තුවක්කු පුරවගත්තු, හතර අතේ වෙඩි තියන ෆිල්ම්ස් බලන්න ආසයිද? එහෙනම් මේ ෆිල්ම් සෙට් එක බලන්න

සාමාන්‍යයෙන් ඔය තුවක්කු පිස්තෝල වලට ආස අය ඉන්නවනේ. ඒ කියන්නේ මිනීමරන්න ආස අය නෙවෙයි. එක්කෝ ඔය තුවක්කු පිස්තෝල එහෙම ගාණට රාක්ක වල ගබඩා කරගෙන ලස්සන ආමරියක් හදාගෙන ඉන්න කැමති අය, එහෙම නැතිනම් ඇඟේ පතේ තුවක්කු පිස්තෝල එල්ලගෙන කොමාන්ඩෝ ලෙවල් එකෙන් සොම්බි එක්ක එහෙම ගේම ඉල්ලගෙන යන්න කැමති අය ගැන තමයි මේ කියන්නේ. ආන්න ඒ අය වෙනුවෙන් තමයි මේ ආටිකල් එක ලියන්නේ.

දැන් මේ අපි කියන තුවක්කු පිස්තෝල පිරුණු ෆිල්ම්ස් කියලා කියන්නේ, ජේම්ස් බොන්ඩ් හරි හැරී කැලහැන් වගේ හරි තනි පිස්තෝලෙකින් හරි රිවෝල්වරේකින් හරි ගේම ගහන ෆිල්ම්ස් වලට නෙවෙයි. ඇත්තටම ඒ විදියේ ඇක්ෂන් ෆිල්ම්ස් වල අවිආයුධ වලට වඩා ප්‍රමුඛ වෙන්නේ මනුස්සයා. ආයෙ කැටපෝලෙකින් හරි ත්‍රස්තවාදියෝ මරලා ලෝකෙ බේරගනී. හැබැයි අර රම්බෝගේ හරි ආර්නෝල්ඩ්ගේ හරි සමහර ෆිල්ම්ස් වල මේ තුවක්කු පිස්තෝල පිරුණු ෆීල් එක නියමෙට දෙනවා. ඉතින් අපි මේ ලිස්ට් එකට අරගෙන තියෙන්නේ ආන්න ඒ ජාතියේ ෆිල්ම්ස් තමයි. එහෙමනම් බලන්න ඔයාලගේ ෆේවරිට් ෆිල්ම්ස් මොනවද මේ ලිස්ට් එකේ තියෙන්නේ කියලා.

 

1. Commando

තුවක්කු ගැන කතා කරන්න නං මෙන්න ෆිල්ම් එක. කොමාන්ඩෝ. ඔන්න ආර්නෝල්ඩ් දැනගන්නවා දුවව හංගගෙන ඉන්නේ කොහෙද කියල. දැන් ගේමට යන්න ඕන. හැබැයි ඊට කලින් වුවමනා බඩු ලෑස්ති කරගන්න ඕන. ආන්න ඒ නිසා ආර්නෝල්ඩ් යනවා “ෂොපින්”! හරියටම කියනවා නං තුවක්කු ෂොපින්. තුවක්කු කඩේකට ගිහින් ආර්නෝල්ඩ් ගන්න තුවක්කු දැක්කහම තුවක්කු පිස්සන්ට හික් ගෑවෙනවා. Desert Eagle Mark I එකක ඉඳන් Micro Uzi වෙනකල්, Ruger Mini-14 GB රූගර් රයිෆල් එකක ඉඳන් Steyr AUG රයිෆල් එකක් වෙනකල්, Valmet M78/83 ලයිට් මැෂින් ගන් එකක ඉඳන් M60E3 මැෂින් ගන් එකක් වෙනකල් බඩු ආර්නෝල්ඩ් පටව ගන්නවා. හැබැයි මෙතනින් ගන්න ස්ටාර් වෙපන් එක තමයි M202 FLASH බැරල් හතරේ රොකට් ලෝන්චර් එක. හැබැයි ඒක අන්තිම ෆයිට් එකට ගෙනියන්න කලින්ම පාවිච්චි කරලා විසික් කරලා දානවා!

ඊට පස්සේ අන්තිම ෆයිට් එකට කලින් ආර්නෝල්ඩ් සන්නාහ සන්නද්ධ වෙන කෑල්ලත් මරු!

 

2. Desperado

රොබට් රොද්රිගුඒස් ගේ ඩෙස්පරාඩෝ කියන්නේ සෑහෙන්න හිට් වුණු ෆිල්ම් එකක්. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නැති කාරණාව තමයි මේක ෆිල්ම්ස් තුනක දෙවෙනි එක කියන එක. ඇත්තටම මේකේ තුවක්කු පිස්සුව පටන් ගන්නේ පළවෙනි ෆිල්ම් එකේ ඉඳන්. කථාවේ ප්ලොට් එකටත් මේ තුවක්කු සීන් එක අදාළයි. ඔන්න කුලී ඝාතකයෙක් ඉන්නවා, ගිටාර් පෙට්ටියක තුවක්කු දාගෙන යන. පොරගේ ගිටාර් කේස් එක මාරු වෙනවා සංගීතකාරයෙක්ගේ ගිටාර් කේස් එක එක්ක. ඔන්න ඉතින් අපේ සංගීතකාරයා හෙනම ඝාතකයෙක් වෙන්න වැඩ සිද්ධ වෙනවා. ඒ පළවෙනි ෆිල්ම් එකේ.

ඇත්තටම ඩෙස්පරාඩෝ ෆිල්ම් එකේ අන්තෝනියෝ බන්දේරාස්ගේ ගිටාර් කේස් එක දකින එකත් ආතල්. ගිටාර් කේස් එකේ ගබඩා කරලා තියන ආයුධ වලින් වැඩ ගන්න විදිය දකින එක තවත් ආතල්. ඒ වගේම, අන්තිම ෆයිට් එකේදී බන්දේරාස්ගේ යාලුවෝ දෙන්නගේ ගිටාර් කේස් දැක්කහම තමයි අපිට හික් ගෑවෙන්නේ. ඇයි ඕයි, බන්දේරාස් ගිටාර් කේස් එකේ තුවක්කු ගබඩා කරගෙන යනවා විතරයි. අරුන් දෙන්නගෙන් එකෙක් අත් දෙකට අරන් ඉන්න ගිටාර් කේස් දෙක තනිකරම මැෂින් තුවක්කු දෙකක්. එතකොට අනික් යාලුවගේ ගිටාර් කේස් එකම මොඩිෆයි කරපු රොකට් ලෝන්චර් එකක්!

 

3. Rambo 1,2,3,4,5

රම්බෝ පළවෙනි ෆිල්ම් එක දකිනකොට අපිට ඒ තරම් තුවක්කු දකින්න ලැබෙන්නෙ නෑ. ඒකෙදී රම්බෝ සර්වයිවල් ගේමක්නේ ගහන්නේ. එතකොට රම්බෝ අතේ තියෙන්නේ පිහිය විතරයි. ඊට පස්සේ ඩෙපියුටි කෙනෙක්ගෙන් අල්ල ගත්තු රයිෆල් එකක් ඇරෙන්න වෙන තුවක්කු ලැබෙන්නෙත් නෑ. හැබැයි අන්තිම ෆයිට් එකට රම්බෝ අරගෙන එන තුවක්කුව තමයි ෆිල්ම් එකේ ස්ටාර් එක. ආමි එක පාවිච්චි කරන M60 මැෂින් ගන් එකක්! ඒකෙන් රම්බෝ ආයෙ ටවුමක්ම ෆ්ලැට් කරනවා!

 

හැබැයි රම්බෝ දෙවෙනි ෆිල්ම් එකේ ඉඳලා අපිට දකින්න ලැබෙනවා මිෂන් එකකට යන්න කලින් රම්බෝ තුවක්කු පිස්තෝල කීපයක්ම ගබඩා කරගන්නවා. හැබැයි ඉතින් ඇත්තටම ගත්තොත් රම්බෝට ලොකුවට තුවක්කු අවශ්‍යත් නෑ. රම්බෝට තියෙන්න ඕන තමන්ගේ විශ්වාසවන්ත රම්බෝ පිහියත්, නිකම් ඊතල වගේම පුපුරණ ඊතල විදින්න පුළුවන් තමන්ගේ Hoyt Gamemaster longbow එකයි විතරයි! මේ ෆිල්ම් සීරීස් එකේම අයිකන් එක වෙන්නෙත් රම්බෝගේ මේ දුන්න සහ පිහිය තමයි!

 

4. Tremors

ට්‍රේමර්ස් කියන්නේ සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක්. මේකේ සීරීස් එකක්ම තියෙනවා. මේ ෆිල්ම්ස් වල තියෙන්නේ පොළව යට ජීවත් වෙන අති බිහිසුණු ප්‍රාග් ඓතිහාසික කාලේ ඉඳන් එන ග්‍රාබොයිඩ්ස් කියන වැලි පණුවෝ එක්ක ෆයිට් කරන සීන් එකක්. හැබැයි වැඩේ මෙහෙමයි. මේ ග්‍රාබොයිඩ්ස්ලා මිනිස්සුන්ටත් වඩා අති දැවැන්ත, පොළව හාරගෙන යන්න පුළුවන් සත්තු ජාතියක්. මුන්ව මරන්න ඉතින් සෑහෙන්න ක්‍රම හොයාගන්න වෙනවා. මුලින් මුලින් එක එක ක්‍රම වලින් මුන්ව මරනවා. හැබැයි ඉතින් තුවක්කු තිබ්බනම් වැඩේ මරේ මරුනේ. ආන්න එතනට තමයි එන්නේ බර්ට් ගමර්. ගමර් මහත්තයා කෙලින්ම ආමරියක් මේන්ටේන් කරනවා. මිනිහත් අපි වගේම මරු තුවක්කු පිස්සෙක්. මේ කලෙක්ෂන් එකේ තියෙනවා William Moore & Co. ගේජ් 8 වර්ගේ ෂොට්ගන් එකක්. මේක ඇත්තටම අලි තුවක්කුවක් කියලා හඳුන්වන්නේ, අලියෙක් බිම දාන්න පාවිච්චි කරන්න පුළුවන්, මේකේ තියෙන ප්‍රබල වෙඩි බලය නිසා තමයි. කොහොම වුණත් ගමර් මහත්තයාගේ තුවක්කු සෑහෙන්න වැඩේට ප්‍රයෝජනවත්.

ඒ විතරක් නෙවෙයි, සීරීස් එකේ අනික් ෆිල්ම්ස් පුරාවටත් ගමර් මහත්තයා විවිධ අවිආයුධ වැඩේට ගේනවා. ඒ එකක ගමර් මහත්තයගේ කම්ප්ලීට් ආමරියකුත් පෙන්නනවා!

 

5. Mr. & Mrs. Smith

ආමරියක් හදාගන්න ආස කෙනෙක් නං බලන්නම ඕන ෆිල්ම් එකක් තමයි Mr. & Mrs. Smith කියන්නේ. දැන් මේ ස්මිත් නෝනයි ස්මිත් මහත්තයයි දෙන්නම රහස් ඔත්තුකාරයෝ. හැබයි දෙන්නට දෙන්නා දන්නෙ නෑ. ඉතින් දෙන්නම තමන්ගේ වැඩ වලට ඕන වෙන තුවක්කු ගබඩාවක් තියාගෙන ඉන්නවා රහසෙන්. ස්මිත් මහත්තයගේ තුවක්කු ගබඩාව තමයි මෙතනින් සුපිරි. ආයෙ රොකට් ලෝන්චර් වල ඉඳන් මැෂින් ගන් දක්වා ඕනම එකක් මේ කම්ප්ලීට් අන්ඩර්ග්‍රවුන්ඩ් ආමරියේ තියෙනවා. හැබැයි ස්මිත් නෝනා ඊට වඩා සූක්ෂමව ගේම් දෙන්නේ. ඉතින් ස්මිත් නෝනා තමන්ගේ කුකර් එක යට හංගලා තියෙන පොඩි ආමරියේ තියෙන්නේ පිස්තෝල වර්ග, විවිධ පිහි වර්ග වගේ පොඩි පොඩි ආයුධ තමයි.

 

6. Polar

පෝලර් කියන්නේ නෙට්ෆ්ලික්ස් එකේ ගියපු කපා කොටා ගන්න ෆිල්ම් එකක්. මේක සංකීර්ණ ප්ලොට් නැති, බී-මූවි ආතල් එක ලබාදෙන එකක් වුණත්, ඔය කපාකොටා ගන්න ෆිල්ම්ස් වලට, රිවේන්ජ් ෆිල්ම්ස් වලට ආස අයට එක දිගට බලන්න පුළුවන් එකක්. මේකේ ඉන්න බ්ලැක් කයිසර් කියන වයසක කුලී ඝාතකයට ආයෙ ඕනම වෙපන් එකක් ඕකේ. වෙපන් නැතත් ඕකේ. ඒ නිසාම මනුස්සයා ලොකුවට තුවක්කු පිස්තෝල මත යැපෙන්නෙ නෑ. හැබැයි අන්තිම හරියේ තියෙනවා පොර දුෂ්ට බුවාගේ ආමි එකත් එක්ක ගේමට යන්න ලෑස්ති වෙන කොටස. එතනදී අපි තුවක්කු පෙට්ටි පෙට්ටි පටවගන්නවා දැක්කට, ඇත්තටම වැදගත් වෙන්නේ එක තුවක්කුවක් තමයි. ඒ සම්පූර්ණයෙන්ම ඔටෝමේටඩ් මැෂින් තුවක්කු දෙකක්. සෙටප් කළාට පස්සේ, මේ මැෂින් තුවක්කු දෙක ක්‍රියාත්මක වෙන්නේ අතට සෙට් කරලා තියෙන ග්ලවුස් ලේසර් ගයිඩන්ස් සිස්ටම් එකකින්. ආයෙ හමුදාවම තත්පර කිහිපයක් ඇතුළත හාන්සි කරන්න පුළුවන්. පිස්සු කොර!

 

7. Blade 1,2,3

තුවක්කු ආයුධ පිස්සන්ට බ්ලේඩ් ෆිල්ම් සීරීස් එකේ ආයුධ තොගේ අමතක වෙන්න විදියක් නෑ. සාමාන්‍යයෙන් බ්ලේඩ්ගේ අතිශයින්ම විශ්වාසවන්ත ආයුධය වෙන්නේ කස්ටම් මේඩ් කඩුවක්. ආයෙ ඕන වැම්පයර් කෙනෙක් මේ කඩුවට බයයි. හැබැයි කඩුව ඇරෙන්න තව වැම්පයර්ලා මරණ ආයුධ හැටහුටාමාරක් අපිට බ්ලේඩ් ෆිල්ම් සීරීස් එක පුරා පෙන්නනවා. මේවැයින් ගොඩක් ඒවා සෑහෙන්න කස්ටමයිස් කරපුවා. මතකද පළවෙනි ෆිල්ම් එකේ අපි මුලින්ම දකින කස්ටමයිස් කරපු MAC-11 සබ්මෙෂින් ගන් එක? ඒ වගේම පුදුමෙකට වගේ ලේසියෙන් බ්ලේඩ් ඔය 9mm පිස්ටල් එකක් එහෙම පාවිච්චි කරන්නෙත් නෑ.

ඇත්තටම හරි හැටි බ්ලේඩ්ගේ ගන් කලෙක්ෂන් අපිට දකින්න ලැබෙන්නේ දෙවෙනි ෆිල්ම් එකේ සහ තුන්වෙනි ෆිල්ම්ස් වල තමයි. මේ හැම එකක්ම වැම්පයර්ස් ලට ෂොට් එක දෙන්න දැඩිව කස්ටමයිස් කරපු ආයුධ.

 

8. John Wick 1,2,3

ජෝන් වික් ෆිල්ම්ස් වල අපි ආසම කෑල්ලක් තමයි ජෝන් ගේමකට ලෑස්ති වෙන කොටස. සාමාන්‍යයෙන් ලේසියෙන්ම අතේ දුරින් තියෙන්නේ මිලිමීටර් 9 පිස්තෝලයක් වුණාට, ජෝන් වැඩේට ගැලපෙන තුවක්කු පාවිච්චි කරන්න ඇඹරෙන්නෙ නෑ. මතකද කැටකෝම්බ්ස් වල ගේමට ජෝන් ලැහැස්ති වෙන විදිය? රෝමේ කොන්ටිනෙන්ටල් එකේ වයින් ස්ටුවර්ඩ්ගෙන් ගන්න ආම්පන්න ටික? මුලින්ම Taran Tactical customized Glock 34 පිස්ටල් එකක්. ඊට පස්සේ TTI TR-1 Ultralight රයිෆල් එකක්. ඊට පස්සේ වැඩේ ඉවර කරන්න Benelli M4 Super 90 ෂොට්ගන් එකක්. ඊටත් පස්සේ හදිසියකට ගන්න පිහියක් දෙකක්! හැබැයි ඔය විදියට කොයි තරම් තුවක්කු පුරෝගෙන ගියත්, ජෝන් අන්තිම වෙනකොට පාවිච්චි කරන්නේ පැන්සලක්, කාර් එකක් වගේ ආවුදයක් තමා!

 

හැබැයි මේ ගොඩක් ෆිල්ම්ස් වල මෙහෙම සීන් එකකුත් තියෙනවා. ආයෙ තුවක්කු පුරවගෙන, ඇඟ පුරා තුවක්කු පිස්තෝල එල්ලගෙන වැඩේ පටන් ගත්තට, ඒවැයින් ගොඩක් එව්වා ඒ තරම් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. නිකම්ම සන්දර්ශනේට වගේ තමයි තියෙන්නේ. ඒත් කමක් නෑ, වැඩේ ආතල්නේ.

 

ඔයාලත් දන්න ඒ වගේ ෆිල්ම්ස් තියෙනවා නම්, එව්වා අපේ ලිස්ට් එකේ නැතිනම් කමෙන්ට් එකකින් කියාගෙන යන්ඩලා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *