුම සෙටින් එකට දාගෙන ඇවිදිනවා. ඒ අතරේ කෝල් අරගෙන මල් කඩනවා, මනෝ ගහනවා, තනියම හිනාවෙනවා. කොහොම හරි පැයක් විතර ට්‍රෙඩ්මිල් එකේ ඉන්නවා. දැන් එතකොට ට්‍රෙඩ් මිල් එක පාවිච්චි කරන අනික් එවුන් ඒ වෙලාවට ජිම් එක වටේ දුවන්නද ඕන? ඔය වගේම තමයි සමහරු මහන්සියි කියලා හති අරින්නෙත් ට්‍රේනින් බෙන්ච් එකක වැතිරිලා. ඉතින් ට්‍රේනින් බෙන්ච් එක පාවිච්චි කරන්න ආපු අනික් එකා ඩම්බෙල්ස් අත් දෙකේ එල්ලගෙන බලං ඉන්න ඕන මූ හති ඇරලා ඉවර වෙනකල්. බලනකොට ඌ එහෙම්මම නිදි!
අන්න ඒ වගේ ජිම් එකේ මැෂින් සහ උපකරණ තනිසම්බුද්දියේ පාවිච්චි කරන්න යන ආත්මාර්ථකාමී ඩයල් වෙන්නත් එපා. හැම වෙලේම හැකි ඉක්මනට තමන්ගේ සෙෂන් එක ඉවර කරලා, තව කෙනෙක්ට ඉඩ දෙන්න.
5. අන්‍යෝන්‍ය සහයෝගය
සාමාන්‍යයෙන් ජිම් යනකොට අපිට පාර්ට්නර් කෙනෙක් ඉන්න එක වටිනවා. මොකටද? ඒකේ ප්රතිලාභ සෑහෙන්න තියෙනවා. හැබැයි ඒකෙන් වැදගත් එකක් තමයි අපේ සමහර වර්ක්-අවුට් වලට සහාය වීමට. සමහර වෙලාවට එහෙම නිශ්චිත පාර්ට්නර් කෙනෙක් නැතිනම් අපිට ඒ වෙලාවට ෆ්‍රී එකෙක්ව කතා කරගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ගමු, අපි වේට් ට්‍රේනින් කරනකොට අපිව ස්පොට් කරන එක. ඒ කියන්නේ, බර උස්සනකොට අපේ ආරක්ෂිත භාවය උදෙසා සහාය වීම.
දැන් එහෙම ජිම් බඩියෙක් අපිට වේට් ට්‍රේනින් කරනකොට උදවු කරනවා. ඊට පස්සේ අපි අපේ වැඩේ ඉවර කරගෙන තෑන්ක්ස් කියලා යනවද? එහෙම බෑ. අපිට උදවු කරපු එකාගේ වේට් ට්‍රේනින් එකට අපිත් සපෝට් කරන්න ඕන. අන්න ඒ අන්‍යෝන්‍ය සහයෝගය ජිම් එකකදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕනා.
6. BYOB?
මේ කියන්නේ ජිම් එකට යනකොට බොන්න අරන් යන්න කියලා නෙවෙයි. හැබැයි ජිම් එකට යනකොට තමන්ගේ වතුර බෝතලයක් සහ ටවල් එකක් වත් අඩු තරමින් ගෙනියන්න ඕන. මොකද, එව්වා පොදුවේ පාවිච්චි කළ යුතු දේවල් නෙවෙයි. විශේෂයෙන්ම මේ කොරෝනා කාලේ නම් තමන්ට වතුර බෝතලයක් සහ ටවල් එකක් අනිවාර්යයි. සාමාන්‍යයෙන් ජිම් එකක වතුර ෆිල්ටර් එකක් එහෙම තියෙන්න පුළුවන්. හැබැයි කෝකටත් හොඳයි තමන්ගේ වතුර බෝතලයක් තියෙන එක. මොකද, ජිම් එකට ගෙනියන වතුර බෝතලයක් තමන්ට කට තියලා වුණත් බොන්න පුළුවන් වෙන්න ඕන නිසා.
7. හඩු වෙන්න එපා
මේකත් ඉතින් ජිම් එකකදී පිළිපදින්න ඕන සහ සාමාන්‍ය ජීවිතේදී පිළිපදින්න ඕන අනිවාර්ය දෙයක්. ඒ තමයි පිරිසිදුකම. ඇයි ජිම් එකකදී මේක විශේෂ වෙන්නේ? ජිම් එකක් කියන්නේ අපි ඇඟ මහන්සි කරන තැනක්. සෑහෙන්න දාඩිය දාන තැනක්. ඉතින් එතකොට අද ඇඳන් ගියපු දාඩියෙන් පෙඟුණු ටී ෂර්ට් එකම රැක් එකේ දාලා තිබිලා හෙටත් ඇඳගෙන එනකොට, ජිම් එකේ අනික් එවුන් කොහොමද මහත්තයෝ නාහේ තියාගෙන ඉන්නේ? ඒ වගේම තමයි සපත්තු. දවස් පහක් එකම මේස් කුට්ටම දාන එක, සපත්තු දෙක පොඩ්ඩක් වේලෙන්නවත් තියන්නෙ නැතුව දාගෙන එන එක එහෙම ජිම් එකේ අපි ඉන්න වෙලාවට ඉන්න අනික් එවුන්ට දෙන වදයක් කියන එක තේරෙන්න ඕන. මොකද තමන් හඩු වෙනකොට, ඒකේ ඉෆෙක්ට් එක දැනෙන්නේ අනුන්ටනේ. අන්න ඒ නිසා!
Leave a Reply