චෝලයෝ කියන්නේ අපේ රටේ ඉතිහාසයේ මුණ ගැහෙන එපාම කරපු සතුරෝ පිරිසක්. අවස්ථා ගණනාවකදී අනුරාධපුර රාජධානිය කොල්ලකන්න ඔවුන් සමත් වුණා. අනුරාධපුර යුගය බිඳ වැටෙන්නෙත් චෝල ආක්‍රමණයක් එක්ක. ඒ කොහොම වුණත් ඔවුන් බලවත් වුණේ අපේ රටේ දුර්වල පාලනයක් තිබුණු කාලවල කියන එකත් අකමැත්තෙන් වුණත් අපිට පිළිගන්න වෙනවා. ඒ නිසා අපි අද හිතුවා අපේ රටේ සතුරන් වුණු නමුත් චෝල ඉතිහාසය තුළ විශිෂ්ට ස්ථානයක් හිමිකර ගන්ත රජවරු කීපදෙනෙක් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න.
1. විජයාලය චෝල
දුරාතීතයේ ප්‍රකටව පැවති චෝල රාජධානිය පල්ලවයන්ගේ සහ පාණ්ඩවයන්ගේ නැගී සිටීමත් සමඟ කෙමෙන් කෙමෙන් අවනතියට ලක් වෙමින් තිබුණා. ප්‍රාදේශීය පාලකයෙකු ලෙස තම ගමන ආරම්භ කළ විජයාලය චෝල පළමුව තන්ජවූර් ප්‍රදේශය අත්පත් කොටගෙන පල්ලවයන් එම ප්‍රදේශවලින් නෙරපා හැරියා. මේ සිදුවීම චෝල අධිරාජ්‍යයේ ආරම්භය ලෙස සැලකෙනවා. එසේම මෙලොවින් අතුගෑවී යෑමට නියමිතව තිබූ චෝල සංස්කෘතිය යළි පුනර්ජීවය ලැබුවේ විජයාලය චෝලගේ මෙම ආරම්භය නිසායි.
2. පළවෙනි ආදිත්‍ය
සිය පියා වූ ආදිත්‍ය චෝල විසින් ආරම්භ කළ ගමන සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පළවෙනි ආදිත්‍ය සමත් වූ අතර සිය යුධ ශක්තිය පුළුල් කර ගැනීමෙන් අනතුරුව ඔහු පල්ලව රාජධානිය අත්පත් කර ගැනීමට සමත් වුණා. මෙම සිදුවීම දකුණු ඉන්දියාව පුරා බලවත්ව පැවැති පල්ලව අධිරාජ්‍යයේ අවසානය සනිටුහන් කරනු ලැබුවා. උග්‍ර ශිව බැතිමතෙකු වූ ඔහු කාවේරි නදියේ ඉවුරු පුරා ශිව දෙවියන් සඳහා කෝවිල් එකසිය අටක් නිර්මාණය කිරීම චෝල වංශ කතාවල මහත් භක්තියෙන් සනිටුහන්ව තිබෙනවා.
3. පළමු පරන්තක චෝල
සිය පියාගේ සහ සීයාගේ පරම අපේක්ෂාව වූ පාණ්ඩ්‍යය රාජධානිය අත්පත්කරගැනීමේ බලාපොරොත්තුව මස්තකප්‍රාප්ත කරගැනීමට පරන්තක චෝල සමත් වුණා. ඒ අවස්ථාවේදී පාණ්ඩ්‍යය රාජ්‍යයේ සහාය සඳහා සිංහල හමුදාවක්ද ගොස් තිබූ අතර එම හමුදාවද පරාජයට ලක් කිරීමට පරන්තක චෝල සමත් වුණා. පසුව ඔහු ලංකාව ආක්‍රමණය කරන්නේ පාණ්ඩ්‍ය රජු විසින් ලංකාව වෙත ආරක්ෂාව සඳහා එවා තිබෙන රාජකීය ආභරණ ලබා ගැනීම සඳහායි.
4. පළමු රාජ රාජ
පළමු පරන්තක චෝල රජුගෙන් පසුව යළිත් වතාවක් චෝල අධිරාජ්‍යය සිවිල් යුද්ධ ඇතිවීම සහ දුර්වල පාලකයන් සිංහාසනයට පත් වීම නිසා දුර්වල බවට පත්වූ අතර රාශ්ටකූට ආක්‍රමණයක් නිසා රාජ්‍ය බිඳ වැටීමට පවා ආසන්නව තිබුණා. මෙම සියළු අභියෝග මධ්‍යයේ චෝල අධිරාජ්‍ය යළි ශක්තිමත් කිරීමේ ගෞරවය හිමිවන්නේ රාජරාජටයි. යළිත් වතාවක් කේරළය සහ පාණ්ඩ්‍යය රාජ්‍ය චෝල පාලනය යටතට ගැනීමට සමත් වූ ඔහු ශ්‍රී ලංකාවද ආක්‍රමණය කරනු ලැබුවා. ඔහුගේ ආක්‍රමණය අනුරාධපුර රාජධානිය බිඳ වැටීමට හේතු පාදක වූ අතර පස්වන මිහිඳු රජු චෝල සිරකරුවෙකු ලෙස මියගියා.
5. පළමු රාජේන්ද්‍ර චෝල
ඉන්දියාව තුළ එතෙක් බිහිවූ බලගතු අධිරාජ්‍යයක් බවට චෝල අධිරාජ්‍යය පත් කිරීම පළමු රාජේන්ද්‍ර චෝල අතින් සිදුවුණා (ඇතැම් ඉතිහාස වාර්තාවලට අනුව අනුරාධපුර යුගයේ බිඳ වැටීම සිදු වන්නේ පළමු රාජේන්ද්‍ර චෝල රජු දවසයි). දකුණු ඉන්දියාව තුළ එතෙක් පැවති ප්‍රාදේශීය රාජධානි සියල්ලම පාහේ තමන් යටතට ගැනීමට සමත් වූ ඔහු උතුරු ඉන්දියාවේ කාලිංග සහ පාල රාජවංශය පරාජයට පත් කරනු ලැබුවා. එසේම අග්නිදිග ආසියාවේ ශ්‍රී විජය අධිරාජ්‍යයේ අවසානය සිදු වන්නටද පළමු රාජේන්ද්‍ර වෝලගේ ආක්‍රමණයක් හේතු වෙනවා
6. රාජාධිරාජ චෝල
රාජේන්ද්‍ර චෝලගේ යුද්ධ ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරනු ලැබුව ඔහුගේ පුතු වන රාජාධිරාජ, යුද්ධයටම උපන් කුමාරයෙකු ලෙස සමකාලීන මූලාශ්‍රවල සඳහන් වනවා. ලංකාවේ පැනනැගුණු කැරළි මර්දනය කිරීම මෙන්ම චාලුක්‍ය රාජධානියේ බලය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම ඔහුගේ පාලන කාලය තුළ සිදුවුණු බව කියවෙනවා. කෙසේ වෙතත් චාලූක්‍යයන් සමග සිදුවුණු සටනකදී රාජාධිරාජ මිය යෑම චෝල බලයේ ප්‍රගමනයට මරු පහරක් බවට පත්වුණා.
7. දෙවැනි රාජේන්ද්‍ර චෝල
රාජාධිරාජ සටනේදී මිය ගිය බව වටහාගත් චෝල සොල්දාදුවන් සටන අත්හැර පසුබැසීමට නියමිතව සිටියදී තමන් රාජාධිරාජගේ සොහොයුරා බවත් දැන් රජ තමා බවත් ප්‍රකාශයට පත් කරමින් දෙවැනි රාජේන්ද්‍ර චෝල යළිත් සේනාව සංවිධානය කරමින් සටනට පිවිසුණා. එහි ප්‍රතිඵලය වූයේ එම සටන ජය ගැනීම පමණක් නොව චාලුක්‍ය රාජධානිය තුළින් පැන නැගී තිබූ සියළු නොසන්සුන්තා මර්දනය වීමයි.
එහෙමනම් ඉතින් චෝල ඉතිහාසය පිළිබඳව මේ වගේම තවත් ලිපි කියැවීමට ඔබ කැමති නම් ඒ පිළිබඳව අදහස් කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේ ලිපිය දැනුමට වැදගත් බව ඔබට දැනෙනවා නම් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply