හරි, කෙලින්ම ඩෙෆිනිෂන් එකෙන් පටන් ගමු. මොකද්ද හැබෑටම මේ එම්පති (Empathy) නැතිනම් සහකම්පනය කියන්නේ? කොටින්ම කියනවා නම්, සහකම්පනය කියන්නේ තව කෙනෙක්ට දෙයක් දැනෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. තව සරල කරමු. ඔන්න කෙනෙක්ගේ ලව් එකක් කැඩෙනවා. එතකොට අපි මොනවද කියන්නේ? සමහර වෙලාවට අපි කියන්න පුළුවන් “ඔන්න ඔය පිස්සු විකාර අතෑරලා දාලා ඉන්නවා ඕයි, මූදෙ ඉන්නෙ එක මාලුවද” කියලා. අන්න ඒක සහකම්පනය නෙවෙයි. හැබැයි ලව් එක කැඩුණු එකාට අපි එහෙම කිව්වට, ඇත්තටම අපේ ලව් එකක් කැඩුණු දවසකට ඔන්න අපිට දැනෙන්න පටන් ගන්නවා කොහොමද ලව් එකක් කැඩුණහම හිතට දැනෙන්නේ කියන එක.
හැබැයි සහකම්පනයෙන් යුතු මනුස්සයෙක් නැතිනම් එම්පැත් කෙනෙක් කියන්නේ වෙන මනුස්සයෙක්ගේ හැඟීම් තේරුම් ගන්න තමනුත් එතනට වැටෙනකල් ඉන්න කෙනෙක් නෙවෙයි. තමන් ඒ මනුස්සයාගේ තත්ත්වයට මුහුණ දීලා නැති වුණත්, ඒ මනුස්සයාට දැනෙන විදිය තේරුම් ගන්න සහකම්පනයෙන් යුතු කෙනෙක්ට හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මේ ලෝකේ වැඩි වැඩියෙන් සහකම්පනය තියෙන්න ඕන, සහකම්පනයෙන් යුක්ත මිනිස්සු ඉන්න ඕන කියලා අපි කියන්නේ ඒකයි.
අන්න ඒකත් එක්ක අපි කියන්න යන්නේ සහකම්පන හැකියාව අපි තුළම වර්ධනය කරගන්න ක්‍රම කීපයක් ගැන.
1. අනුකම්පාව කියන්නේ සහකම්පනය නෙවෙයි
මෙන්න මේක මුලින්ම තේරුම් ගන්න එක පළවෙනි පියවර. අනුකම්පාව කියන්නේ අපි දුකින් ඉන්න කෙනෙක් දැකලා, එයාට දයාව කරුණාව දැක්වීමට. හැබැයි අපිට එයා ඉන්න තැන, එයාට දැනෙන විදිය දැනෙන්නෙ නෑ. හැබැයි සහකම්පනය ඊට වඩා ඇඩ්වාන්ස්. එතනදී අපිට තේරෙනවා එයාට දැනෙන දේ කොහොමද කියලා. තව දුරටත් කියනවා නම්, සහකම්පනයත් එක්ක අපිට තව කෙනෙක් ඉන්න තත්ත්වය, ඒ කෙනා විඳින වේදනාව වඩාත් පුද්ගලික තලයකින් තේරුම් ගන්න පුළුවන්.
2. විනිශ්චය කිරීමෙන් වළකිමු
සහකම්පනයෙන් යුක්ත මනුස්සයෙක් වෙන්න නම් මේ විනිශ්චය නොකිරීමේ හැකියාව, ඒ කියන්නේ තව කෙනෙක්ව ජජ් නොකිරීමත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු කෙනෙක් දිවිනසාගන්නවා කියලා. අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ “එයා මෝඩ වැඩක් කරගත්තේ”, “ඇයි එයා ජීවත් වුණු අය ගැන හිතුවෙ නැත්තේ” වගේ දේවල් කියන්න. හැබැයි අපි මොහොතකට නැවතිලා හිතන්නෙ නෑ එයාට ඇත්තටම මේ විදියට ජීවත් වෙන්න බෑ කියලා හිතන්න මොනවගේ වාතාවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇතිද කියලා. එතකොට කෙනෙක් විෂාදයට පත් වෙලා ඉන්නකොට අපි ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි “ඔයිට වඩා ප්‍රශ්න අපිට තිබිලා තියෙනවා, ඒත් අපි මේ තාමත් කෙලින් ඉන්නේ” කියලා නැතිනම් “මිනිස්සුන්ට තමයි ප්‍රශ්න එන්නේ, ප්‍රශ්න එනකොට ඔහොම කඩාවැටිලා හරියනවද” කියලා. හැබැයි මේවා ඇත්තටම වක්‍රාකාරයෙන් හරි ඒ කෙනාව විනිශ්චය කිරීමක් තමයි. මෙන්න මේක නවත්‍තගන්න ඕන ඔක්කොටම කලින්.
3. කරුණු දැනගන්න
මෙන්න මේක ඉතාම වැදගත්. අපිට ඇත්තටම තව කෙනෙක් මුහුණපාලා තියෙන තත්ත්වය තේරුම් ගන්න බැහැ, අපි සම්පූර්ණයෙන්ම කරුණු දැනගන්නකල්. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් දිවිනසාගන්න උත්සාහ කරන්නේ මොකද කියලා අපිට ඒ පසුබිම් කරුණු දැනගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ පසුබිම් කරුණු දැනගන්න කියලා බලෙන් අහ අහා වද දෙන්න යන්න එපා. හැබැයි කුතුහලය පවත්වා ගන්න. ඒකට තමයි සවන්දීමේ කලාව කියන්නේ. ඒක අපි ඊලඟට කියනවා. කොහොම හරි මේ විදියට අදාළ කෙනාගේ තත්ත්වයට හේතුවුණු කරුණු දැනගත්තහම අපි ආයෙමත් දෙවෙනි කාරණේට යන්න. විනිශ්චය කරන්න එපා. ඒ කරුණු දිහා බලන්න.
4. සවන් දීමේ කලාව
මේක ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් අපි අසීරු වාතාවරණයක ඉන්න කෙනෙක්ට, එහෙම නැතිනම් වේදනාවෙන් ඉන්න කෙනෙක්ට උදවු කරන්න සූදානම් වුණත්, අපි වැඩිදෙනෙක් සවන් දෙන්න සූදානම් නෑ. ගොඩක් වෙලාවට අපිට අහගෙන ඉන්න එක එපා වෙනවා. ආන්න ඒ නිසා, අපිට සහකම්පනයෙන් යුක්ත මනුස්සයෙක් වෙන්න නම් ඉවසීමත් දියුණු කරගන්න වෙනවා. ඇත්තටම සවන් දෙනවා කියන්නේ කලාවක්. උදාහරණයක් විදියට ගත්තොත්, මනුස්සයෙක් තමන්ගේ ප්‍රශ්න ගැන කියනකොට, අපිට ඕන වෙනවා අපේ අත්දැකීම් ගැනත් කියන්න, එහෙම නැතිනම් අපි දන්න අයගේ අත්දැකීම් කියන්න. හැබැයි අර පීඩාවෙන් ඉන්න කෙනා එතනින් එහාට අපිට කතා කරන්න උත්සාහ කරන්නෙ නෑ. එයා එතකොට උත්සාහ කරනවා පැත්තකට වෙන්න. අන්න ඒ නිසා, ඉවසීමෙන් සවන් දෙන්න. ඒ සවන් දෙනකොට ඒ කෙනාගේ ශරීර ඉරියව්, අභිනයන් ගැනත් අවධානය යොමු කරන්න. එම්පැත් කෙනෙක් වෙන්න නම් මෙන්න මේ සවන් දීමේ කලාවත් අපි ඉගෙන ගන්න ඕන.
5. එයාගේ ෂූස් වල හිටියොත්?
පරණ කියමනක් තියෙනවනේ කෙනෙක්ගේ ප්‍රශ්නයක් තේරුම් ගන්න ඒ කෙනාගේ සපත්තු වලට බැහැලා බලන්න කියලා. අන්න ඒ කියන්නෙත් සහකම්පනය ගැන තමයි. අන්න ඒ නිසා, සවන් දුන්නට පස්සේ, කරුණු කාරණා දැනගත්තට පස්සේ ඒ කෙනාගේ තත්ත්වය අපිට හිතින් ආදේශ කරලා බලන්න. ඒ කියන්නේ අපිට ඒ තත්ත්වයට මුහුණ දෙන්න වුණොත් අපිට කොහොම දැනෙයිද කියලා අවංකවම හිතලා බලන්න. ඒ වේදනාව, දුක, පීඩාව දැනෙන්නේ කොහොමද කියලා හිතල බලන්න. දැන් ඒ අවබෝධය ඔස්සේ, අනික් කෙනා ඉන්න තත්ත්වය තේරුම් ගන්න උත්සාහ කරන්න.
6. හැබැයි උදවු කරනවා මිසක් තමන්ට පීඩාවක් කර නොගමු
සාමාන්‍යයෙන් සහකම්පනය එක්ක මිනිස්සු සෑහෙන්න සංවේදී වෙනවා. හැබැයි අපි අනික් කෙනාට උදවුවක් වෙන්න නම්, අපි එයාගේ ෆීලින්ග්ස් අපේ කරගෙන කඩාගෙන වැටිලා හරියන්නෙ නෑ. අපිට පුළුවන් වෙන්න ඕන එයා ඉන්න තැන ගැන අපිට දැනෙන දේ හොඳින් කළමනාකරණය කරගන්න. විශේෂයෙන්ම සහකම්පනය එක්ක වෙන්න පුළුවන් අවුලක් තමයි අනික් කෙනාගේ තත්වය අපිට දැනෙන නිසාම, අපිට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් සිද්ධ වෙලා නැතත්, අපිත් ඒ කෙනාගේ වේදනාව එක්ක විඳවන්න පටන් ගන්න එක. අන්න එතකොට අපිටත් තව කෙනෙක්ගේ උදවු ඕන වෙනවා මිසක් අපිට උදවුවක් වෙන්න බැරි වෙනවා. අන්න ඒ නිසා, තමන්ගේ භාව විරේචනයක් හොයාගන්න. ඒ කියන්නේ, කෙනෙක්ගේ වේදනාව අපේ හිතට බරයි වගේ දැනෙනවා නම්, ඒක පිට කරන්න ක්‍රමයක් හොයාගන්න. ඒක ඩාන්ස් කරන එක හරි, සිංදු අහන එක හරි, විශ්වාසවන්තයෙක්ට කතා කරන එක හරි වෙන්න පුළුවන්.
7. වැරදි පාරේ යන්න එපා
මේක ඇත්තටම තමන්ට සහකම්පනය තියෙනවා කියලා හිතාගෙන ඉන්න අය කරන්න යන වැරැද්දක්. ඒ තමයි ආගම ධර්මය මෙතන ෆීල් වෙන දේට ගාවගන්න එක. ඕනම ධර්මයක තියෙන්න පුළුවන් කෙනෙක් දුක්වේදනා විඳින්න හේතුකාරක වෙන දේවල්, ඒවා කොහොමද බිග් පික්චර් එකට සම්බන්ධ වෙන්නේ වගේ දේවල් ගැන දාර්ශනික අදහස්. හැබැයි කරුණාකරලා, මේ අවස්ථාවේදී එව්වා පැත්තකින් තියලා එන්න. මොකද, නැතිනම් නොදැනුවත්වම සිද්ධ වෙන්නේ අපි වේදනාවෙන් ඉන්න කෙනාව වක්‍රාකාරයෙන් ආයෙමත් ජජ් කරන්න, විනිශ්චය කරන්න යන එක.
දැන් තේරෙනවා නේද ඇයි සහකම්පනයෙන් යුත් මනුස්සයෙක් වෙන්න කියන්නේ කියලා. ඇත්තටම දුකක පීඩාවක ඉන්න මනුස්සයෙක්ට පිහිටක් වෙන්න පුළුවන් අනුකම්පා කරන හෝ ඒ ගැන කම්පා වෙන කෙනෙක්ට නෙවෙයි. සහකම්පනයෙන් යුත් මනුස්සයෙක්ට. ඇත්තටම හැම කෙනෙක්ටම සහකම්පනය තමන් තුළ ඇති කරගන්න පුළුවන් නම්, මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි!
Leave a Reply