නෙදර්ලන්ත රජ පවුලේ සුවිශේෂී ආභරණ

යුරෝපයේ තවත් සුවිශේෂී රජ පවුලක් වන  නෙදර්ලන්ත රජපවුල ඒ රටවැසියන්ගේ මහත් ගෞරවාදරයට පත්වෙනවා. සිය නාවික ශක්තිය මත සම්පූර්ණ විශ්වාසය යොදා ගැනීමෙන් සිය රට වැනි දස ගුණයක් පමණ විශාල අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට නෙදර්ලන්ත වැසියන් සමත් වුණා. මේ නිසාම එරට සහ එරට රජ පවුල ආර්ථික වශයෙන් ඉතා සමෘද්ධිමත් තත්ත්වයකට පත් වුණා. අපි අද කතා කරන්න යන්නේ එරට රජ පවුල සතු ආභරණ එකතුවේ සුවිශේෂී ආභරණ කිහිපයක් පිළිබඳව.

 

1. ස්ටුවට් ටියාරාව (Stuart Tiara)

නෙදර්ලන්ත රජ පවුල සතුව පවතින විශිෂ්ටතම ටියාරාව ලෙස සැලකෙන්නේ මෙම ටියාරාවයි. එහි මධ්‍යයේ ස්ථාපනය කොට ඇති ස්ටුවට් දියමන්තියේ මුල් හිමිකරුවන් වූයේ පසු කලෙක මහා බ්‍රිතාන්‍යයේ රජ වූ තුන්වැනි විලියම් රජු සහ දෙවැනි මේරී බිසව ලෙස සැලකෙනවා. නෙදර්ලන්තයේ වර්තමාන රජු වන ඇලෙක්සැන්ඩර් රජුගේ මිත්තණිය වන  විල්හෙල්මිනා රැජනගේ  ප්‍රියතම ශීර්ෂාභරණයක්  වූ මෙම ටියාරාව වර්තමාන රජ බිසව වන මැක්සිමා බිසවද විවිධ උත්සව අවස්ථා සඳහා භාවිතා කරනවා.

 

2. ඩච් සෆායර් ටියාරාව (Dutch Sapphire Tiara)

නෙදර්ලන්තයේ රජෙකු වූ තුන්වෙනි විලියම් විසින් සිය බිසව වන එමා බිසව සඳහා එරට ආභරණ සමාගමක් හරහා මෙම ටියාරාව නිර්මාණය කොට තිබෙනවා. මුල් කාලීන වාර්තා වලට අනුව මෙම ටියාරාව කොටස්වලට වෙන් කොට විවිධ ආභරණ ආකාරයෙන් පැළඳීමට හැකි ආකාරයට සකසා තිබෙනවා. ඊට අමතරව මෙම ටියාරාව සමග  හිස පීරන පනාවක්ද නිර්මාණය කොට ඇති බව කියවෙනවා. පසුව මෙය කොටස් වෙන් කළ නොහැකි ආකාරයට සකසා ඇති අතර, ඊට ඇතුළත් කර තිබූ මැණික් ප්‍රමාණය ද යම් වෙනසක් කොට තිබෙනවා.

 

3. ඩච් එමරල්ඩ් පරූර් ටියාරාව (Dutch Emerald Parure Tiara)

එමා බිසව විසින් සිය දියණිය වන විල්හෙල්ම්නා රැජින සඳහා මෙම ටියාරාව සකස් කොට තිබෙනවා. මුල් කාලයේ මෙම ටියාරාව සඳහා මරකත මැණික් හයක් ඇතුළත්ව තිබුණත්, වර්තමානයේදී ඊට ඇතුළත් වන්නේ මැණික් හතරක් පමණයි. ඉතිරි මැණික් දෙක ටියාරාවෙන් ඉවත් කොට කර්ණාභරණ දෙකක් සකසා තිබෙනවා.

 

4. මෙලීරියෝ රූබි පරූර් ටියාරාව (The Mellerio Ruby Parure Tiara)

මෙම ටියාරාවද එමා බිසව වෙනුවෙන් තුන්වෙනි විලියම් රජු විසින් සකස් කොට ඇති අතර ඒ සඳහා පද්මරාග මැණික් භාවිතා කිරීම විශේෂ කාරණයක්. අනෙකුත් මැණික්වලට සාපේක්ෂව යුරෝපයේ රාජකීය ආභරණ සඳහා පද්මරාග මැණික් භාවිතාවීම දකින්නට ලැබෙන්නේ දුලබවයි. වර්තමාන බිසව වන මැක්සිමා සිය පළමු නිල ඡායාරූපය සඳහා පෙනී සිටීමට තෝරා ගත්තේ ද මෙම ටියාරාවයි.

 

5. වූටෙම්බර්ග් ටියාරාව (The Wurttemberg Tiara)

විල්හෙල්මිනා රැජින  සඳහා සකස් කොට ඇති මෙම ටියාරාව සඳහා දියමන්ති සහ මුතු භාවිතා කොට තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් ආභරණ විශේෂඥයන් විශ්වාස කරන පරිදි මෙම ටියාරාව සකස් කොට ඇත්තේ පැරණි ටියාරාවක් වෙනස් කිරීමෙනුයි. නමුත් එම මතය සම්පූර්ණයෙන් ඔප්පු වී නැහැ. එසේම මෙම ටියාරාවේ මුතු ස්ථාපනය කර ඇති ආකාරය වෙනස් කළ හැකි අතර ඒ මගින් ටියාරාවේ එකිනෙකට වෙනස් ආකෘති දෙකක් සකසා ගැනීමට හැකිවීම තවත් විශේෂයක්.

 

6. ඩච් ස්ටාර් ටියාරාව (The Dutch Star Tiara)

මැක්සිමා බිසව විසින් සිය විවාහ මංගල උත්සවය සඳහා භාවිතා කරන ලද මෙම ටියාරාව සකස් කිරීම සඳහා නෙදර්ලන්ත රජ පවුලට අයත් තවත් ආභරණ කීපයක්  භාවිතා කොට තිබෙනවා. පර්ල් බටන් ටියාරාව ලෙස හඳුන්වනු ලබන ටියාරාවක පාදම කොටස සහ  එමා රැජිනට අයත්ව තිබූ හැට්ට කටුවක ආකාරයට පැළඳිය හැකි දියමන්ති තරු ගණනාවක් එක් කොට මෙම ටියාරාව සැකසුණා.

 

7. එමා බිසවගේ දියමන්ති ටියාරාව (Queen Emma’s Diamond Tiara)

තුන්වෙනි විලියම් රජු විසින් එමා බිසවට ලබා දුන් අවසාන ආභරණය ලෙස මෙය සැලකෙනවා. ඊට හේතුව වන්නේ මෙහි නිර්මාණ කටයුතු නිමවී ඇත්තේ රජුගේ මරණයෙන් පසුව වීමයි. ඇතැම් අවස්ථාවලදී මෙම ටියාරාව වඩා අලංකාරවත් කිරීමට දියමන්ති තරු ද එක් කොට තිබෙනවා. බියට්‍රිස් රැජිනගේ ප්‍රියතම ටියාරාවක් බවට පත් වූ මෙම ටියාරාව ඇය විසින් බොහෝ දේශීය සහ විදේශීය උත්සව අවස්ථා සඳහා භාවිතා කොට තිබෙනවා.

 

මේ වගේ තවත් රාජකීය ආභරණ පිළිබඳව දැනගන්න ඔබ කැමතිද කියලා කමෙන්ට් එකකින් අපිට කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.