චීන රටේ උදවිය දැන් යාපනේ ඩෙල්ෆ්ට් දූපතට, අනලතිව් දූපතට එහෙම සූර්යබල ව්‍යාපෘති ගේන්න කටයුතු කරන බවක් ආරංචි වෙනවා. ඒ එක්ක ඉන්දියාව තමුන්ට සමීප ලංකා දූපත් වල සිදුවන මේ චීන ව්‍යාපෘති, චීන ආක්‍රමණ විදිහට දකින්න හදනවා. ඒ එක්ක තත්ත්වය උණුසුම් වෙලා. අපේ දේශපාලකයින් ගේ වචන මාර විශ්වාසවන්ත නිසා සාමාන්‍ය ජනතාව අතරත් චීන ව්‍යාපෘති ගැන සැක පහළ වෙන්න අරගෙන. ඒ නිසාමදෝ දැන් යාපනේ රවුමක් ගිහින් එන්න කැමති අයත් ආයෙත් වසංගත තත්ත්වයෙන් පස්සේ වැඩි වෙලා. ඉතින් යාපනේ දකින්න තියෙන ස්ථාන ටිකට අමතරව අපි එහෙදි ගතහැකි අත්දැකීම් ටිකක් බලමු.
1. සැර නැති මූද
දකුණු වෙරළ තීරයේ ජනප්‍රියම හික්කඩුව, උණවටුන, පොල්හේන, තංගල්ල වගේ නාන තැන් ගත්තා වුණත් ඒ තැන්වල රැලි වැඩියි. ඒත් යාපනයේ කසුරිනා සහ කන්කසන්තුරෙයි වෙරළ තීරවල බොහෝවිට සෞම්‍ය වෙරළක් හමු වෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන මූදත් වැවක් වගේ ගොඩක් වෙලාවට සෞම්‍යයි. දූපත් තියෙන පුන්කඩුතිව්, කයිට්ස් වගේ දුපත් වලට ගියාම හමුවෙන වෙරළ තීරයනුත් සැර නැහැ. ඒවායේ රැළි ඇතැම් කාලවලදි කලාතුරකින් සැර වුණත් බොහෝවිට ජලය නිසලව තියෙනවා.
2. දූපත් තරණය
යාපන අර්ධද්වීපයේම කොටසක් තියෙන්නේ හුණුගල් උඩ. මේ අතරින් නයිනතිව් තියෙන කලාපයට අයිති කයිට්ස්, පුන්කුඩුතිව් වගේ දූපත් වලට නම් වාහන වලින්ම යන්න පුළුවන්. ඒ යන්න තියෙන්නේ පටු වූ, මූද මැද ඉදිකරන ලද පාලම් වලින්. ඒ 32 මාර්ගයේ හමුවන ඒ වගේ දීර්ඝ සංගුපිඩ්ඩි පාලම ජනතාව අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මේ දූපත් අතර වාහනයකින් යනවිට ඒ මග නවත්වන්න තැන් තියෙනවා. එහෙම තැනක නවත්වලා බැලුවාම, පාර හැරුණ විට හතර අතින්ම වතුර තියෙන මනරම් දර්ශන හමුවෙනවා. ඒ වගේම නයිනතිව් ඩෙල්ෆ්ට් වගේ දුර තියෙන දූපත් වලට යන්න නම් බෝට්ටුවේ යන්නට වෙනවා. මේ බෝට්ටු ගමන සෙනඟ වැඩි නම් එච්චර ලල් එකක් නැහැ. එත් සෙනඟ අඩු දවසක ගියොත් මූද සහ අවට බලාගෙන බෝට්ටුවේ ගිහින් එන්නට පුළුවන්.
3. පාළු ගෙවල්
කාලයක් තිස්සේ යාපනයෙත් තැනින් තැන යුද්ධයක් තිබුණා. 1983-2008 වසර විසි පහක විතර කාල සීමාව තුළ යාපනයේ යුද කළබල තිබුණා. ඒ වගේම ඒ යුධ කළබල නිසා යාපනේ ජනතාවට යුරෝපා, ඇමරිකා රටවලට යන්නට අවස්ථාව ලැබුණා. ඒල්ටීටීඊ සංවිධානය දරුවන් සහ පවුල් සමාජිකයින්ගෙන් කප්පම් ගත්තා. ඒ වගේම බලෙන් වගේ සාමාජිකයින් බඳවා ගත්තා. ඒ නිසාත් හැකි අය විදෙස් ගත වුණා. ඒ නිසාදෝ හෝ යාපනයේ රවුමක් දානකොට කලකට ඉහතදී අත් හැර ගිය ගෙවල්, ඉඩකඩම් දකින්නට තියෙනවා. සමහර ගොඩනැගිලි ගරාවැටුනාම ඒවායේ අමුතු ලස්සනක් තියෙනවා.
4. වගාබිම්
චුන්නාක්කම්, කන්කසන්තුරේ පැත්තේ මිනිස්සු ගොවිතැන් කටයුතු කරනවා. හුණුගල් උඩ තිබුණත් එක කලාපයක පස තාමත් හොඳ සාරෙට තියෙනවා. රටකජු, දුම්කොළ ආදිය වගේම එළවළු පළතුරු ජාතිත් සරුවට වවලා තියෙනවා. මිදි වගාවනුත් තියෙනවා. මේ වගාබිම් වලට ජලය ටිකක් අපහසුයි. ඒත් ඒ ජනතාව රතුපාට පස පෙරළලා, වගාබිම් සරුවට නඩත්තු කරලා තියෙන අපූරුව බලන්න ලස්සනයි.
5. තල් නිපැයුම්
නාගදීපේ ගිහින් තියෙනවා නම් ඔයාලට ඒ නාගදීපේ යන්න යාපනේ ඉඳන් කුරිකඩ්ඩුවාන් ජැටියට යන්නට ඕනා. ඒ හරියේදි නින්ද ගියේ නැත්තං ඉතාම ළඟින් හැදිලා බොහොම උසට තියෙන තල් ඉඩම් දකින්නට තියෙනවා. මේ තල් ගහ යාපනේ උදවියට ලොකු ප්‍රයෝජන දෙනවා. තල් වල කොළ ආශ්‍රිතව කරන කලා නිර්මාණ තියෙනවා. ඒ වගේම තල් පිනාටු කියන තල් වලින් හදාගත් තලප තියෙනවා. මතට ලැදි කෙනෙක්ට නම් රා බෝතල් අරගෙන ගසකින් ගසකට යන රා කරුවෙකුගෙන් පාන්දරම රා ටිකක් බාගෙන බොන්නටත් පුළුවන්. මේ තල් රා උණු කරලා පැණි හදනවා. ඒ පැණි වලින් හදාපු හකුරුත් ජනප්‍රියයි. මේ තල් ආශ්‍රිතව නිමැවුණු රසකැවිලි ආදිය රැගෙන එන්න යාපනේ යන දකුණේ අය අමතක කරන්නේ නැහැ.
6. යාපන කෑම වට්ටෝරු
යාපනේ කඩවලත් රයිස්ද, කොත්තුද, බිත්තර රොටිද ආදී මෙහෙ කෑම තියෙනවා. ඒත් ටිකක් ඒරියල් දාල හෙව්වොත්, ටිකක් වියදම් කරන්න පුළුවන් නම් බොහොම කදිම යාපන කෑම කන්නට පුළුවන්. යාපනේ රසවත් මාළු කෑම තියෙනවා. ඒ මාළු, දැල්ලෝ, ඉස්සෝ එහෙම රසට යාපනේ කඩවල තියෙනවා. තව යාපනේ කුකුළුවෝ කරිය සාපේක්ෂව ලාබයි වගේම රසෙනුත් වැඩියි.
7. ෆුට් බයිසිකල් පාවිච්චිය
යාපනේ දැන් නිදහස් වෙලා අවුරුදු දහයක් විතර ගෙවිලා නිසා දැන් ඉස්සර වගේ ෆුට් බයිසිකල් නැහැ. දැන්නම් ඉන්දියානු බයික් සහ ස්කූටර යාපන අර්ධද්වීපයෙත් තියෙනවා. ඒත් සැළකිය යුතු පදින බයිසිකල් තොගයක් තාමත් යාපන ජනතාව පාවිච්චි කරනවා. යාපනයේදී මේ බයිසිකල් වලින් පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් ගමන් පහසුව සලසා ගන්නවා. කඳු නැති යාපන පැතලි භූමියෙදි බයිසිකල් පැදීම ලොකු අභියෝගයක් නෙමෙයි. ඒත් ඉතින් යාපනේ තියෙන දැඩි හිරු රශ්මිය එක්ක දවල් බයිසිකල් පැදීම නම් අමාරු වැඩක්.
යාපනය කියන්නේ අපිට ගිහින් බලලා එන්න වගේම වැඩකරන්න එහෙමත් හිතෙන කූල් පළාතක්. කූල් කිව්වේ කළබල ටිකක් අඩු, ශාන්ත දාන්ත පළාතක්. යාපනේ ටවුන් එකේ වුණත් තට්ටු බිල්ඩින් තාමත් අඩුයි. යාපන අර්ධද්වීපය තුළත් පාළු ඉඩකඩම් ආදිය දකින්නට තියෙනවා. ඒත් යම් යම් සාධක නිසා යාපනේ ඉඩකඩම් නම් අහස උසට ගිනි ගණන් බවක් තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ යාපන සංචාරයෙකදි විඳගන්න තියෙන දේවල් ගැන ඔයාලට යාළුවෝ දානුවත් කරන්න පුළුවන් මේක ෂෙයාර් කරගෙන.
Leave a Reply