එයාර් රයිෆල් එකක් ගන්න ආසනම්, මෙන්න එයාර් රයිෆල් ගැන විස්තර.

අපි සෑහෙන්න දෙනෙක් තුවක්කු පිස්තෝල වලට ආසයිනේ, හා නැද්ද? ඒ කියන්නේ අපි තුවක්කු පිස්තෝල වලින් වෙඩි තියලා මිනිස්සු මරන්න ආසයි කියන එක නෙවෙයි. හැබැයි ගොඩක් දෙනෙක්ට ගිනිඅවියක් ලඟ තියාගන්න පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒක සමහර වෙලාවට අපිට මනුෂ්‍ය වර්ගයාගේ උරුමයෙන් එන ආසාවක් වෙන්න පුළුවන්. කොහොම වුණත්, ඉතින් ඇත්තටම ඕනම කෙනෙක්ට ගිනි අවි ලඟ තියාගන්න බෑ. අඩු තරමින් ලංකාවේ සහ තවත් සෑහෙන රටවල බෑ. සමහර රටවල, සමහර ප්‍රාන්ත වල නම් ලියාපදිංචි ගිනි අවි ලඟ තියාගන්න පුළුවන්. ලංකාවේ වුනත් යම් යම් අවශ්‍යතාවයන් සම්පූර්ණ කළොත් ලියාපදිංචි කරපු ගිනි අවියක් ලඟ තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් අර ෆිල්ම් වල පෙන්නන විදියට එක එක ජාතියේ ගිනි අවි එකතු කරලා තියෙන ආමරි හදාගන්න නම් බෑ. සාමාන්‍ය මනුස්සයෙක්ට නං ලංකාව වගේ රටක ගිනි අවියක් තියාගන්න කොහොමටවත් බෑ. 

හරි. ගිනි අවියක් බැරි නම් අපිට වායු රයිෆලයක්, ඒ කියන්නේ එයාර් රයිෆල් එකක් මිලදී අරගෙන ලඟ තියාගන්න පුළුවන්ද? ආන්න ඒක නම් බැරි වැඩක් නෙවෙයි. මේ කියන්න යන්නේ ඒ ගැන තොරතුරු ටිකක්.

 

1. මොකද්ද එයාර් රයිෆල් එකක් කියන්නේ?

එයාර් රයිෆල් එකක් නැතිනම් වායු තුවක්කුවක් කියන්නේ, සම්පීඩනය කරපු වායුවක ආධාරයෙන් උණ්ඩයක් මුදාහැරෙන යාන්ත්‍රණයක් තියෙන අවියක්. මේකේ යාන්ත්‍රණයේ වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, දැන් සුලභව පාවිච්චි වෙන එයාර් රයිෆල් වල තියෙන්නේ ස්ප්‍රින්ග් එකක්. හැබැයි අර උඩින් කියපු නිර්වචනයම තමයි. 

 

එයාර් රයිෆල් එකකට වෙඩි බෙහෙත් වලින් බලය ලැබෙන පතුරම් අවශ්‍ය නැති නිසා පිපිරීමකුත් නෑ. ඒ නිසාම ලොකු සද්දයක් සහ ලොකු පසුපසට පැන්නුමක් ඇතිවෙන්නෙත් නෑ. දුමකුත් නෑ. ඒ වගේම එයාර් රයිෆල් එකකට සාමාන්‍ය ගිනි අවියක තරම් විශාල බලයකුත් නෑ. ඒත් එයාර් රයිෆල් කියන්නෙත් තුවක්කු වර්ගයක්ම තමයි. 

 

2. එයා රයිෆල් ජාති

එයාර් රයිෆල් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය. ලංකාවෙත් මේක තමයි බහුලවම තියෙන්නේ. මේකේ ඇත්තටම තියෙන්නේ බොහොම ප්‍රබල ස්ප්‍රින්ග් එකක්. ඒ ස්ප්‍රින්ග් එක හකුළුවලා තමයි පැලට් එක දාන්නේ. ඊට පස්සේ කොකා ගැස්සුවහම මේ ස්ප්‍රින්ග් එක ක්ෂණයකින් දිග හැරෙනවා. අන්න ඒ ස්ප්‍රින්ග් එකෙන් ඇති කරන ප්‍රබල වායු පීඩනයෙන් පැලට් එක ඉස්සරහට තල්ලු වෙනවා. මේ ස්ප්‍රින්ග් එක හකුලුවන්න එක්කෝ බැරල් එක මැද්දෙන් කඩලා පහළට තල්ලු කරන්න ඕන. එහෙම නැතිනම් බැරල් එක යට ලීවරයක් තියෙන මොඩ්ල් එකකුත් තියෙනවා. හැබැයි පුතෝ මේක ලේසි නෑ. හොඳ ශරීර ශක්තියක් ඕන මේ ලිවර් එකෙන් හරි බැරල් එකෙන් හරි ස්ප්‍රින්ග් එක හකුළුවන්න. මේ තුවක්කුවට එක පාර එක පැලට් එකයි දාන්න පුළුවන්. 

ඊලඟට තියෙනවා නියුමැටික් එයාර් රයිෆල්. මේකේ වායු ටැංකියක් තියෙනවා. ඒකට වායුව පොම්ප කරන්න ඕන. ඒ වායු පොම්ප කිරීම අතින් කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් තවත් වර්ග තියෙනවා මැෂින් ආධාරයෙන් වායුව පුරවන්න. මේක නම් ඒ තරම් ජනප්‍රිය නෑ.

තුන්වෙනි වර්ගේ තමයි ගොඩක්ම ඔය තරඟ වලට එහෙම පාවිච්චි කරන එයාර් රයිෆල් වලට තියෙන්නේ. ඒ තමයි කාබන්ඩයික්සයිඩ් හෝ නයිට්‍රජන් කැනිස්ටරයකින් බලය ලබාගන්න එයාර් රයිෆල් වර්ග. මේක නම් නියුමැටික් වර්ගෙට වඩා සෑහෙන්න සාර්ථකයි. හැබැයි මේවා සෑහෙන්න මිලෙන් අධිකයි. මේ එයාර් කැනිස්ටර් වර්ගෙට වගේම නියුමැටික් වර්ගෙටත් එක පාර පැලට් ගණනාවක් දාන්නත් පුළුවන්. 

 

3. මොනවද දාන බුලට්ස්

ඇත්තටම එයාර් රයිෆල් වලට දාන්නේ බුලට්ස් නෙවෙයි. මේවට දාන්නේ පැලට්ස්. ගොඩක්ම ප්‍රාථමික වායු රයිෆල වලට දාන්නේ පුංචි යකඩ බෝලයක් වගේ පැලට් එකක්. මේවා BB පැලට්ස් කියලා හඳුන්වනවා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් .22 වර්ගේ වානේ පැලට්ස් තමයි එයාර් රයිෆල් වලට දාන්නේ. මේ පැලට්ස් වලත් මුහුණත උල් හැඩයක් ඇති ඒවා සහ මුහුණත ෆ්ලැට් ඒවා දකින්න පුළුවන්.

 

4. වෙඩි තිබ්බොත් මැරෙයිද?

අනිවාර්යයෙන්ම ප්‍රබල එයාර් රයිෆලයකින්, හරි පැලට් එකකින්, හරි දුරක ඉඳන්, හරි තැනට වෙඩි තිබ්බොත් මනුස්සයෙක්ව වුණත් මරන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි එයාර් රයිෆල් එකක් ගන්න කලින්, මේක සෙල්ලම් බඩුවක් නෙවෙයි කියන අවබෝධය තියෙන්න ඕන. සාම්ප්‍රදායික වෙඩි බෙහෙත් පතුරම් නැති වුණත් මේකත් අවියක් තමයි. සාමාන්‍ය පිළිගැනීම වෙන්නේ, එයාර් රයිෆල් එකක් කොයි තරම් ප්‍රබල වුණත්, ඒකට පාවිච්චි කරන පැලට් එකකට මනුෂ්‍ය හිස්කබල විනිවිද යන්න බැහැයි කියන එක. හැබැයි මතක තියාගන්න, මිනිහෙක්ව මරන්න එයාර් ගන් එකකින් වෙඩි තියන්න ඕන ඔළුවට විතරක් නෙවෙයි. තව සංවේදී තැන් තියෙනවා. අන්න ඒ නිසා තමයි එයාර් රයිෆල් එකක් පාවිච්චි කරනකොට අතිශයින්ම ප්‍රවේසම් වෙන්න ඕන.

සාමාන්‍යයෙන් සත්තුන්ගෙන් තමන්ගේ වගාවන් ආරක්ෂා කරගන්න එයාර් රයිෆල් එකක් ගන්න ගොවියෝ සාක්ෂි දරයි, එයාර් රයිෆල් එකකින් පහසුවෙන්ම කුඩා සත්තුන්ව මරන්න පුළුවන් කියන එක. සාමාන්‍යයෙන් වගාවට හානි කරන රිලවුන්, දඬු ලේනුන්, හාවුන්, පක්ෂීන් එහෙම එයාර් රයිෆල් එකකින් බොහොම පහසුවෙන් මරන්න පුළුවන්. ඒ වගේම වඩාත් ප්‍රබල එයාර් රයිෆල් වලින් ඌරන්ව, මුවන්ව, ගෝනුන්ව පවා බිම දාපු දඩයක්කාරයෝ ඉන්නවා.

හැබැයි ඉතින් අපි රෙකමන්ඩ් කරන්නේ, සත්තුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න එයාර් රයිෆල් එකක් ගත්තත් සත්තු මරන්නෙ නැතුව බය කරලා පළවා හරින්න විතරක් එයාර් රයිෆල් එක පාවිච්චි කරන්න කියලා තමයි.

 

5. ට්‍රේනින්ග් එකක් ඕනද?

මේක අනිවාර්ය කාරණයක්. හේතුව මේකයි. වායු රයිෆලයක් නොදැන පාවිච්චි කරන්න ගියොත් එහෙම අනුන්ට විතරක් නෙවෙයි, තමන්ටත් හානි වෙන්න තියෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදියට කිවුවොත්, වායු රයිෆලයක් වෙඩි තියන්න කලින් පැලට් එකක් ලෝඩ් කරනකොට අල්ලගන්න ඕන ක්‍රමයක් තියෙනවා. වායු රයිෆලය වෙඩි තියන්න මානන්න කලින් අතේ තියාගන්න ඕන ක්‍රමයක් තියෙනවා. කුරුමාණම ගන්නත් ක්‍රමයක් තියෙනවා. වෙඩි තියන එකටත් ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුව ගත්තා, කොකා ගැස්සුවා කියන සිස්ටම් එක වායු රයිෆල් වලට නෙවෙයි, කිසිම ගිනිඅවියකට ප්‍රායෝගිකව හරියන්නෙ නෑ. වායු රයිෆල් එකක් හරියට පාවිච්චි කළේ නැතිනම් අපිට හානි වෙන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, චේම්බර් එකක් තියෙන, ඒක ඇතුළට පැලට් එක දාන්න ඕන වායු රයිෆලේක ස්ප්‍රින්ග් එක ලෝඩ් කරලා තියාගෙන පැලට් එක දාන්න යනකොට මොකක් හරි දෝෂයක් වෙලා ස්ප්‍රින්ග් එකේ ලොක් එක පැන්නා කියමු. රයිෆල් එක හරි විදියට අල්ලගෙන හිටියොත්, ස්ප්‍රින්ග් ලොක් එක පැන්නත් ස්ප්‍රින්ග් එක ඇවිත් වදින්නෙ නෑ. හැබැයි වැරදි විදියට අල්ලගෙන හිටියොත් ඇඟිල්ලේ ආසාව අත්හරින්න වෙනවා.

ආන්න ඒ නිසා තමයි ට්‍රේනින්ග් එකක් එක්ක එයාර් රයිෆල් එකක් ගන්න එක වැදගත් වෙන්නේ.

 

6. නීතිමය තත්ත්වය

වායු රයිෆල් වලට තියෙන නීතිමය තත්ත්වය මෙහෙමයි. සාමාන්‍යයෙන් විනෝදාස්වාදය උදෙසා හරි වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා හරි වායු රයිෆලයක් ගන්න හිතන කෙනෙක්ට ස්ප්‍රින්ග් එකෙන් ක්‍රියාත්මක වෙන වායු රයිෆලයක් මිලදී ගන්න කිසිම ගැටළුවක් නෑ. හැබැයි තමන් වගකීමක් තියෙන තැනකින් තමයි ඒක ගත්තේ කියන රිසිට් එක ලඟ තිබීම නීතියෙන් හෝ වෙනත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන අවස්ථාවකට ප්‍රයෝජනවත්. තරඟ කටයුතු වල යෙදෙන අයටත් වඩාත් ඇඩ්වාන්ස් වායු රයිෆල් මිලදී ගන්න පුළුවන්. 

හැබැයි මේ වෙනකොට ලංකාවේ තියෙන තත්ත්වයක් තමයි, විදේශ රටවල නිෂ්පාදනය කරපු වායු රයිෆලයන් ලංකාවට ගෙන්වීමේ තියෙන ගැටළුව. ලංකාවට මේ මොහොතේදී වායු රයිෆල් ගෙන්වන්න බැහැයි කියන එක තමයි අපි විමසීම් කරපු තැන් කීපෙකින්ම දැනගන්න ලැබුණේ.

ඒ ඇරෙන්න, වායු රයිෆලයකින් වෙඩි තියලා කෙනෙක්ට හෝ සතෙක්ට හානියක් කළොත් එහෙම ඉතින් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා කියලත් කියන්න ඕන. අන්න ඒ නිසා වායු රයිෆලයක් ගත්තා වගේ නෙවෙයි, ටාගට් ප්‍රැක්ටිස් කරන්න ඕන පරිස්සමෙන්.

ඒ වගේම, වායු පිස්තෝල නම් සාමාන්‍ය මනුස්සයෙක්ට ලංකාවේ පාවිච්චි කරන්න දෙන්නෙ නෑ කියලත් දැනගන්න ලැබුණා. තරඟ වලට නම් පාවිච්චි කරන්න පුළුවන්.

 

7. ගන්න තියෙන්නේ කොහෙද?

අන්න හොඳම ප්‍රශ්නේ. ඇත්තටම වායු රයිෆල් ගන්න තැන් කීපයක්ම තියෙනවා ලංකාවේ. ගූගල් සර්ච් එකක් කළොත් මැප් එකේ වායු රයිෆල් ගන්න තැන් කීපයක්ම එයි. හැබැයි අපි රෙකමන්ඩ් කරන විශ්වාසදායකම තැන තමයි W.Thomas & Sons. එතන රෙකමන්ඩ් කරන්නේ හේතු කීපයක් උඩ. මේ අය තමන්ගේම වායු රයිෆල් නිෂ්පාදනය කරනවා ලංකාවේ. ඒකට ආරක්ෂම අමාත්‍යාංශයෙන් බලපත්‍රයකුත් තියෙනවා මේ අයට. මේ අයගේ වායු රයිෆල් වලට අවුරුදු පහක වගකීමකුත් ලැබෙනවා. ඒ වගේම විශේෂම දේ, වායු රයිෆලයක් ආරක්ෂාකාරීව හැසිරවීම සහ වෙඩි තැබීම ගැන පුහුණුවකුත් තෝමස් සහ පුත්‍රයෝ එකෙන් ලැබෙනවා. ඒ පුහුණුව ගන්නේ නැති කෙනෙක්ට මේ අයගෙන් වායු රයිෆලයක් මිලදී ගන්න බැහැ.

 

8. මිල ගණන්

සාමාන්‍යයෙන් මිල ගණන් ගත්තොත්, වෙළඳපොළේ ඔය බීබී ගන් කියලා හඳුන්වන ප්‍රාථමික වායු රයිෆල් රුපියල් 20,000-23,000 අතර ප්‍රමාණයක ඉඳලා ගන්න පුළුවන්. හැබැයි ක්‍රීඩා වලට භාවිතා කරන වඩාත් ඇඩ්වාන්ස් එයාර් රයිෆල් ගන්නවා නම් මිල ගණන් ඊට වැඩියි. ඔය ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තරඟ වල භාවිතා කරන සමහර ඒවා ලක්ෂ කීපයක් වෙනවා. 

ඩබ්ලියු.තෝමස් සහ පුත්‍රයෝ නිෂ්පාදනය කරන WTS800 කියන වායු රයිෆලය රුපියල් 25,000 ක් වෙනවා. වායු රයිෆලයක් භාවිතා කිරීම පටන් ගන්න කෙනෙක්ට ඒක හොඳම තේරීමක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්.

එතනින් එහාට ඔය වායු කැනිස්ටර් ආධාරයෙන් ක්‍රියාත්මක වන, තරඟ වලට නිෂ්පාදනය කරන වායු රයිෆල් නම් ඊට වඩා සෑහෙන්න ගණන්. ඒවා ලක්ෂ කීපයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වගේ වායු රයිෆලයක් නොදන්න කෙනෙක් පාවිච්චි කරන්න ගියොත්, ඉක්මනටම රයිෆලයට හානි වෙන්න තියෙන ඉඩ වැඩියි.

 

දැන් අදහසක් තියෙනවනේ වායු රයිෆල් එකක් ගැන. එහෙමනම්, වායු රයිෆල් එකකට වියදම් කරන්නත් පුළුවන් නම්, වායු රයිෆලයක් අරගත්තට ගැටළුවක් නෑ. ඒක විනෝද ක්‍රීඩාවක් විදියට වුණත් පුරුදු පුහුණු වෙන්න පුළුවන් වැඩක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *