දැන් ඔන්න අපි අවුරුදු ගාණක් ඉස්කෝලේ යන්න ගත කරනවනේ. ඒ කාලේ අපේ ඔලුවේ තියෙන්න ඕන කියලා අම්මලා තාත්තලා කියන්නේ ඉගෙනීම තමයි. හැබැයි ඉතින් ඇත්තටම අපේ ඔලුවට ඒ දවස් වල ඉගෙනීම වගේම, සෙල්ලම, ක්‍රෂ්, පිස්සු කෙලීම් වගේ නොයෙකුත් එව්වා කැරකෙනවා. ඔය මොනදේ කළත් උසස් අධ්‍යාපනය දක්වා යන්න ඕන කියන එකත් සමහරුන්ගේ ඔලුවල වැඩ කරනවා. හැබැයි ඒ මොනදේ ඔලුවේ වැඩ කළත්, වෘත්තිය ජීවිතය ගැන අදහසක් ඒ කාලේ තියෙනවද? නෑනේ. මං දොස්තර කෙනෙක් වෙනවා, මං ඉංජිනේරුවෙක් වෙනවා වගේ අදහස් එක්ක, යම් යම් වෘත්තීන්ට අධ්‍යාපනයෙන් සෘජුවම ලෑන්ඩ් කරන්න පුළුවන් සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්න අය ඇරුණහම, අනික් අයට එහෙමට අදහසක් නෑ තමන් කොහොමද වෘත්තිය ජීවිතය සාර්ථක කරගන්නේ කියලා.
තවත් සරලව කියනවා නම්, විසි ගණන් වලදීම තමන්ට හරියන ජොබ් එකකට ලෑන්ඩ් කරලා, ඒක හොඳ ජොබ් සෙකියුරිටි එකක් තියෙන විදියට, ප්‍රොෆෙෂනලි තමන්ට ජීවිතේ ඉදිරි කාලේත් හොඳ පැවැත්මක් තියෙන විදියට හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ.
1. පළවෙනි ජොබ් එකට ලොකු සීන් එපා
පළවෙනි ජොබ් එක සාමාන්‍යයෙන් කරන්නේ ඒ ලෙවල් ඉවරවුණු ගමන් වගේනේ. කැම්පස් යන්න සිලෙක්ට් වෙලා හිටියත්, කැම්පස් පටන් ගන්නකල් ජොබ් එකක් කරනවනේ. ඔන්න ඔය ජොබ් එකට ලොකු සීන් බෑ. තේ හදන ජොබ් එකක් හම්බුණත්, හරි හමන් පඩියක් ලැබෙනවා නම් යන්න ඕන. හැබැයි අනික් පැත්තට, පළවෙනි ජොබ් එකේදී සාමාන්‍යාධිකාරී කෙනෙක්ට ගණන් ඉල්ලන්න බෑ හැබැයි.
අන්න ඒ නිසා පළවෙනි ජොබ් එකට තමන්ට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් විදියේ, අඩු ගාණේ මග වියදමවත් හම්බුවෙන විදියේ එකකට තමයි යන්න ඕන. එහෙම නැතුව ඔය ඩිජිටල් මාකටින්, පිරමිඩ් සේල්ස් වගේ හොර ජොබ්, ගෙයින් ගෙයට බඩු විකුණන්න යන අහස උසට පොරොන්දු දෙන ජොබ් වලට ගිහින් වැඩක් නෑ.
2. හැබැයි තමන්ට ඕන මොනවද කියන එකත් මේ එක්කම හිතන්න
දැන් ඔන්න පළවෙනි ජොබ් එකට සෙට් වෙලා ඉන්නවා. දැන් ඔය ජොබ් එක කරගෙන යන අතරවාරේ හිතන්න ඕන තමන්ට ඇත්තටම කරන්න ඕන මොනවද කියලා. ඒ කියන්නේ, තමන්ට අනාගතේදී ඇත්තටම යන්න ඕන වෘත්තිය පාර මොකද්ද කියන එක හිතලා බලන්න ඕන. මේක හිතනකොට සැලකිල්ලට ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එතනින් ප්‍රධානම එක තමයි තමන් කරන්න ආස ජොබ් එක මොකද්ද කියන එක. මොකද, තමන් ආස දෙයක් කරන එකෙන් තමයි ජොබ් එක ආතල් එකක් වෙන්නේ. එතනදී තමන්ගේ හැකියාවන් තියෙන්නේ මොන පැත්තටද කියන එකත් සැලකිල්ලට ගන්න එක හොඳයි.
3. දන්න කෙනෙක්ගෙන් අහන්න
ඇත්තටම අවුරුදු විසි ගණන් වල මුල ඉන්න අපි මොනවද වෘත්තිය ජීවිතේ ගැන දන්නේ? ආන්න ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා හොඳ ගුරුහරුකම්. හැබැයි ඒ ගුරුහරුකම් ගන්න තෝරගන්න කෙනා, අපි තෝරගන්න වෘත්තිය මාර්ගය ගැන හොඳ අදහසක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වෘත්තියේම ප්‍රවීණයෙක් නම් වඩාත් හොඳයි. ඒ වගේම විශ්වාසවන්තයෙක් වෙන්නත් ඕන. දැන් මෙන්න මෙයාගෙන් දැනකියාගන්න පුළුවන් අපි තෝරගන්න වෘත්තියේ ඉහළට යන්න නම් අපි සම්පූර්ණ කරගන්න ඕන දක්ෂතා, කුසලතා, අධ්‍යාපන සුදුසුකම් ගැන. එතකොට ඒ පාරේ එන්න පුළුවන් අභියෝග බාධක ගැන එහෙමත්.
4. නෙට්වර්ක් එකත් හදාගන්න
ඇත්තටම වෘත්තීය ජීවිතේදී ඕනම කෙනෙක්ට ඉතාම වටිනා සම්පතක් තමයි පුද්ගල සම්බන්ධතා කියන්නේ. ඒ කියන්නේ අපි වෘත්තිය කරන අතරේදී මුණගැහෙන මිනිස්සු එක්ක සුහද සම්බන්ධතා පවත්වා ගැනීම, අවශ්‍ය විටක තමන්ට ගැටළුවකින් තොරව ඒ අයට ලබාදෙන්න පුළුවන් වෘත්තිමය උපකාරයක් ලබාදීම සහ ඒ ඔස්සේ තමන්ගේම වෘත්තිය ජාලයක් නිර්මාණය කරගැනීම ඉතාම ප්‍රයෝජනවත්. මෙහෙම කිරීම ඔස්සේ අනාගතයේදී අපේ වෘත්තිය ජිවිතේටත් සෑහෙන්න ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් වෙයි.
5. ස්කිල්ස් ඇන්ඩ් කොලිෆිකේෂන්
මෙන්න මේක වෘත්තිය ජීවිතේට ඉතාම වැදගත්. දැන් අපි උඩින් කියපු විදියට හොඳට හිතලා මතලා අපිට යන්න ඕන වෘත්තිය මාර්ගයක් තෝරගත්තනේ. ඒ වගේම ඒ වෘත්තිය මාර්ගයේ ඉස්සරහට යන්න අවශ්‍ය වෙන කුසලතා සහ අධ්‍යාපන සුදුසුකම් ගැනත් දැන ගත්තනේ. දැන් කරන්න ඕන ජොබ් එක කරන ගමන්ම ඒ කුසලතා සහ අධ්‍යාපන සුදුසුකම් ලඟා කරගන්න එක. ඇත්තටම ජොබ් එකකුත් කරන ගමන්, අවුරුදු විසි ගණන් වල ආතල් එකත් ගන්න ගමන්, ඉගෙන ගැනිල්ලත් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි හරියට කරගත්තොත් ගොඩම තමයි. මේ අධ්‍යාපන කුසලතා වලට විවිධ ඩිප්ලෝමා, සහතික පත්‍ර පාඨමාලා, උපාධි, පශ්චාත් උපාධි වගේ එව්වා ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම අවශ්‍ය කුසලතා දියුණු කරගන්නත් ඔන්ලයින්ම කරන්න පුළුවන් දේවල් ඕනෑ තරම් තියෙනවා.
6. සයිඩ් ප්‍රොජෙක්ට්ස්
සයිඩ් ප්‍රොජෙක්ට්ස් කියන්නේ තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් උපයෝගී කරගනිමින්, තමන්ගේ ජොබ් ප්‍රොෆයිල් එකෙන් පිට ඉඳන් කරන ප්‍රොජෙක්ට්ස්. මේවා සමහර වෙලාවාට ප්‍රෝ-බොනෝ, ඒ කියන්නේ නොමිලේ කරන එව්වා වෙන්න පුළුවන්. සමහර සයිඩ් ප්‍රොජෙක්ට්ස් වලට සල්ලි හම්බුවෙන්න පුලුවන්. මෙතනදී විශේෂම දේ වෙන්නේ මේ සයිඩ් ප්‍රොජෙක්ට් වලින් බැලූ බැල්මට ලාභයක් නොලැබුණත්, දීර්ඝ කාලීනව බැලුවහම මේවා හොඳ ආයෝජන වීම. අනාගතයේදී මේ විදියේ සයිඩ් ප්‍රොජෙක්ට් එකක් හොඳ ඉන්කම් එකක් ගේන්න පුළුවන්. ඊටත් වඩා තමන්ගේ නම හැදෙන්න මේ සයිඩ් ප්‍රොජෙක්ට් වලින් හොඳ තල්ලුවක් ලැබෙන්න පුළුවන්. මේ සයිඩ් ප්‍රොජෙක්ට් කියන්නේ පොතක් ලියන එක, පත්තරේ ආටිකල්ස් ලියන එක, පුහුණුකරුවෙක් විදියට වැඩ කරන එක වගේ ඕනම එකක් වෙන්න පුළුවන්.
7. සල්ලිම නෙවෙයි බ්‍රෝ!
දැන් අපි උඩින් කියපු සයිඩ් ප්‍රොජෙක්ට්ස් සහ මේ කියන සුභසාධන ප්‍රොජෙක්ට්ස් පටලවා ගන්න එපා. මේ කියන්නේ නොමිලේ තමන්ගේ දැනුම, ශ්‍රමය දායක කරලා සිද්ධ කරන CSR නැතිනම් ආයතනික සමාජ වගකීම් වගේම පුද්ගලික මට්ටමෙන් කරන්න පුළුවන් දේවල්. අපි කියමු දුරබැහැර පාසැල් වෙනුවෙන් කරන්න පුළුවන් ව්‍යාපෘති, සමාජයේ අඩු වරප්‍රසාද ලත් කොටස් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් වගේ ව්‍යාපෘති එහෙම. මේවට මුදල්මය දායකත්වය වෙන්නම ඕන නෑ. ඊටත් වඩා තමන්ගේ දැනුමෙන් සහ ප්‍රවීණත්වයෙන් දායකත්වය ලබාදීම වැදගත්. ඒ වගේම මේවාත් අපේ පෝට්ෆෝලියෝ එකට ඇතුළත් වුණාට කමක් නෑ!
8. පෝට්ෆෝලියෝ එකක්
සාමාන්‍යයෙන් ඔය අවුරුදු විසි ගණන් වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ වැඩිහරියක් තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්නවට වඩා කැමතියි Facebook ප්‍රොෆයිල් එකක් හදාගෙන ආතල් ගන්න. හැබැයි අපි කියන්නේ, තමන් වෘත්තියක ඉන්නවා නම් දැන්ම තියාම හොඳ පෝට්ෆෝලියෝ එකක් හදාගන්න එක අනාගතේට ප්‍රයෝජනවත්. මේ පෝට්ෆෝලියෝ එකක් කියන්නේ හොඳ සීවී එකක්, ලින්ක්ඩින් එකවුන්ට් එකක් වගේ දේවල්. මේ වලට අර උඩින් කියපු සයිඩ් ප්‍රොජෙක්ට්ස් ගැන පවා ඇතුළත් වෙන්න ඕන. ලින්ක්ඩ්ඉන් එකට නම් තමන්ගේ සමාජ වගකීම් ව්‍යාපෘති ගැන එහෙම ඇතුළත් වුණත් කමක් නෑ.
ඒ වගේම තමන්ගේ ෆේස්බුක්, ට්විටර් එකවුන්ට්ස් එහෙමත් ප්‍රොෆෙෂනල් විදියට පාවිච්ච් කළාට කමක් නෑ. ඕනම නම් පිස්සු කෙලින්න වෙනම එකවුන්ට්ස් හදාගමු.
9. කොම්ෆෝර්ට් සෝන් එකේ ඉන්න එපා
මේ කොම්ෆෝර්ට් සෝන් එකෙන් මිදෙන එක වෘත්තිය ජීවිතයේ ස්ථාවරත්වයට ඉතාම වැදගත්. නිකමට හිතලා බලන්න, අපිට බොසා කියන වැඩක් කරගෙන, ඊට පස්සේ පිස්සුවක් කෙලගෙන තමංගේ වැඩක් බලාගෙන ඉන්න එක ලේසියිනේ. හැබැයි ඒ ලේසි ජීවිතේ තමයි අපේ කම්ෆර්ට් සෝන් එක. පරිස්සමට ආතල් එකේ ඉන්න පුළුවන් රවුම. ඒත් ඇත්තටම ජොබ් එකේ ස්ථාවර වෙන්න, තමන්ටම චැලෙන්ජ් එකක් වෙන්න නම් ඒකෙන් එළියට එන්න ඕන. ජොබ් එක වෙනුවෙන් කරන්න පුළුවන් අලුත් දේවල් යෝජනා කරන්න ඕන. ඒවා තමන්ම පටන් ගන්න වගකීම ගන්න ඕන. හරියන්න හරි වරදින්න හරි කරන්න ඕන.
10. බ්‍රෑන්ඩ් එකක් වෙන්න
මේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් වෙනවා කියන එක ඇත්තටම මුල ඉඳන්ම ප්ලෑන් කරන්න ඕන දෙයක්. උදාහරණයක් විදියට කිවුවොත්, අපි විසි ගණන් වලදිනේ ගන්න තියෙන හැම ආතල් එකක්ම ගන්නේ, හැම විකාරයක්ම කරන්නේ. උදාහරණයක් විදියට කිවුවොත්, ටැටූ ගහන්නෙත්, කොණ්ඩේ වවන්නෙත්, බැගී අඳින්නෙත් ඔය කාලේ තමයි. ඒකට කිසිම ගැටළුවක් නෑ. හැබැයි අපිට ඒ වෙනකොටත් ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ බ්‍රෑන්ඩ් එකක් වෙන විදිය ගැන අදහසක් තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ටැලන්ට්ස් ප්‍රකට කරන්න ඕන. අපි ප්‍රොෆෙෂනල් ජීවිතේදී වගේම පෞද්ගලික ජීවිතේදීත් තවත් එක් කෙනෙක් වෙන්නෙ නැතුව, සුවිශේෂී කෙනෙක් වෙන්න ඕන. ආන්න ඒකට අඳින පළඳින විදියේ ඉඳලා, කතා බහ කරන විදියේ ඉඳලා, ආකල්ප වල ඉඳලා, මතිමතාන්තර දක්වා හැම දෙයක්ම බලපානවා කියන එක විතරක් අපි කියන්නං.
එහෙමනම් අදම වැඩේ පටන් ගමුද? විස්සෙන් පටන් ගත්තත් තිහ වෙනකල් අවුරුදු දහයක් තියෙනවා!
Leave a Reply