ඔබටත් ලෙජන්ඩ් එකක් වෙන්න වුවමනාද? එහෙමනම් දිගටම කියවන්න!

මේ දවස් වල අපිට සෑහෙන්න ලෙජන්ඩ්ස් ගැන අහන්න ලැබෙනවනේ. දැන් අපි වර්තමානයේ ලෙජන්ඩ්ස් විදියට අඳුනගන්නේ සනත් ජයසූරිය, අර්ජුන රණතුංග, ගාමිණී ෆොන්සේකා, මහගම සේකර, මාලිනී ෆොන්සේකා, රේ විජේවර්ධන වගේ අයවනේ. ඒ කියන්නේ ඒ ඒ ක්ෂේත්‍ර වල පතාක යෝධයෝ, එදා මෙදා තුර දැවැන්තයෝ කියන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ ලෙජන්ඩ් එකක් කියලා අපි හඳුන්වන මනුස්සයෙක් තමන් ඉන්න ක්ෂේත්‍රයේ යෝධයෙක් වෙන්නේ ඒ කාලෙට විතරක් නෙවෙයි. හරි ලෙජන්ඩ් එකකගේ නම සහ කරපු වැඩකොටස සදා අමරණීයයි. අන්න ඒක තමයි ලෙජන්ඩ් එකක් කියන එකට හරිම නිර්වචනේ. ඒ කියන්නේ කෙනෙක් පුරාවෘත්තයක් බවට පත් වෙන්න නම්, එයා කරපු දේවල් හැමකාලෙකටම අසමසම වෙන්න ඕන.

හරි, දැන් අපිට ලංකාවේ ගත්තත්, ලෝකේ ගත්තත් ඒ වගේ ලෙජන්ඩ්ස් ඉන්නවා. හැබැයි නිකමට හිතලා බැලුවද අපිත් කවදා හරි දවසක ලෙජන්ඩ් එකක් වෙයි කියලා? නිකම් හිතාගන්නත් අමාරුයි වගේ නෙහ්? හැබැයි ඇත්ත කතාව තමයි, අවශ්‍ය නම්, නොපසුබටව වැඩ කරන්න පුළුවන් නම් තමන්ටත් ලෙජන්ඩ් එකක් වෙන්න පුළුවන් කියන එක. හැබැයි මතක තියාගන්න, ලෙජන්ඩ් එකක් වෙන එක එක රැයින් හෝ මාසෙකින් හෝ අවුරුද්දකින් හෝ අවුරුදු පහකින් හෝ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෙජන්ඩ් එකක් වෙන්න නම් ජීවිතේ සැලකිය යුතු ප්‍රමාණයක් කැප කරලා අතිවිශිෂ්ට කාර්ය භාරයක් ඉෂ්ට කරන්න වෙනවා. අපි බලමු කොහොමද ලෙජන්ඩ් එකක් වෙන්න වැඩ කරන්න පුළුවන් කියලා.

 

1. තමන්ට කරන්න පුළුවන් මොනවද?

මුලින්ම තමන්ට පුළුවන් දේ මොනවද, බැරි දේ මොනවද කියලා තේරුම් ගන්න ඕනැනේ. තමන් ලෙජන්ඩ් එකක් වෙන්න නම් ලෝකෙට විශිෂ්ට දෙයක් ඉෂ්ට කරන්න ඕන. ඒ විශිෂ්ට මොකක් හෝ දෙය ඉෂ්ට කරන්නේ මොන පාරෙන්ද, මොන විදියකින්ද කියන එක තමයි හොයාගන්න වුවමනා කරන්නේ. තමන්ට විශිෂ්ට ගායන කුසලතාවක්, චිත්‍රකර්ම කුසලතාවක්, නර්තන කුසලතාවක්, සාහිත්‍ය කුසලතාවක්, රංගන කුසලතාවක් තියෙනවද? එහෙමනම් ඒ එක පාරකින් ගිහින් ලෙජන්ඩ් එකක් වෙන්න පුළුවන්. තමන්ට සාර්ථක බිස්නස්කාරයෙක් වෙලා, ලෝකෙට අලුත් බිස්නස් කන්සෙප්ට් අඳුන්වලා දෙන්න පුළුවන්ද? එහෙමනම්, ඒකත් හොඳ පාරක් ලෙජන්ඩ් කෙනෙක් වෙන්න. එහෙමත් නැතිනම් තමන්ට යම් දෙයක් ඉහළටම ඉගෙන ගෙන, ඒ ඉගෙන ගත්තු ක්ෂේත්‍රයට අලුතෙන් දැනුම එකතු කරන මට්ටමට එන්න පුළුවන්ද? අන්න ඒකත් ලෙජන්ඩ් එකක් වෙන්න පාරක්.

 

2. තමන් යන්නේ කොහාටද?

දැන් තමන්ට කරන්න පුළුවන් දේ අඳුනගත්තට පස්සේ, ඊලඟට හිතලා බලන්න ඕන තමන්ට ඒ පුළුවන් දේ ඔස්සේ යන්න ඕන කොතනටද කියන එක. හරි ලෙජන්ඩ් එකක් වෙන්න තමයි ඕන. හැබැයි ලෙජන්ඩ් එකක් වෙන්නේ කොතනට ගියොත්ද? ආන්න ඒක තමයි ලිහා ගන්න ඕන ප්‍රශ්නය. ඇත්තටම ලෙජන්ඩ් එකක් වෙන්න ඕන නම්, තමන් තෝරගන්න පාරේ ගිහින් ලෝකෙට විශිෂ්ට යමක් දායාද කරන්න ඕන. තමන්ගේ ආයුකාලය ඉවර වෙලා මැරිලා ගියත් ලෝකෙ මිනිස්සු යුග ගාණක් කතා කරන දෙයක් නිර්මාණය කරන්න ඕන. ආන්න ඒක තමයි ලෙජන්ඩ් එකක් වෙනවා කියන්නේ.

දැන් හිතලා බලන්න, තමන් තෝරගන්න ක්ෂේත්‍රයේ කූටප්‍රාප්තියට යන්නේ, ලෝකෙට දෙයක් ලබාදෙන්නේ කොහොමද කියන එක ගැන. ඔයා ගායිකාවක් නම්, ලෙජන්ඩ් එකක් වෙන්න පුළුවන් වෙන්නේ ලෝකෙට අමරණීය ගීත දායක කිරීමෙන්. එතකොට බිස්නස්මන් කෙනෙක් නම්, ලෝකෙට අලුත්ම බිස්නස් මොඩ්ල් එකක් නැතිනම් ලෝකෙටම ප්‍රයෝජනවත් බිස්නස් එකක් ලබාදීලා ලෙජන්ඩ් එකක් වෙන්න පුළුවන්. ඔයා දිගටම ඉගෙන ගෙන යම් ක්ෂේත්‍රයක ඉන්න අතිවිශිෂ්ටයෙක් වෙනවා නම්, ලෝකේ වෙනස් කරන, ලෝකේ යහපත් කරන දෙයක් ඒ ක්ෂේත්‍රයෙන් හඳුන්වලා දීලා විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්.

ඉතින් ඇත්තටම ලෙජන්ඩ් එකක් වෙන්න නම් තමන් යන්න ඕන කොතනටද කියන එක ගැන මුලින් හිතන්න ඕන.

 

3. පටන් ගන්නේ කොහෙන්ද?

හරි, කොහෙන් හරි පටන් ගන්න එපැයි. සමහර වෙලාවට පටන් ගැන්ම තියෙන්නේ මේ ආටිකල් එක කියවන එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ ගායන හැකියාව වර්ධනය කරගන්න සහ ගායනය හා සංගීතය ගැන වැඩිදුර ඉගෙන ගන්න ක්ලාස් යන්න පටන් ගැනීමෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ගේ ක්‍රිකට් ගහන්න තියෙන ආසාව එක්ක ඉස්කෝලේ ක්‍රිකට් ක්ලබ් එකට බැඳීමෙන් වෙන්න පුළුවන්. බිස්නස් එකක් කරන්න හිතාගෙන බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න පාඨමාලාවකට එකතු වීමෙන් වෙන්න පුළුවන්. තමන් ආස ක්ෂේත්‍රයක් ගැන ඉගෙන ගන්න පාඨමාලාවකට, උපාධියකට ලියාපදිංචි වීමෙන් වෙන්න පුළුවන්.  

 

4. වැටි වැටී නැගිටින්නේ කොහොමද?

දැන් ඔය විදියට එක තැනකින් පටන් ගත්තට පස්සේ කාගෙන කැපවීමෙන් දිගටම යන්නයි තියෙන්නේ. ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක් වෙන එක පැත්තකින් තිබ්බත්, යම් කිසි ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වෙන්න වුණත් යන්න තියෙන පාර ලේසි පහසු පාරක් නෙවෙයි. සෑහෙන්න බාධක එනවා. කරන කරන දේ අප්සට් යන්න පුළුවන්. නැත්තටම නැතිවෙයි කියලා හිතන ලෙවල් එකට වැටෙන්න පුළුවන්. හැබැයි, වැටෙන හැම මොහොතකදීම යන්න ආයෙමත් මුලට. හිතලා බලන්න තමන් යන ගමනේ අරමුණ මොකද්ද කියලා. ආන්න ඒ ගැන හිතලා ආයෙමත් ආයෙමත් නැගිටින්න. වැටෙන එකෙන් වැටෙන්න හේතුව ඉගෙන ගන්න. ආයෙමත් ඒ වැරැද්ද නොකරන්න හිතාගන්න. දැන් ආයෙමත් ගමන පටන් ගන්න.

 

5. අවුල්ම තැනින් වුනත් දෙයක් ඉගෙනගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් අපිට ලෙජන්ඩ් එකක් වෙන්න කියලා තනියෙන්ම වැඩ කරගෙන ඉස්සරහට යන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. ගොඩක් වෙලාවට අපිට තවත් අය එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි අපි හැමෝම එකිනෙකාට වෙනස් මිනිස්සුනේ. අන්න ඒ නිසා, අපිට හොඳ තැන් වගේම අවුල් තැන්, හොඳ මිනිස්සු වගේම අවුල් මිනිස්සු මුණගැහෙන්න පුළුවන්. හොඳ අවස්ථාවන්ට වගේම අවුල් අවස්ථාවන්ට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. කමක් නෑ. අපි කරන්න ඕන එකම දෙයයි. හොඳකට මුහුණ දීමෙදීත්, අවුලකට මුහුණ දීමෙදීත් අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද කියලා බලන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කරන කරන දේ වැරැද්දක් දකින බොසෙක් සෙට් වුණොත්, බලන්න බොසාගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවද කියලා. සමහර වෙලාවට මිනිහගේ එක්ස්පීරියන්ස් එක අනුව අපිට ගන්න දෙයක් තියෙන්න පුළුවන්.

කොටින්ම කියනවා නම්, තමන්ගේ ගමනේ අවුල්ම තැනක් වුණත් තමන්ගේ ගමනට ප්‍රයෝජනයක් බවට හරවගන්න.

 

6. තමන්ගේ ගමන තවත් එක් ජොබ් එකක් විතරද?

මෙන්න මේක ඉතාම වැදගත්. තමන්ට ලෙජන්ඩ් එක්ක වෙන්න ඕන නම්, තමන් කරන දේ ජොබ් මානසිකත්වයෙන් කරලා බෑ. ජොබ් මානසිකත්වය කියන්නේ, හරි පහට ගෙදර යන්න ඕන, මගේ ජොබ් එක මෙතනින් ඉවරයි, මෙතනින් එහාට දේවල් මට අදාළ නෑ වගේ ආකල්ප බැහැර කරන එක. තමන්ගේ ජොබ් රෝල් එකට අදාළ දේ එතනින් ඉවර වුණත්, එතනින් එහාට වෙන්නෙ මොකද්ද කියලත් පොඩ්ඩක් බලන්න. ඕන නම් ඉගෙන ගන්න. කවුරුත් ලීඩ් කරන්නෙ නැතිනම් තමන්ගේ ජොබ් රෝල් එකෙන් එහාට ගිහින් හරි ලීඩ් රෝල් එක ගන්න. කොටින්ම මේක ජීවිතේ තමන් කරන විශිෂ්ටම දේ කියන මානසිකත්වය මිසක්, මේක එක ජොබ් එකක් විතරයි කියන මානසිකත්වය තියාගන්න එපා.

 

7. අසාර්ථක වෙන්න බයද?

කෙනෙක්ට ලෙජන්ඩ් එකක් වෙන්න තියෙන ලොකුම හතුරෙක් තමයි මේ. දැන් හිතන්න, කෙනෙක් අපි උඩින් කියපු විදියට අධිෂ්ඨානයෙන් ඉදිරියට යනවා නම්, වෙන්න පුළුවන් දෙයක් තමයි එයා ගැන වටපිටාවේ අයටත් හොඳ හැඟීමක් ඇතිවෙන එක. ඒ කියන්නේ මේ මනුස්සයා තමන් කරන දේ දන්නවාය කියන හැඟීම. හැබැයි දැන් අනික් අය අපි ගැන එහෙම ඉහළින් හිතනවා කියලා දැනුනට පස්සේ, අපි දෙයක් ඉදිරිපත් කරන්න බයයි. ඇයි ඒක ෆේල් වුණොත් අනික් අය අතරේ තියෙන තත්ත්වයත් කුඩුපට්ටම් වෙනවනේ. ආන්න එතනින් මිදෙන්න. හරියන්න හෝ වරදින්න හෝ දේවල් කරන්න. වරදින දේවල් ආයෙ ආයෙ කරන්න. හරියන දේවලින් එහාට දේවල් කරන්න. අසාර්ථක වීමට බය නොවෙන්න.

 

8. තමන්ගේ ගමනේදී ලෝකේ ගැනත් හිතන්නේ කොහොමද?

ඔව්, ලෙජන්ඩ් එකක් වෙනවා කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රයේ ඉහළම සාර්ථකත්වයට ගමන් කිරීම නෙවෙයි. ඒකෙන් තමන් විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයෙක් වෙයි. හැබැයි ලෙජන්ඩ් එකක් වෙන්නෙ නෑ. ලෙජන්ඩ් එකක් වෙන්න නම් තමන් ලෝකෙට විශිෂ්ට දෙයක් දායක කරන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් සිංදු කියලා හොඳට හම්බ කරලා සුපිරි ලෙවල් එකේ ධනවතෙක් වුණා කියල තමන් ලෙජන්ඩ් එකක් වෙන්නෙ නෑ. ලෝකෙට අමරණීය ගීත සමුච්ඡයක් දායක කරන්න ඕන.

අන්න ඒ නිසා, තමන්ගේ මේ ගමන අතරතුරදී ලෝකෙට මොනවද දෙන්න පුළුවන් කියන එක ගැනත් බොහොම ගැඹුරින් හිතන්න.

 

9. ලෙජන්ඩ් එකක් වෙන්නේ කොහොමද?

දැන් මේ කියපු දේවල් තියෙනවා නේ? ආන්න ඒ දේවල් වලින් පටන් ගන්න. අසීමිතව කැප වෙන්න. තමන්ට යන්න පුළුවන් කියලා හිතෙන දුරට වඩා තවත් එහාට යන්න තමන්වම පොළඹවන්න. අන්තිමට ලෝකෙට අමරණීය දෙයක් දීලා, යුග ගාණක් පවතින නමක් ඉතුරු කරලා යන එක තමන්ගේ අරමුණ කියලා හිතට කාවද්ද ගන්න. එහෙම තමයි ලෙජන්ඩ් එකක් වෙන්නේ!

 

දැන් පැහැදිලියිනේ දළ වශයෙන් ගත්තහම ලෙජන්ඩ් එකක් වෙන්න යන්න ඕන පාර මොකද්ද කියලා? එහෙමනම් අද ඉඳන් වැඩ කරන්න පටන් ගන්නයි තියෙන්නේ. අඩු ගාණේ යුගයකට පස්සේ හරි අපිටත් ලෙජන්ඩ් එකක් වෙන්න පුළුවන් වෙයි එතකොට!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *