ප්ලාස්ටික් ඇත්තටම නරකද? ප්ලාස්ටික් ගැන අපි දැනගෙන ඉන්න ඕන කාරණා

ප්ලාස්ටික් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ අපේ ජීවිත වල නැතුවම බැරි මට්ටමට වැටුන දෙයක්. එදිනෙදා අපි භාවිතා කරන කොස්ස, පෙනේරේ ඉඳලා ෆ්‍රිජ් එක වොෂින් මැෂින් එක දක්වා ලොකු භාණ්ඩ වෙනකන්ම නිෂ්පාදනයේදී ප්ලාස්ටික් භාවිත කරලා තියෙනවා. ඒ වගේම අපි ජීවත් වෙන නිවාස, අපි පදින වාහන, සෙල්ලම් බඩු, කෑම කන පිඟන්, හැඳි, අපි වැඩකරන පරිගණක වගේ හැමදේම ඇතුළේ ප්ලාස්ටික් අඩංගුයි. හැබැයි ඔහොම ඔය දේවල් භාවිතා කරන අතරේම කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන ලොකුම මාතෘකාවක් තමයි මේ ප්ලාස්ටික් පරිසරයට වගේම අපේ ශරීරි සෞඛ්‍යටත් අහිතකරයි කියන එක. ඒ නිසාම හුඟක් රජයන් ප්ලාස්ටික් භාවිතය තහනම් කරන්නත් සැරින් සැරේට උත්සාහ ගන්නවා. 

ඉතින් අපි හිතුවා ඇත්තටම මේ ප්ලාස්ටික් කියන්නෙ මොනවද? ප්ලාස්ටික් වලින් අපිට තියෙන බලපෑම මොකක්ද කියන කාරණාව ගැන කතා කරන්න. 

 

1. මොනවද මේ ප්ලාස්ටික්?

ප්ලාස්ටික් කියන්නෙ ප්‍රධාන නිෂ්පාදන ද්‍රව්‍ය විදිහට පොලිමර් භාවිතා කරලා හදන කෘත්‍රීම හෝ අර්ධ කෘත්‍රීම අමුද්‍රව්‍යයක්. මේ ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුකෙරෙන ප්ලාස්ටිසිටි කියන කාර්යය නිසා මේ අමුද්‍රව්‍ය ඕනම හැඩයකට සකස් කරන්න පුළුවන් ගුණාංගය ගන්නවා. ප්ලාස්ටික් මෘදු තත්ත්වයේදී මෙහෙම ඕනම හැඩයකට අනුව සකස් කරලා ඝන තත්ත්වයට පත් කළහම ඒ අවශ්‍ය හැඩයේ පවත්වාගන්න පුළුවන්. මේ හැඩය, සැහැල්ලු බව, මිල, නම්‍යශීලීබව කියන හුඟක් කාරණා නිසා ප්ලාස්ටික් අද වෙද්දී ලෝකය පුරාම නැතුවම බැරි අමුද්‍රව්‍යයක් බවට පත්වෙලා තියෙනවා. 

 

2. ප්ලාස්ටික් වර්ග

අපි ප්ලාස්ටික් කියලා සරලව හැඳින්වූවාට මේ ප්ලාස්ටික් අපි හිතන තරම්ම සරල නැහැ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ක්‍රියාවලිය අනුව ප්ලාස්ටික් වර්ග කිහිපයක් තියෙනවා. මේ සමහර ප්ලස්ටික් නැවත නැවත පාවිච්චි කළ හැකි ඒවා, හැබැයි සමහර ඒවා නැවත පාවිච්චිය හානිදායකයි. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරත් මේ වර්ග කිරීමට ඇතුළත් වෙනවා. අපි නිතර භාවිතා කරන ප්ලාස්ටික් භාජන/ බෝතල් වල අඩියේ ත්‍රිකෝණ සලකුණක් ඇතුළේ ගහල තියෙන අංකය තමා වර්ගය හොයාගන්න පුළුවන් විදිහ. ඉතින් අපි බලමු මොනවද මේ ප්ලාස්ටික් වර්ග කියල.

 

  • Polyethylene Terephthalate (PET or PETE or Polyester) – ලෝකයේ වැඩිපුරම භාවිතා වෙන ප්ලාස්ටික් වර්ගය තමයි මේ. අපි නිතර දකින බීම බෝතල්, වතුර බෝතල් වගේ දේවල් නිෂ්පාදනය වෙන්නෙ මේ ප්ලාස්ටික් වර්ගයෙන්. මේ ප්ලාස්ටික් පිළිකාකාරක බවයි කියන්නෙ. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නමුත් ප්‍රතිචක්‍රීකරණයට යොමුවෙන්නේ 25%ක් විතරයි. 

 

  • High-Density Polyethylene (HDPE) – මේ ප්ලාස්ටික් වලින් තමයි අපි නිතර භාවිතා කරන grocery bags, ෂැම්පු බෝතල් වගේ දේවල් නිෂ්පාදනය කෙරෙන්නේ. 

 

  • Polyvinyl Chloride (PVC) – මේ PVC කියන ප්ලාස්ටික් වර්ගයෙන් තමයි ජල නල, කෑම ඔතන cling wraps, ෂොපින් බෑග් වගේ දේවල් නිෂ්පාදනය වෙන්නෙ. මේ PVC ත් මිනිස් ශරීරයට ඉතා අහිතකර රසායන ද්‍රව්‍ය නිකුත් කරන බවයි කියන්නෙ. 

 

  • Low-Density Polyethylene (LDPE) – LDPE කියන්නෙනම් ආහාර සහ පාන වර්ග සඳහා භාවිතා කරන්න සුදුසු බවට නම්කෙරුණු ප්ලාස්ටික් වර්ගයක්. හැබැයි ප්‍රතිචක්‍රීකරණය අපහසුයි. ඒ කියන්නෙ අපිට හොඳ උනාට පරිසරයට හොඳ මදි. කොහොම උනත් මේ වර්ගයේ ප්ලාස්ටික් වලින් තමයි ඔය සෝස් බෝතල් වර්ග වගේ දේවල් නිෂ්පාදනය කරන්නෙ. 

 

  • Polypropylene (PP) – PP  කියන්නෙත් ආහාර සහ බීම සඳහා සුදුසු ප්ලාස්ටික් වර්ගයක්. සනීපාරක්ෂක තුවා සහ ඩයපර්ස් වලත් මේ PP කියන ප්ලාස්ටික් වර්ගය ඇතුළත් වෙනවා. වතුර බොන බෝතල් වගේ දේවල් නිෂ්පාදනය වෙන්නෙ මේ ප්ලාස්ටික් වර්ගයෙන්.

 

  • Polystyrene (PS) – මේ පොලිස්ටරින් කියන්නෙ අපි හැමෝම දන්න ස්ටයිරෝෆෝම්. ඒ කියන්නේ ඔය disposable cups, කෑම දාන ෆෝම් පෙට්ටි වගේ දේවල් වලට භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය. 

 

  • Other – අංක 1 සිට 6 දක්වා කාණ්ඩ වලින් හඳුනා නොගත් අනෙක් සියලුම ප්ලාස්ටික් අයිති වෙන්නෙ මේ කාණ්ඩයට. CD, DVD, ලොකු වතුර බෝතල්, ඇස් කණ්ණාඩි වගේ ගොඩක් දේවල් මේ 7 වෙනි කාණ්ඩයේ ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය වෙනවා.

 

3. ප්ලාස්ටික් ශරීරයට අහිතකරද?

ඔය කලින් කිව්ව කෑම, බීම ඇසුරුමට සුදුසුයි නුසුදුසුයි කිව්ව කොයි ප්ලාස්ටික් වර්ගයෙනුත් යම් යම් රසායනික ද්‍රව්‍ය මුදාහැරෙනවා. ඒ හැම දෙයක්ම ශරීරයේ මොළය, ස්නායු පද්ධතිය වගේ දේවල් වලට සෘජුව හෝ වක්‍රාකාරව බලපෑම් ඇතිකරන්න පුළුවන්. ඒ නිසා සරලවම කිව්වොත් ප්ලාස්ටික් ශරීරයට අහිතකරයි. 

 

4. ප්ලාස්ටික් පරිසරයට අහිතකරද?

මිනිස් ශරීරයට වගේම සත්තුන්ටත් ඒ වගේම පරිසරයටත් ප්ලාස්ටික් කියන්නෙ හිතකර දෙයක්නම් නෙමෙයි. පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් වලින් නිකුත් කෙරෙන විස රසායන නිසා සත්තුන්ට වගේම පරිසරයේ ආහාර දාමයන් වගේ ක්‍රියාකාරකම් වලට පවා සෘජු බලපෑම් ඇතිකරන්න පුළුවන්. මොකද මේ පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් වර්ෂ දහස් ගාණක් නොදිරා පවතින නිසා. ඒ වගේම ගෝලීය උණුසුමටත් සෘජුවම බලපාන කාරණයක් තමා දිනෙන් දින ඉහළ යන ප්ලාස්ටික් භාවිතය. 

 

 

5. ප්ලාස්ටික් සහ සාගර දූෂණය

ලෝකය පුරා සාගරය සහ මුහුදු වෙරළ ආශ්‍රිතව තියෙන අපද්‍රව්‍ය වලින් 73%කටත් වඩා වැඩි අගයක් අපි ඉවත දමන ප්ලාස්ටික් සහ පොලිතින්. ට්‍රිලියන පහකට වඩා ප්ලාස්ටික් සහ පොලිතින් කැබලි දැනටත් මුහුදේ පාවෙමින් තියෙනවා. ඒවා සාගරයේ පැවැත්මට වගේම සාගර ජීවීන්ගේ පැවැත්මටත් ලොකු තර්ජනයක්. 

 

 

6. ප්ලාස්ටික් සහ අනාගතය

2050 වෙනකොට අද මේ නිෂ්පාදනය වෙනව වගේ තුන් ගුණයකින් වැඩි ප්‍රමාණයක් ප්ලාස්ටික් ලෝකයේ නිෂ්පාදනය වෙන බවට අනතුරු ඇඟවීම් දැන් දැන් ලැබෙමින් තියෙනවා. ඒ වෙද්දී මුහුදේ මාළුන්ටත් වඩා ප්ලාස්ටික් තියෙන්න පුළුවන් බව තමයි කියන්නෙ. පෘථිවියේ ඉන්න සෑම මුහුදු පක්ෂියෙක්ම ප්ලාස්ටික් ආහාරයට ගන්න තත්ත්වය දක්වාම සාගරයට මුදාහැරෙන ප්ලාස්ටික් ප්‍රමාණය ඉහළ යනවා. 

 

 

7. ප්ලාස්ටික් වලට විකල්ප 

ප්ලාස්ටික් වල නරක හොඳටම දන්නවා උනත් අපි ඒ ප්ලාස්ටික් වලින් මිදෙන්න දරන උත්සහයනම් තියෙන්නෙ බොහොම පහල මට්ටමක. ප්ලාස්ටික් වෙනුවට භාවිතා කරන්න පුළුවන් ඕන තරම් වෙනත් ද්‍රව්‍ය තිබිලත් අපි පහසුව සහ ලාභය ගැන හිතලා මේ ප්ලාස්ටික්ම තෝරා ගැනීම ලෝකයේම පැවැත්මට තර්ජනයක් වෙන එක ඉතාම අත ලඟයි. ඒ නිසා මේ විකල්ප වලට ඉක්මනින්ම හුරුවෙන්න උත්සාහ කරමු.

  • ආහාර ඇසුරුම් සඳහා කෙසෙල් කොළ, නෙලුම් කොළ වගේ ස්වභාවික දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම එක ස්ථිර ආහාර ඇසුරුමක් (කෑම පෙට්ටියක්) භාවිතා කිරීමත් හොඳ විසඳුමක්.
  • වතුර සහ බීම වර්ග වලට වීදුරු බෝතල් පාවිච්චියත්, ප්ලාස්ටික් බීම බට සහ හැඳි වෙනුවට ඇලුමිනියම් හැඳි සහ බට භාවිතයත් විසඳුමක්. වීදුරු සහ ඇලුමිනියම් කියන්නෙත් පහසුවෙන් දිරන ද්‍රව්‍ය නොවුනට නැවත භාවිතා කිරීමේ අගය ඉහළ නිසා ප්ලාස්ටික් තරම් බලපෑමක් නැහැ.
  • පොලිතින් බෑග් වෙනුවට රෙදි බෑග් සහ කඩදාසි බෑග් භාවිතය.
  • එක්වරකින් ඉවත දමන ප්ලාස්ටික් වෙනුවට නැවත භාවිතා කළ හැකි ප්ලාස්ටික් (වෙන විසඳුමක් නැතිම අවස්ථා වලදී) භාවිතය.

 

මේ කිව්වෙ බොහොම පොඩි විකල්ප ටිකක්. ඒත් අපේම ශරීර සෞඛ්‍යය සහ පරිසරයේ පැවැත්ම ගැන හිතුවොත් විකල්ප ඕන තරම් හොයාගන්න අපිට අපහසු නැහැ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *