මරණයට පාර කියන ජපානයේ අඔකිගහරා වනාන්තරය

ලංකාවේ අපිටනම් වනාන්තර කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි. විවිධ පරිසර පද්ධතීන්ට අයත් ජෛව විවිධත්වයෙන් පිරුණු වනාන්තර ලංකාවේ ඕනතරම්. ඒ වගේම තමයි ඒවගේ සුන්දරත්වය. ස්වභාවික පරිසරයේ මිහිර උපරිමයෙන් රැඳුන තැනක් තමයි කැලයක් කියන්නෙ. හැබැයි මරණීය හැඟීම් දනවන කැලයක් ගැන ඔබ අහල තියෙනවද? සත්තු සර්පයින්ගෙන් ඇතිවෙන අනතුරු ඇරුනහම වනාන්තරයක් ඇතුළේ වෙන ලොකු බය හිතෙන දේවල් අපි දැකල නැහැනේ. ඔන්න මේ කියන්න යන්නෙ එහෙම මරණීය සිතුවිලි ඇතිකරන වනාන්තරයක් ගැනයි. මේ ජපානයේ පිහිටලා තියෙන අඔකිගහරා වනාන්තරය. මේ වනාන්තරයේ සිදුවෙන අත්භූත සිදුවීම් නිසාම මේක ජපානයේ විතරක් නෙමෙයි, මේ ලෝකය පුරාම අතිශය ප්‍රසිද්ධයි. ඉතින් කියවල බලමුද මොකක්ද මේ වනාන්තරයක් ගැන කියන අමුතු කතන්දරය කියල?

 

1. අඔකිගහරා වනාන්තරය

මේ වනාන්තරය පිහිටල තියෙන්නෙ ජපානයේ. ජපානයේ ෆූජි ගිනිකන්දේ වයඹ කොටසේ පාමුල තමයි මේ අද්භූත වනාන්තරය පිහිටල තියෙන නිවැරදිම තැන. ෆූජි ගිනිකන්දෙන් ගලාගෙන ගිය ලාවා ගල්වීමෙන් නිර්මාණය වුණු ලාවා තට්ටුවක් මත තමයි මේ කැලයේ ගස්කොලන් වැවිල තියෙන්නෙ. වර්ග කිලෝමීටර 30ක පමණ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ මේ වනාන්තරය සියදිවි නසාගැනීමේ වනාන්තරය විදිහටත් හැඳින්වෙනවා. ලාවා තට්ටුව නිසා ගස්වල මුල් පොලව මතුපිට විසිරී යාමත් ස්වභාවයෙන් ගස් ඇඹරී තිබෙන ස්වභාවයත් නිසා මේ වනාන්තරය හරිම ගුප්ත ස්වභාවයක් ගන්නවා. ඒ වගේම වන සතුන් ඉතාම අඩුවෙන් වාසය කරන වනාන්තරයක් තමයි මේක. ඒ නිසාම හරිම ගුප්ත නිහඬභාවයක් මේ වනාන්තරයේ පුරාවට පැතිරිලා තියෙනවා.

 

 

2. විවිධ නම්

මේ අකිඔගහරා වනාන්තරය කියන්නෙ සියදිවි නසාගැනීම් වලට ඉතාම ප්‍රසිද්ධ වනාන්තරයක්. ඒ නිසාම Suicide Forest එහමත් නැත්තම් සියදිවි නසාගැනීමේ වනාන්තරය  කියලත් මේ අඔකිගහරා වනාන්තරය බොහොම ප්‍රසිද්ධයි. ඒ වගේම මේ වනාන්තරය හඳුන්වන තවත් නමක් තමයි ජුකායි කියල කියන්නෙ. මේ වචනයේ තේරුම තමයි Sea of Trees එහෙමත් නැත්තම් ගස් වැවුණ මුහුද කියන එක. මේ නම වනාන්තරය හඳුන්වන්න යොදාගන්න හේතුව තමයි ලාවා තට්ටුවක් මත ගස් වැවිලා තියෙන නිසා ඉහළින් බලනකොට ජල තලයක් මත වැවුන ගස් වගේ පෙනුමක් දර්ශනය වීම.  

 

 

3. භූගෝලීය ලක්ෂණ

කලිනුත් කිව්ව වගේ මේ වනාන්තරයේ පොළව මත වැඩිපුරම තියෙන්නෙ ගිනිකන්දෙන් ගලාගිය ලාවා ඝන වීමෙන් සෑදුණු ගල් තට්ටු. ඒ නිසාම වනාන්තරයේ පොළව ලේසියෙන් හාරන්න බැරි තරමට ඝනකම්. නරුසාවා අයිස් ගුහාව, ෆුගාකු සුළං ගුහාව සහ ලේක් සායි වවුල් ගුහාව මේ වනාන්තරයේ සංචාරක ආකර්ෂණය දිනාගත්ත ස්ථාන කිහිපයක්. වනාන්තරයේ තියෙන ලාවා තට්ටුවේ චුම්බක ක්ෂේත්‍රය නිසා මේ වනාන්තරය ඇතුළතදී මාලිමා යන්ත්‍ර හරිහැටි ක්‍රියාකරන්නේ නැහැ. 

 

 

4. ජෛව විවිධත්වය

කොහොමු උනත් මේ අඔකිගහරා වනාන්තරය කියන්නෙ ජෛව විවිධත්වය අතිනුත් හරිම සුන්දර වනාන්තරයක්. ගුප්ත බවත් එක්කම ඊට යටින් සැඟවුණු සුන්දරත්වයක් මේ වනාන්තරයේත් තියෙනවා. මහා ගොඩක් සත්තු නැති වුනත් කෘමීන් සහ මුවන්, හිවලුන් වගේ සතුන්, කුරුල්ලන් දකින්න පුළුවන්. ඒ වගේම ගස්කොළන් සහ මල් වර්ගත් ඕනතරම් දකින්න තියෙනව. හැබැයි මතුපිටින් තියෙන ගුප්ත බවත්, සියදිවි නසාගැනීම් වලටම ලැබුණ ප්‍රසිද්ධියත් නිසා මේ සුන්දර පරිසරය සැඟවිලා තියෙනව කිව්වත් වැරදි නැහැ. 

 

5. සියදිවි නසා ගැනීම්

ජපානය කියන්නෙ ලෝකයේ සියදිවි නසාගැනීම් ප්‍රතිශතය අතින් ඉහළින්ම ඉන්න රටවල් කිහිපයෙන් එකක්. පුරාණ සමුරායිවරුන් සියදිවි නසාගැනීමෙන් ගෞරවයක් ඇතිවෙන බවට තිබුණ චාරිත්‍රයත් ඒකට හේතුවක් විදිහට සැලකෙනවා. කොහොම උනත් 1950 ඉඳලා මේ දක්වාම මේ වනාන්තරය ඇතුළේ සියදිවි නසාගැනීම් බොහොම ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. 2003 වර්ෂයේ මේ වනාන්තරයේ වාර්තාගත සියදිවිනසාගැනීම් ප්‍රමාණය 105ක්. වනාන්තරය බොහෝම විශාල නිසාත් සැඟවුණු ප්‍රදේශ බොහෝමයක් ඇති නිසාත් මේ අගයත් හරියටම හරි කියන්න බැහැ. ඔය හේතුව නිසාම වනාන්තරය පුරා ගස්වල “ඔබේ ජීවිතය ඔබ දෙමව්පියන්ගෙන් ලද වටිනා ත්‍යාගයක්, සියදිවි නසාගැනීමට සිතේනම් කරුණාකර පොලීසිය අමතන්න” කියන තේරුම සහිත වැකි ප්‍රදර්ශනය කරලා තියෙනවා. 

2016 වසරේ ප්‍රදර්ශනය කෙරුණු The Forest වගේම 2013 වසරේ ප්‍රදර්ශනය කෙරුණු Grave Halloween කියන්නෙ මේ අද්භූත වනාන්තරය ගැන කියවෙන හොඳ සිනමා නිර්මාණ දෙකක්. 

 

 

6. කැලයේ අතරමන් වීම

මේ වනාන්තරයට ඇතුළත් වෙන කෙනෙක් ඒකෙන් පිටවෙන අගය අඩුයි කියල තමයි කියන්නේ. වනාන්තරයේ පිහිටීම එක්ක මඟ සොයාගන්න අපහසු වීමත්, කලින් කිව්ව වගේ ලාවා තට්ටුවල චුම්බක ක්ෂේත්‍රය නිසා මාලිමා හරිහැටි ක්‍රියා නොකිරීමත් නිසා පාර හොයාගන්න අපහසු වෙන බව තමයි කියන්නේ. ඒ වගේම වනාන්තරය තුළ සියදිවි නසාගත් මිනිසුන්ගේ භූත ආත්මයන් වලින් වෙන බලපෑමකුත් මේ අතරමන් වීමට බලපාන බව කියනවා. 

 

 

7. ඉතිහාසය

මේ අඔකිගහරා වනාන්තරය අතීතයේ වයස්ගත, ලෙඩවුණු පුද්ගලයින් මරණය සඳහා ගෙනිහින් අතහරින ප්‍රදේශයක් කියල ප්‍රසිද්ධයි. ඒ වගේම අතීතයේ භික්ෂූන් වහන්සේලා කුසගින්නේ මරණයට පත්වෙන බලාපොරොත්තුවෙන් මේ වනාන්තරයට ඇතුළත් වුණ බවත් කියවෙනවා. 1950 වර්ෂයේ ඉඳලම මේ දක්වාම මේ වනාන්තරයේ බොහොමයක් සියදිවිනසාගැනීම් සිදුවෙනවා. 1960 වසරේ ලියවුන “Tower of Waves” කියන ග්‍රන්ථයේ සියදිවි නසාගන්න තරුණ පෙම් යුවළක් මේ වනාන්තරයට ඇතුළත්වීමක් ගැන සඳහන්. කලින් මියගිය අයගේ නරක භුතාත්මයන් මේ වනාන්තරයේ සැරිසරමින් වනාන්තරයට ඇතුළත් වෙන මිනිසුන්ව සියදිවි නසාගන්න තැනට පොළඹවමින් සිතුවිලි වෙනස් කරන බවටත් විවිධ මතවාද පවතිනවා. කොහොම උනත් ජපානයේ ඉහළ සියදිවිනසාගැනීම් වලට මේ වනාන්තරයත් ලොකු හේතුවක් නිසා වනාන්තරය තුළ සිදුවෙන සියදිවි නසාගැනීම් වළක්වන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න ජපන් රජය උත්සාහ කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *