මාර්තු 8 වෙනිදාට යෙදෙනවා එක විශේෂ දිනයක්. ඒ තමයි ලෝක කාන්තා දිනය. ලෝකයට ජීවය දෙන, ලෝකය හැඩ කරන කාන්තාවන්ව සමරන්න යොදාගන්න මේ දිනයේදී අපි හිතුවා පිරිමි ඔබට උපදෙස් කීපයක් දෙන්න. ඒ තමයි කාන්තාවන්ව පහත් කොට නොසලකන, කාන්තාවන්ට නිසි ගෞරවය දෙන පිරිමියෙක් වෙන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්නට. මේ දේවල් ඔබ දැනටමත් කරනවානම් ඔබ කාන්තාවන්ට ගරු කරන පිරිමියෙක් කියලා ඔබටම ආඩම්බර වෙන්න පුළුවන්.
1. නිසි පරිදි කාන්තාවන්ට ආමන්ත්‍රණය කිරීම
“කෑල්ල“, “පට්ට කඳ” වගේ නොයෙකුත් ලිංගික යෙදුම් වලින් කාන්තාවන්ව අමතන පිරිමි අපිට දකින්න ලැබෙනවා. පිරිමියෙක් තමන්ගේ ආදරවන්තියට හරි බිරිඳට හරි “සෙක්සි” කියලා ආමන්ත්‍රණය කරන එක වෙනම කතාවක්. හැබැයි නොදන්න ගෑණු ළමයෙක්ට එහෙම ආමන්ත්‍රණය කරන එකත්, අර කැට් කෝලින් කියලා කියන පාරේ දකින අහඹු කාන්තාවකට බොහොම නරක, අපහාසාත්මක ලිංගික යෙදුම් වලින් ආමන්ත්‍රණය කරන එකත් ලොකු වෙනසක් නෑ.
කාන්තාවක් අගය කරන්න පුලුවන් ආචාර ශීලී විදි තියෙනවා. “ඔයා බොහොම ලස්සනයි” කියන එක එක විදියක්. හැබැයි “ඔයා මාර සෙක්සි” කියන එක ආචාරශීලී විධියක් නෙවෙයි! අන්න ඒ නිසා කාන්තාවක් ඇමතීමේදී ඇයගේ ලිංගිකත්වය සහ ශරීර ලක්ෂණ මතු කරන විදිහේ අපහාසාත්මක ආමන්ත්‍රණ නොකර ඉන්න වග බලාගන්න එක ඉතා වැදගත්.
2. ඇගේ මතයට ගරු කිරීම
ආදර සම්බන්ධතාවයක් ඇතුළේ හෝ වෙනත් රැකියා හෝ වෘත්තීය සම්බන්ධතාවයක් ඇතුළේදී සමහර පිරිමි හිතන් ඉන්නවා තමන් පිරිමියෙක් වන නිසාම තමන්ගේ මතය නිවැරදිය සහ තමන් යෝජනා කරන හැම දේකටම කාන්තාව කැමති විය යුතුය කියන එක. මේ හේතුවෙන් කාන්තාව කොතරම් වැදගත්, වටිනා මතයක් දැරුවත් ඒක ප්‍රතික්ෂේප වෙන අවස්ථා තියනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුළෙත් සියළු තීරණ ගැනීම පිරිමියා විසින් සිදු කරනවා. ලිංගිකත්වය සම්බන්ධ කාරණා වුණත් පිරිමියාගේ රුචි අරුචිකම් බලෙන් කාන්තාව මත පැටවෙනවා. මේක ඉතාම වැරදි කාරණයක්. කාන්තාවක් දරණ අදහස්වලට ඇහුම්කන් දීම වගේම ඇය අකමැති කාරණාවලට බල නොකර ඇයට ඇගේ නිදහස ලබාදීමත් සැබෑ පිරිමියෙක් අතින් සිදු විය යුතුයි!
3. ඇසුරු කළ කාන්තාවන්ගේ චරිත ඝාතනය නොකිරීම
හැම ප්‍රේම සම්බන්ධයම සාර්ථකත්වයට පත් වෙන්නේ නැහැ. නොහොඳ නෝක්කාඩු, විරසක, බිඳී යාම් සිද්ධ වෙනවා. නමුත් සමහර පිරිමි ඉන්නවා තමන්ගේ යම් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳී ගියාම තමන් එක්ක සම්බන්ධය පවත්වාගෙන ගිය කාන්තාවගේ චරිතය ඝාතනය කර ඇයව අපහාසයට පත් කරන්නට උත්සාහ කරන. තවත් සමහරු අතිශය පෞද්ගලික කාරණා පවා සමාජයට මුදා හරිමින් කාන්තාවන්ව අපහසුතාවයට පත් කරන්නට කටයුතු කරනවා. ඒක කිසිසේත්ම පිළිගත හැකි හැසිරීමක් නෙමෙයි. කාගේ වරදකින් සම්බන්ධතාවක් බිඳී ගියත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ හිත හදාගෙන, අනාගතයක් ගැන හිතනවා මිස, වෛර කිරීම හෝ කෙනෙක්ගෙන් පළිගන්න කටයුතු කරන එක සුදුසු දෙයක් නෙමෙයි. නියම පිරිමියෙක් මේ වගේ අවස්ථාවක තමන්ගේ තැන තියාගෙන, තමන්ගේ අනාගතය ගැන හිතමින් පැත්තකට වෙන එක තමයි කරන්නේ.
4. ඇගේ සිහින හඹායාමට උදවු කිරීම
සමහර පිරිමි කැමති නැහැ තමන්ගේ බිරිඳ, සොහොයුරිය හෝ පෙම්වතිය රැකියා කරනවට. ඒ වගේම ඇය කැමති යම්කිසි ක්ෂේත්‍රයක්, ඇය කැමති විනෝදාංශයක් තියනවානම් ඒවා හා සම්බන්ධ වෙලා වැඩ කරනවට අකමැති පිරිමි ඉන්නවා. ඔවුන් කාන්තාවන්ව නිවසට කොටු කරන්නටයි උත්සාහ කරන්නේ. ඒකත් කාන්තාවන්ට කරනා එක්තරා අගෞරවයක් හැටියටයි අපි දකින්නේ. වර්තමානය වෙද්දී ඕනෑම ක්ෂේත්‍රයක පිරිමින් හා සමානවම කාන්තාවනුත් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් සතු සිහින හඹායාමට ධෛර්ය සැපයීම මිස, ඒවා කඩා බිඳ දමා ඔවුන්ව ගෙයි මුල්ලකට කිරීම කාන්තාවන්ට ගෞරව කරන පිරිමියකු අතින් සිදු වන්නේ නැහැ. ඔවුන් සිදු කළ යුත්තේ ඇගේ ශක්තීන් සහ හැකියාවන් හඳුනාගෙන ඇයට ඇගේ සිහින මල්ඵල ගන්වාගන්න උදවු කරන එකයි.
5. නිසි අවධානය දීම
කුඩා අවධියේදී තමන්ව උස් මහත් කරන්නට වෙහෙස මහන්සි වෙලා කැපවුණු අම්මාව වැඩිහිටි වියට එළැඹුනාම නොසලකා හරින දරුවෝ ඉන්නවා. පෙම්වතිය බවට පත් වෙනකල් ආදරය පෙන්නාගෙන පස්සෙන් ගියාට, එක වහලක් යටට ආවාට පස්සේ බිරිඳට වහලියකට වගේ සලකන පිරිමින් අපිට දකින්න ලැබෙනවා. තවත් සමහරු ඉන්නවා මවට, බිරිඳට, සොයුරියන්ට ඒ හැටි වරදක් නොකළත්, ඔවුන් ගැන කිසිදු අවධානයක් නැතිව ජීවත් වෙන උදවිය.
කාන්තාවන්ට නිසි ගරුත්වය දෙන පුද්ගලයෙක්ගේ අතින් අපි ඉහතින් කියපු අඩුපාඩුකම් නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් දන්නවා තමන්ගේ නිසි අවධානය තමන්ගේ ජීවිතයේ සමීපතම අයට ලැබිය යුතු බව. ඔවුන්ගේ ලෙඩේ දුකේදී විතරක් නෙමෙයි, ඔවුන් සතු ඕනෑම කුඩා ගැටළුවකදී පවා ඒ ගැන විමසිලිමත් වෙලා, තේරුම් අරන්, සමීපව ඉඳලා උදවු කරන එක තමයි නියම පිරිමියෙකුගේ ලක්ෂණ.
6. ඇගේ සමීපතමයන්ටත් නිසි ගෞරවය ලබාදීම
ඔබේ බිරිඳට, පෙම්වතියට නිසි ගෞරවය ලබා දෙනවා වගේම ඇගේ පවුලේ උදවිය සහ හිතවතුන්ටත් හොඳින් සලකන එක ඇයටම කරනා තවත් ගෞරවයක් වෙනවා. ඕනෑම සමාජයක අපිට ඒ තරම් හිතට අල්ලන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අඩුම තරමේ ඇගේ සමීපතමයන්ගේ හිත් නොරිදෙන ආකාරයෙන් හරි කටයුතු කරන්න වග බලාගන්න එක කාන්තාවන්ට ගරු කරන පිරිමියෙකු සතු හොඳ ගුණාංගයක්. මේ කියන්නේ කාටවත් දෙකට නැමෙන්න කියලාවත් යටත් වෙලා ඉන්න කියලාවත් නෙමෙයි, සුහදව ඉන්න ගමන් ඇගේ සහ ඔබේ ගරුත්වය රැකගන්න උත්සාහ කරන්න කියලයි.
7. විශ්වාසය ලබා දීම
මේක කාන්තාවක් බෙහෙවින්ම බලාපොරොත්තු වෙන දෙයක්. ඒ තමයි ඇයව විශ්වාස කරන සහකරුවෙක් සිටීම. මේ විශ්වාසය ඇගේ හැකියාවන් ගැන වෙන්න පුළුවන්, ඇගේ ජීවිතයේ නිදහස ගැන වෙන්න පුළුවන්. ඒ කුමන දේ සම්බන්ධව වුණත් ඔබ ඇයව විශ්වාස කරනවානම් ඒ හේතුවෙන් ඇය ඉතාම සතුටක් ලබනවා. ජීවිතයේ හැම දෙයක්ම එවිට ඇය ඔබ සමග බෙදාගන්න පෙළඹෙනවා. නිතර සැකයන් යොමු කරන පිරිමින් නිසා කාන්තාවන් පීඩාවට පත්වෙන අවස්ථා අපේ සමාජයේ ඕනෑ තරම් තියනවා. නිකරුණේ සම්බන්ධතා බිඳී යන්නටත් මේ අවිශ්වාසය හේතු වෙනවා. ඒ නිසා අහේතුකව ඇයව අවිශ්වාස නොකර, හැකි සෑම විටම ඔබේ විශ්වාසය ඇයට හිමිවන බව ඒත්තු ගැන්වීම ඉතා වැදගත්.
ඉතින් අපි මේ උපදෙස් අරගෙන ආවේ තරුණයන්ට විතරක් නෙමෙයි, තරුණියන්ටත් කියවලා දැනගන්නයි. මොකද තමන්ගේ ජීවිතේට සමීප පිරිමි උදවියගෙන් තමන්ට මේ නිසි ගෞරවය ලැබෙනවාද කියලා ඔවුනුත් තේරුම් ගැනීම වැදගත් නිසයි
Leave a Reply