අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ තොරතුරු සමූහයක්. ඒ තමයි ලංකාවේ අප්‍රකට පුදබිම් කීපයක් ගැන. සමහර වෙලාවට මේ පුදබිම්වල නම් දැක්කම ඇතැම් අයට කේන්ති යන්න පුළුවන්. මොකද තමන්ගේ ගමේ පන්සල අප්‍රකට පුදබිමක් විදිහට හැඳින්වූවා කියලා. ඒකට හේතුව අපි මේ විදිහට කියන්නම්. අපේ බෞද්ධයෝ ගොඩක් වෙලාවට වන්දනා ගමන් යන්න එහෙම තෝරා ගන්නේ සීමිත පූජා භූමි ප්‍රමාණයක් .අපේ මේ උත්සාහය ඒ පූජා භූමි ඇරුණම තවත් පූජා භූමි මේ ලංකාවේ තියනවා කියන එක පැහැදිලි කරන්න.
1. සුළුගල රජමහා විහාරය
අනුරාධපුර යුගය දක්වා ඉතිහාසයකට උරුමකම් කියන සුළුගල විහාරය පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ හිරියාල ආසනයේ පේද්දව ප්‍රදේශයේ. ඇතැම් අය මේ විහාරය සඳහා පේද්දව විහාර යන නමත් භාවිතා කරනවා. මලියදේව මහ රහතන් වහන්සේ විසින් මෙම සුළුගල විහාරය ආසන්නයේ වාසය කරපු සුළුගල උපාසකයා සමඟ දෙව්ලොව චාරිකාවක නිරත වූ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. අවසාන වශයෙන් මහනුවර යුගය තුළ ප්‍රතිසංස්කරණයට ලක් වී තිබෙන බවට විශ්වාස කළ හැකි මෙම විහාරය අතීතයේදී දැව මත ඉදි කළ එකක් බව නිගමනය කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී තිබෙනවා.
2. දඹදෙණියේ විජයසුන්දරාරාමය
දඹදෙණි යුගයේ ප්‍රධාන විහාරය ලෙස සැලකුණු විජයසුන්දරාරාමයේ තෙමහල් දළදා මාළිගාවක් තනවා දළදා වහන්සේ තැන්පත් කර තිබූ බව සමකාලීන ඓතිහාසික වාර්තාවල සඳහන් වෙනවා. තුන්වැනි විජයබාහු රජුගේ නිර්මාණයක් වූ මෙම විහාරය දඹදෙණිය යුගයෙන් පසුව අභාවයට ගියත් මහනුවර යුගයේදී මීගස්තැන්නේ අදිකාරම් විසින් යළිත් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
3. වට්ටාරම රජ මහ විහාරය
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රදේශයේ පිහිටා ඇති වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහ විහාරය අතීතයේ දී දෙමටමල් විහාරය ලෙස හැඳින්වූ බව කියවෙනවා. ඇතැම් සටහන් වලට අනුව ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ ලෙස සැළකෙන මලියදේව මහරහතන් වහන්සේ වැඩ වාසය කරන ලද්දේ ද මේ මෙම පූජා භූමිය තුළයි. අනුරාධපුර යුගයට අයත් ආරාම සංකීර්ණයක නටබුන් මෙම භූමිය තුළින් හමුවන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එහි මෙහි සංරක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.
4. පරගොඩ විහාරය
අනුරාධපුර යුගයේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය වූ පෙන්වීමක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව නගරය ආසන්නයේ පිහිටා ඇති පරගොඩ රජමහ විහාරය හැඳින්වීමට පුළුවන්. මුල් කාලයේදී දැවයෙන් ඉදි කෙරුණු බවට විශ්වාස කළ හැකි මෙම විහාරය වරින්වර ප්‍රතිසංස්කරණයට ලක්ව තිබෙනවා. පරගොඩ විහාරයට නාමල් පූජා කිරීම බැතිමතුන් අතර ජනප්‍රිය වතාවතක් වූ අතර ගම්පෙරළිය කෘතියේ පවා ඒ පිළිබඳව සඳහන් වෙනවා.
5. ඇත්කඳ රජමහා විහාරය
ඇතැම් මූලාශ්‍රවලට අනුව දෙවැනි පෑතිස් රජුගේ සහෝදරයෙකු වන සූරතිස්ස රජු විසින් නිර්මාණය කරන ලදැයි විශ්වාස කෙරෙන මෙම රජමහා විහාරය තුළ ප්‍රධාන ලෙන් විහාර දෙකක් දකින්නට ලැබෙනවා. එක් ලෙන් විහාරයක් තුළ මහනුවර යුගයට අයත් සිතුවම් දකින්නට ලැබෙන අතර යටත් විජිත යුගය තුළ ඉදිකෙරුණේ යැයි විශ්වාස කෙරෙන ධර්මශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පය මෙරට කිසිදු ධර්ම ශාලාවක දකින්නට නොලැබෙන ආකාරයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වල එකතුවකින් සමන්විත වනවා.
6. පිළිකුත්තුව රජ මහා විහාරය
බස්නාහිර පළාතට අයත් වැඩිම ලෙන් සහිත රජමහා විහාරයක් ලෙස පිළිකුත්තුව රජමහා විහාරය හැඳින්වීමට පුළුවන්. වර්තමාන පරිපාලන බෙදීම් වලට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන මෙම රජ මහා විහාරය පුරාණයේ සියනෑ කෝරළයට අයත්ව තිබෙනවා. මෙම පුදබිමේ ආරම්භය දේවානම්පියතිස්ස රජු දවස සිදු වූ බවට විශ්වාස කරන අතර වළගම්බා රජු සමයේ දී රජුට ආරක්ෂාව සැපයූ විහාරයක් ලෙස සැලකෙනවා. විහාරයේ අද දක්නට ලැබෙන බොහෝ ඉදිකිරීම් මහනුවර සමයට අයත් වන ඒවා වන අතර මෙම පුදබිම අවට වනය වෘක්ෂ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
7. තොටගමුව රන්පත් විහාරය
කෝට්ටේ යුගය තුළ ජාත්‍යන්තර වශයෙන් පවා කීර්තියක් දිනාගත් තොටගමුවේ විජයබා පිරිවෙන් භූමියේ වර්තමාන තොටගමුව රන්පත් රජමහා විහාරය පිහිටා තිබෙනවා. පළමු විජයබාහු රජු විසින් මෙම විහාර භූමියේ විජයබා පිරිවෙන ඉදිකළ බව විශ්වාස කළත් ඊට පෙර අනුරාධපුර යුගය දක්වා මෙම විහාරයේ ඉතිහාසය දිවයන බව කියවෙනවා. කෝට්ටේ යුගය තුළ අතිමහත් ශ්‍රී විභූතියකින් විරාජමාන වූ මෙම විහාරය පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟ විනාශයට පත් වූ අතර යළිත් මෙම විහාරයේ ගොඩනැඟීම සිදු වූයේ මහනුවර යුගය තුළදීයි. වර්තමාන කහව ප්‍රදේශයේ ආසන්නයේ පිහිටා ඇති මෙම විහාරය වැඳ පුදා ගැනීමට ඔබත් අමතක කරන්න එපා.
මීට අමතරව ලංකාවේ සියලුම බෞද්ධයන් ගේ අවධානයට ලක් විය යුතු පුදබිම් ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට මේ ලිපියට එකතු කරන ගමන් මෙම ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply