බටහිර ජාතීන්ගේ ආක්‍රමණ වලට පෙර ලංකාවේ පැවතිය අවසාන සෞභාග්‍යමත් යුගය විදිහට කෝට්ටේ යුගය හඳුන්වන්න පුළුවන්. අවසාන වතාවට ලංකාව එක්සේසත් වෙන්නෙත් මේ යුගය තුළදී. ඒ හරහා රට ආර්ථික සහ සමාජයීය වශයෙන් ශීඝ්‍ර දියුණුවකට ලක් වෙනවා. විශේෂයෙන්ම භාෂා සාහිත්‍ය අධ්‍යයනය කටයුතු මේ යුගය තුළ වර්ධනය වෙන අතර විද්‍යා ස්ථාන රැසක් බිහි වෙනවා. ඉතිහාස පාඩම් මාලාව තුළ අපිට මේ කෝට්ටේ යුග බබළවපු චරිත ගණනාවක් පිළිබඳව ඉගෙන ගන්න ලැබෙනවා. නමුත් අපි අද කතා කරන්න යන්නේ එතරම් අපිට අහන්න නොලැබෙන කෝට්ටේ යුගයේ චරිත කීපයක් පිළිබඳව.
1. තනිය වල්ලභ රජු
කෝට්ටේ රාජධානියේ උපරාජයෙකු විදිහට මාදම්පා ප්‍රදේශය පාලනය කළ තනියවල්ලභ රජුගේ පියා වන්නේ අටවන වීර පරාක්‍රමබාහු රජුයි. ඔහුගේ යකඩ දෝලියකගේ කුසින් තනියවල්ලභ කුමරු බිහි වූ බව කියවෙනවා. ඔහු කෝට්ටේ රාජධානියට එල්ල වූ මුස්ලිම් මුහුදු මංකොල්ලකාරයන් පිරිසකගේ ආක්‍රමණයක් සහ පෘතුගීසි හමුදා ඛණ්ඩයක් පරාජය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. තනියවල්ලභ රජු යුද්ධයෙන් පරාජය වීය යන ව්‍යාජ පණිවිඩය අසා රජුගේ බිසව සිය දිවි හානි කරගත් බවත් එම පුවත ලද රජුත් සියදිවි හානි කර ගත් බවත් එම ජනප්‍රවාද වැඩිදුරටත් පවසනවා. අද දක්වාම තනියවල්ලභ දෙවියන් ලෙස මේ රජු පුද පූජාවට ලක් වෙනවා.
2. සකල කලා වල්ලභ රජු
අට වන වීරපරාක්‍රම රජුගෙන් පසුව සිහසුන උරුම විය යුත්තේ සකල කලා වල්ලභ රජුට වුවත් තමන් අග බිසවකගේ පුතකු නොවන බැවින් තම මළනුවන් වූ විජයබාහු කුමරුට ඔහු විසින් කෝට්ටේ සිංහාසනය පරිත්‍යාග කළ බව අලකේශ්වර යුද්ධය වැනි සමකාලීන ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා. උඩුගම්පල ප්‍රදේශය සිය මූලස්ථානය ලෙස භාවිතා කරමින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සඳහා විශාල සේවයක් කළ සකල කලා වල්ලභ රජු වැවක බැම්ම කැඩී ගිය අවස්ථාවේදී එයට මිනිස් බිල්ලක් අවශ්‍ය බව දැනගෙන සිය ජීවිතය පූජා කළ බව ජනප්‍රවාදවල කියවෙනවා. වර්තමානයේ පවා අස්වානේ දෙවියන් ලෙස සකල කලා වල්ලභ රජු පුද පූජා ලබනවා.
3. වීදිය බණ්ඩාර
කෝට්ටේ ව්‍යාඝ්‍රයා ලෙස හැදින් වූ වීදිය බණ්ඩාර අතිශය දක්ෂ රණශූරයෙක් වූ නමුත් අවාසනාවකට මෙන් ම ඔහු තුළ තිබූ ක්ෂණික කෝපය නිසා කෝට්ටේ යුගයේ අවනතය වේගවත් වූ බවත් කණගාටුවෙන් නමුත් කිව යුතුයි. බුවනෙකබාහු රජුගේ එකම දියණිය වන සමුද්‍ර දේවිය විවාහ කරගෙන ලද වීදිය බණ්ඩාරගේ දරුවා පසුකාලයක දොන් ජුවන් ධර්මපාල නමින් සිංහල රාජධානිය පෘතුගීසින්ට තෑගි ඔප්පුවකින් පාවාදීම එක්තරා අයුරකින් දෛවයේ සරදමකි.
4. හලාවත ජයපාල
ගුත්තිල කාව්‍ය ලියන්න වෑත්තෑවේ හාමුදුරුවන්ට ආරාධනය කරපු පුද්ගලයා විදියට සඳහන් වෙනනේ හලාවත ජයපාල නම් ප්‍රභූවරයා. එහි එන සඳහනකට අනුව රජුගේ රාජ සභාවේ අගමැති ධූරය දරන ලද්දේ එතුමා විසිනි. ලංකාවේ මූලාශ්‍රවල එතුමා ගැන තියෙන සඳහන මෙය විතරක් වුණාට මෑත කාලයේ සොයාගත්ත චීන මූලාශ්‍රවලට අනුව ලංකාවෙන් ගිය දූත කණ්ඩායමක ප්‍රධානියා විදිහට චීනයට ගිය ජයපාල අග්‍රාමාත්‍යවරයා මිය යන්නෙත් චීන දේශය තුළ දී.
5. සිරිවර්ධන ප්‍රතිරාජ
දක්ෂිණ ලංකාවේ කළු ගඟේ සිට වලවේ ගඟ දක්වා සුවිශාල ප්‍රදේශයක ප්‍රාදේශීය පාලකයා ලෙස කටයුතු කළ සිරිවර්ධන ප්‍රතිරාජයා හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව රජ වූ ජයවීර කුමාරයා මරා දමමින් හයවෙනි බුවනෙකබාහු රජුගේ රජ වීමට එරෙහිව විශාල කැරැල්ලක් දියත් කරනු ලැබුවා. මේ පිළිබඳව බුරුම වංශ කතාවල පවා සඳහන් වන අතර සිරිවර්ධන ප්‍රතිරාජයා සහ ඔහුට උපදෙස් ලබා දුන් කූරගම හිමියන්ව අත්අඩංගුවට ගත් බුවනෙකබාහු රජු ඔවුන් දෙදෙනා සිරගත කිරීමට කටයුතු කරනු ලැබුවා. පසුව සිය රාජ්‍යයේ අවසාන කාලයේ දී ඔවුන් සිරෙන් නිදහස් කොට සිය පුත් කුමාරයාගේ භාරකාරීත්වය ඔවුන් දෙදෙනාට පැවරීමට බුවනෙකබාහු රජු කටයුතු කළා. නමුත් බුවනෙකබාහු රජුගේ බාල සහෝදරයා වූ අම්බුලුගල කුමාරයා එම පුත් කුමාරයාවත්, සිරිවර්ධන ප්‍රතිරාජයා සහ කූරගම හිමියන්වත් ඝාතනය කොට වීර පරාක්‍රමබාහු නමින් රාජ්‍ය ධූරයට පත් වුණා.
6. සමුද්‍ර දේවි කුමරිය
කෝට්ටේ යුගයේ එක් කඳුළු කතාවක් ලෙස සමුද්‍රදේවි කුමරියගේ ඛේදාන්තය සඳහන් කිරීමට පුළුවන්. බුවනෙකබාහු රජුගේ එකම දියණිය වූ ඇය විවාහ වන්නේ කුඩා කාලයේ සිට එකට හැදී වැඩුණු වීදියබණ්ඩාර කුමාරයා සමඟයි. එම විවාහයෙන් ධර්මපාල නමින් පුත් කුමරෙකු ලබන ඇය සිය පවුලේ සාමාජිකයන්ගේ කටයුතු සඳහා සිය මූලික අවධානය යොමු කරන ලද තැනැත්තියක් ලෙස සඳහන් වෙනවා. පෘතුගීසි හේවායෙකු අතින් ඇයට යම් අතවරයක් සිදු වූ බව දැනගන්නා වීදියබණ්ඩාර විසින් ඇයව මරා දමන්නේ සිත් පිත් නොමැත්තෙකු ලෙසයි.
7. උලකුඩය දේවිය
හයවෙනි පරාක්‍රමබාහු රජුගේ එක් දියණියක් වන ඇය ලෝකනාථා නමින්ද ප්‍රකටව සිටි බව කියවෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිය වැඩිමල් සහෝදරිය ලෙස ඇයට මහත් භක්තියෙන් සැලකූ බව ඇයගේ ඉල්ලීම පරිදි කාව්‍යශේඛරය රචනා කිරීමෙන් මෙන්ම ඇයට දරුවකු පතා සැළලිහිණි සංදේශය ලිවීමෙන් ද පැහැදිලි වෙනවා. නමුත් අවාසනාවකට මෙන්ම ඇයට ලැබුණු දරුවා ජයවීර නමින් රජ වුවත්, සපුමල් කුමාරයා අතින් මරණයට පත් වනවා.
සමහර වෙලාවට මේ ලිපිය කියවන පාඨකයන් අතර කෝට්ටේ යුගය පිළිබඳව පර්යේෂණ කරන අය ඉන්න පුළුවන්. ඒ වගේ කෝට්ටේ යුගය තුළ අප්‍රකට චරිත ගැන ඔබ දන්නවා තොරතුරු කාරුණිකව අපි සමඟ ෂෙයාර් කරන්න කියන ඉල්ලීම අපි එවැනි පර්යේෂකයන්ගෙන් කරන්න කැමතියි. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක් ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply