ලංකාවේ ගොඩාක් පාඨකයෝ පරිවර්තන කෘති කියවන්න කැමති ඒක නිකන් වෙන රටකට, සංස්කෘතියකට යන්න පුළුවන් ටිකට් එකක් වගේ නිසායි. ගිය අවුරුද්දේත් ගොඩාක් හොඳ පරිවර්තන කෘති ආවා. අද අපි ඒ වගේ පොත් හතක් ගැන කතාකරමු…
1. මරණයේ රළ නැගුම
ඔල්ගා ටොකර්චුක් කියන නම නම් ශ්‍රී ලාංකික පාඨකයාට ටිකක් ආගන්තුකයි. පෝලන්ත ලේඛිකාවක් වන ඇයගේ “Drive Your Plow Over the Bones of the Dead” කෘතිය “මරණයේ රළ නැගුම” නමින් පරිවර්තනය කරන්නේ නවක ලේඛකයෙක් වන රශ්මික මණ්ඩාවල. ඔහු මීට කලින් ශුක්රාන් කටාර් නමින් ස්වතන්ත්‍ර කෘතියක්ද නිර්මාණය කළා. පෝලන්තයේ ගමක ජීවත් වෙන ජැනිනා නම් කාන්තාව වටා ගෙතෙන තරමක් අභිරහස් ගණයේ කතාවක් සහිත කෘතියක් මේක….
2. ශිව ත්‍රිත්වය
මේ නමින් මේක දේව කතාවක් වගේ කියල හිතෙනවා ඇති. ඒත් මේක දේව කතාවකට වඩා කුතුහලය පිරුණු කතාවක්. මේ කතාව කොටස් තුනකට තමා පරිවර්තනය වෙන්නේ. පරිවර්තනය කළේ ජනප්‍රිය පරිවර්තකයෙක් වන කුමාර සිරිවර්ධන මහතායි. මේ පොත් ගැන කතාව කිව්වොත් නම් කුතුහලය නැතිවෙන්න පුළුවන්. අනිවාර්යයෙන් කියවන්න ඕන පොත් තුනක්…
3. සිල්කාගේ දිවිසැරිය
චන්දන ගුණසේකර මීට කලින් පරිවර්තනය කරපු “අවුෂ්විට්ස්හි පච්චකොටන්නා” පොතේ ලේඛකයා වන හෙදර් මොරිස්ගේම “Cilka’s Journey” පොතේ සිංහල පරිවර්තනය තමයි මේ. අවුෂ්විට්ස්හි පච්චකොටන්නා ලාංකික පාඨකයාගේ හිත්වල තදින්ම බැඳුණු කතාවක්. ඒ වගේම ඔහු පසුගිය වසරේ පරිවර්තනය කළ “පෙට් සෙමෙට්‍රි” කෘතියත් හොඳ ප්‍රතිචාර දිනාගත්තා. “සිල්කාගේ දිවිසැරිය” කෘතියට පාදක වෙන්නේ අවුෂ්විට්ස්හි සිරකාරියක් වන සුරූපි සිල්කාගෙ කතාවයි. මෙයත් ගොඩාක් හොඳ පාඨක ප්‍රතිචාර දිනපු කෘතියක්.
4. මිෂන් අයින්ස්ටයින්
දිලීප ජයකොඩි හුඟාක් ම ජනප්‍රිය වුණේ චේතන් භගත්ගේ පොත් පරිවර්තනවලින්. “මිෂන් අයින්ස්ටයින්” නම් ඔහුගේ නවතම පරිවර්තන කෘතියත් ගිය වසරේ සාහිත්‍ය මාසයේ තමා දොරට වැඩුණේ. Dean koontz ගේ “Watchers” කෘතිය තමයි මිෂන් අයින්ස්ටයින් නමින් සිංහලට හැරවෙන්නේ. මෙම කෘතියට පාදක වෙන්නේ බල්ලෙක්ගේ කතාවක්. බල්ලෙක් කිව්වට සාමාන්‍ය බල්ලෙක් නම් නෙමෙයි. විද්‍යාගාරයක මිනිසෙකුගේ මනසකට සමාන මනසකින් යුත් බල්ලෙක්. අමුතුම විදියේ, කුතුහලය පිරුණු, ඔබ කියවිය යුතුම පොතක්…
5. වෙස්ටවේ මහත්මියගේ මරණය
මේක නූතන ඇගතා ක්‍රිස්ටි කියලා හඳුන්වන රූත් වෙයාර් ගේ “The death of mrs. Westaway” කෘතියේ පරිවර්තනයක්. ලාංකීය පාඨකයින්ට නිතරම අපූරු ගුණාත්මක පරිවර්තන කෘතීන් දෙන ගංගා නිරෝෂිණී සුදුවැලිකන්දගේ පරිවර්තනයක් ලෙසින් තමයි මේ පොත ඔබ අතට එන්නේ. අවසානේ වෙනකන්ම කුතුහලයක් ඉතිරි කරපු කතාවක් රැගත්, ඔබ කියවිය යුතුම පොතක්…
6. ලෝහිත වසංගතය
ජැක් ලන්ඩන් කියන්නේ පරිවර්තන කෘති කියවන කෙනෙක්ට නම් අමතක නොවෙන නමක්. “වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්”, “වනපෙත අඬ” ගසයි වගේ ඔහුගේ කෘතිවල පරිවර්තන කෘති අතිශය ජනප්‍රිය වුණා. මේ කෘතිය පරිවර්තනය කරන්නේ චාරුණ්‍යා දෙහිගම මහත්මිය. ඇය මීට පෙර පරිවර්තනය කළ කොරියැන්ඩර්, නැන්බරි, බක් වගේ කෘතීන් හොඳ පාඨක ප්‍රතිචාර දිනාගන්න සමත් වුණා.
ලෝහිත වසංගතය නම් මේ කෘතියට පාදක වෙන්නේ 2073 වසරේ දී සිතාගත නොහැකි අන්දමේ බැක්ටීරියාවක් නිසා ඇතිවන වසංගතයක්. “The Scarlet Plague” මෙහි මුල් කෘතිය එළිදැක්වී තිබෙන්නේ 1912 වසරේ දීයි.
7. එක්ස්කැවේෂන්
ජේම්ස් රෝලින්ස් කියන්නේ ත්‍රාසජනක කෘති නිසා අතිශය ජනප්‍රිය වුණු කතුවරයෙක්. ඔහුගේ ඇමසෝනියා කෘතිය මීට පෙර මංජුල දිසානායක පරිවර්තකයාගේ අතින් ඒ නමින්ම පරිවර්තනය වුණා ඔබට මතක ඇති. මේ කෘතියත් ජේම්ස් රෝලින්ස් ගේම කෘතියක්. එයත් සිංහලට හැරවෙන්නේ මංජුල දිසානායක අතින්. ත්‍රාසජනක කෘතීන් කියවන්න කැමතිනම් අනිවාර්යයෙන් කියවන්න ඕන පොතක්…
මේ කෘති ගැන වගේම පසුගිය වසරේ ආව වෙනත් හොඳ පරිවර්තන ගැනත් ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා..
Leave a Reply