මාළු බිත්තර කියන්නෙ හුඟ දෙනෙක් නොදන්න නමුත් දන්න අය බොහොම කැමැත්තෙන් කන කෑමක්නෙ. ඉතින් වැඩි දෙනෙක් නොදන්න මේ මාළු බිත්තර වෙනස් වෙනස් රසට හදන හැටි තමයි අද අරන් ආවෙ. එකම විදියට හදන මාළු බිත්තර වලට එහෙනම් මේ වෙනස්කම් කරල හදල බලමුද? ඔන්න හදල රස බලල අපිට කියන්නත් අමතක කරන්න එපා හොඳේ.
1. බිත්තර ඩෙවල් / Devilled Fish Egg
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 200
- මිරිස්කුඩු තේ හැඳි 2
- තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 2
- කපාගත් ළූණු ගෙඩි 1
- තක්කාලි ගෙඩි 2
- මාළු මිරිස් කරල් 2
- ලුණු ස්වල්පයක්
- කෑලි මිරිස් තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- සෝයා සෝස් තේ හැඳි 2
- තක්කලි සෝස් තේ හැඳි 2
- මුලින්ම මාළු බිත්තර හොඳින් සෝදා කුඩා කැබලි වලට කපා ගන්න. ඒකට මිරිස්කුඩු, ලුණු දාලා සීසන් කරගන්න.
- මේක අවන් එකේ සෙල්සියස් 180° උෂ්ණත්වයට විනාඩි 30ක් විතර බේක් කරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා ඒක රත්වන කොට ඉඟුරු, සුදුළූණු, දාලා බැදගන්න. ඒකට මිරිස්කුඩු, කහකුඩු, ලුණු දමන්න. ඊට පස්සෙ සෝයා සෝස් සහ තක්කලි සෝස් කලවම් කර ගෙන ඒකට කපාගත් ළූණු ටික දමන්න.
- ටිකකින් කපාගත් තක්කාලි, මාළු මිරිස් දාලා හොඳින් කලවම් කරගන්න.
- ඊට පස්සෙ බේක් කරගත් මාළු බිත්තර ටික දාලා රස බලල ලුණු එකතු කරන්න.
2. ස්පයිසි ෆිශ් එග් කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 200
- ලියාගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 4ක්
- රම්පෙ හා කරපිංචා
- එනසාල්, කරාබු නැටි 2-3ක්
- කුරුඳු පොතු කෑල්ලක්
- තලාගත් සුදුළූණු බික් 4
- ගම්මිරිස් කුඩු
- කෑලි මිරිස් තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- බැඳගත් තුනපහ තේ හැඳි /2
- ගොරකා බික් 2
- අබ ටිකක්
- මුලින්ම මාළු බිත්තර හෝදලා ලුණු කැට ටිකක් දාලා තම්බගෙන කෑලි කපාගන්න.
- ඒ ටික භාජනයකට දාලා ඒකට අමුමිරිස්, රම්පෙ, කරපිංචා, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, තලාගත් සුදුළූණු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කහකුඩු, බැඳගත් තුනපහ, ගොරකා දාගෙන කලවම් කරගන්න.
- වෙනම ඇතිලියකට තෙල් දාලා රත් වෙන කොට අබ ඇට, තලාගත් සුදුළූණු, ලියාගත් ළූණු දාලා තෙම්පරාදු වෙන්න තියන්න. තෙම්පරාදු වී ගෙන එද්දි ඒ තෙල් එකටම මිරිස් කුඩු දාලා ඉක්මණින් කලවම් කරලා, පහේ කලවම් කරපු මාළු බිත්තර ටික ඉක්මණින් එකතු කර ගන්න. ඒකට වතුර චුට්ටක් දාලා, රස අනුව ලුණු දාලා උතුරවාගන්න.
3. පරා මාළු බිත්තර බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 500
- සිහින්ව ලියා ගත් ළූණු ගෙඩි 2
- සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 3
- චොප්කරගත් සුදුළූණු බික් 6
- රම්පෙ හා කරපිංචා
- කහකුඩු තේ හැඳි 1/4
- ලුණු හා ගම්මිරිස් කුඩු
- කෑලි මිරිස් තේ හැඳි 1
- අමු තුනපහකුඩු තේ හැඳි 1/2
- ගොරකා කෑල්ලක්
- කුරුඳු කෑල්ලක්
- තෙල් ස්වල්පයක්
- මුලින්ම මාළු බිත්තර වලට ලුණු, කහ, ගම්මිරිස්, ගොරකා හා වතුර ස්වල්පයක් එකතු කරගෙන තැම්බෙන්න තියන්න. තම්බාගත් බිත්තර අවශ්‍ය පරිදි කෑලි කපා ගන්න.
- තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වී ගෙන එද්දි ඒකට සුදුළූණු, ළූණු එක්කර තෙම්පරාදු වෙන්න තියන්න. ටිකකින් ඒකට කරපිංචා, රම්පෙ, කුරුඳු, අමුමිරිස් එක්කර තෙම්පරාදු කරන්න. දැන් ඒකට කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු හා අමු තුනපහ ස්වල්පයක් එක් කරලා කලවම් කරගන්න.
- තම්බා ගත් මාළු බිත්තර එකතු කරලා හොඳින් මිශ්‍ර කර ටික වේලාවක් පිස ගන්න. කැමති නම් මාළු බිත්තර තම්බපු වතුර ටිකක් එක් කරගන්න. හිඳුනම ලිපෙන් බාගන්න.
4. ගැඹුරු තෙලේ බැදගත් මාළු බිත්තර
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 300
- ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- දියකර ගත් පාන්පිටි ස්වල්පයක්
- බිස්කට් කුඩු ග්‍රෑම් 100
- මාළු බිත්තර කපන්නෙ නැතුව හොඳට සෝදාගෙන ටිෂූ එකකින් තෙත පිහදාගන්න.
- බිත්තරය පරිස්සමින් පොඩි කෑලි වලට කපා ගෙන ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ ටිකක් දාලා සීසන් කරන්න.
- පාන් පිටි වලට ලුණු සහ වතුර පොඩ්ඩක් දාලා කට්ලට් බැටර් එක වගේ හදාගන්න.
- මාළු බිත්තර බැටර් එකේ දාලා, බිස්කට් කුඩුවල තවරලා, ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න.
5. මාළු බිත්තර තෙලට
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 300
- හීනියට කපාගත් ළූණු ගෙඩි 2ක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2ක්
- කරපිංචා ස්වල්පයක්
- දෙහි බෑයක යුෂ
- ලුණු හා ගම්මිරිස් කුඩු
- කෑලි මිරිස් තේ හැඳි 1
- තෙල් ස්වල්පයක්
- මාළු බිත්තර වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීසන් කරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු, අමුමිරිස් ටික දාගන්න. ළූණු තෙම්පරාදු වෙනකොට කරපිංචා එකතු කරලා කෑලිමිරිස් දාගන්න. රස අනුව ලුණු දාලා මාළු බිත්තර ටික එකතු කරන්න. මාළු බිත්තර තැම්බෙනකම් අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න.
- ලිපෙන් බාලා දෙහි යුෂ ටිකක් දාගන්න.
6. මාළු බිත්තර කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 200
- විනාකිරි ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහ ටිකක්
- චොප්කරගත් සුදුළූණු බික් 2-3
- කපාගත් ළූණු
- රම්පේ හා කරපිංචා
- මිටිකිරි අවශ්‍ය පමණ
- මුලින්ම මාළු බිත්තර ටික හොඳින් සෝදා ගෙන පරිස්සමට පෑන් එකේ අතුරන්න. ඒකට විනාකිරි ලුණු, ගම්මිරිස්, වතුර චුට්ටක් දාලා ඒ වතුර හිඳෙනකන් තම්බාගන්න. ගොඩක් වතුර දාන්න එපා.
- වෙනම වළඳක තෙල් ටිකක් රත් කරගෙන ඒකට ළූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා, ලුණු, ගම්මිරිස් සහ කහ දාලා තෙම්පරාදු කරගන්න.
- මේකට තම්බගත්ත මාළු බිත්තර එකතු කරගෙන මිටිකිරි හොද්ද අවශ්‍ය පමණට එකතු කරන් උතුරවාගන්න.
7. මාළු බිත්තර චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 200
- බ්ලෙන්ඩ් කර ගත් තක්කාලි ගෙඩි 2
- සිහින්ව කපා ගත් අමුමිරිස් කරල් 3
- චොප් කරගත් ළූණු ගෙඩි 1
- කරපිංචා ස්වල්පයක්
- මින්චි කොළ ස්වල්පයක්
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි 1/2
- සීනි මේස හැඳි 1
- ලුණු කුඩු ස්වල්පයක්
- මාළු බිත්තර ටික ස්ටීම් කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා රන්වන් පැහැවන තුරු දෙපැත්ත හරවමින් ස්ටීම් කරගත් මාළු බිත්තර ටික හොඳින් බැඳගන්න.
- දැන් වෙනම පෑන් එකක් අරන් ඒකට තෙල් දාලා රත් වෙන්න තියලා ඒකට චොප් කරගත් ළූණු, අමුමිරිස්, කරපිංචා, මින්චි කොළ දාලා හොඳින් තෙම්පරාදු කරගන්න.
- මේකට මිරිස් කුඩු, කහකුඩු, ඉඟුරු සුදුළූණු දාලා හොඳින් මිශ්‍ර කරන්න. බ්ලෙන්ඩ් කර ගත් තක්කාලි ටිකත් දාගෙන හොඳින් කලවම් කරන්න.
- පෑන් එකේ පියන වසා විනාඩි 10 ක් පමණ පිසගන්න. ඊට පස්සේ ඒකට සීනි, ලුණු කුඩු දාලා හොඳින් කලවම් කරන්න.
- දැන් ඒකට මාළු බිත්තර ටික එකතු කරන්න. හොඳින් කලවම් කර විනාඩි 5ක් විතර පිසගන්න.
Leave a Reply