ලෝකයේ අමුතුම උපාධි

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියල කියනවනෙ. ඒක කොහොම වුණත් කියපු කෙනාගෙ කටේ මසුරන් දාන්න තරම් වටින අපූරු කතාවක්. ඇත්තටම අපිට ජීවිතේ තියෙන තාක්කල් හම්බකරගෙන කන්න වගේම හැල හැප්පීම් මැද ජීවිතේ අරගෙන යන්නත් උදව් වෙන්නෙ අපි උපන්දා ඉඳලම ඉගෙන ගන්න දේවල් වලින් ලබාගන්න පන්නරය තමයි. මේ කියන්න යන්නෙත් ඉගෙන ගන්න දේවල් ගැනයි. ලංකාවේ වයස අවුරුදු 6 ලබනකොටම ප්‍රාථමික පාසලට ඇතුළත් කරන පුංචි දරුවගෙන් දෙමව්පියො බලාපොරොත්තු වෙන ඉහළම අධ්‍යාපන ඵලය තමයි ඉතින් විශ්වවිද්‍යාල උපාධියක් කියන්නෙ. ලංකාවේ ඇත්තටම හොඳ පිළිගත්ත උපාධි පාඨමාලාවන් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ කියන්න යන අමුතු පහේ උපාධි ජාතිනම් ලංකාවේ නැහැ ඔන්න. තිබ්බනම් දෙමව්පියෝ කැම්පස් ගිහිල්ල උපාධි කරන්න කියල කියන එකකුත් නැහැ තමන්ගේ ළමයින්‍ට. 

 

1. Viticulture and Oenology

වචනයේ තේරුම බැලුවොත් මේකෙන් කියවෙන්නෙ මිදිවැවීමේ ශාස්ත්‍රය සහ වයින් නිපදවීමේ ශාස්ත්‍රය වගේ තේරුමක්. ඇහුවමත් හිනායනව නේද. හැබැයි ඇත්තටම මෙහෙම උපාධියක් ලෝකයේ තියෙනව. එංගලන්තයේ ප්ලම්ටන් කොලේජ් කියන විශ්විද්‍යාලයෙන් පිරිනමන Bsc (Hons) in Viticulture and Oenology කියන උපාධියේ මුළු කාලය පුරාවට ඉගැන්වෙන්නෙ මිදි වැවීම සහ වයින් සකස් කිරීම සම්බන්ධ කාරණා. ඒ කියන්නෙ පහු කාලීනව වයින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය සියළුම දැනුම. 

මේ උපාධිය කරලා වයින් ෆැක්ට්‍රි මැනේජර්, වයින් නිෂ්පාදකයෝ වෙනවට අමතරව ඊට පස්සෙත් මේ සම්බන්ධ තවත් දැනුම හොයාගන්න අවශ්‍යනම් MA හෝ ආචාර්‍ය උපාධි දක්වාම ඉගෙන ගන්නත් පුළුවන් කියලයි මේ අය කියන්නෙ.

 

2. Horology

ඇහුවමත් ටිකක් අමුතු උනාට මෙහෙම උපාධිත් ලොකයේ තියෙනව. සිංහලෙන් කිව්වොත් මේක ඝටිකා යන්ත්‍ර නිපදවීමේ කලාව. තේරෙන සිංහලෙන් කිව්වොත් ඔරලෝසු හැදිල්ල ගැන ඉගෙනගැනීම. එංගලන්තයේ බාර්මින්ග්හැම් සිටි විශ්වවිද්‍යාලයේ මේ උපාධි පාඨමාලාව හදාරන අයට පුළුවන් ඔරලෝසු සම්බන්ධ ඕනම රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතවෙලා කාලය මුදල් බවට හරවන්න. 

 

3. Ethical Hacking

Computer Hacking කියල කියන්නෙ අපි කවුරුත් දන්නා දෙයක් මේක ඇත්තටම සදාචාරාත්මක නොවන ක්‍රියාවක්. වෙන කෙනෙකුගේ පරිගණකයකට හෝ වෙනත් තාක්ෂණික උපාංගයකට හොරෙන් ඇතුළු වෙලා දත්ත සොරකම් කිරීම ගැන සදාචාරාත්මකව උගන්වන උපාධි පාඨමාලාත් මේ ලෝකෙ තියෙනව හැබැයි. ටිකක් විසුළු සහගත උනාට මේක ඇත්තක්. මේ උපාධිය පිරිනමන්නේ ස්කොට්ලන්තයේ Abertay University  කියන විශ්වවිද්‍යාලයෙන්. මේකෙ එක්තරා ධනාත්මක පැත්තකුත් තියෙනවා. හැක් කරන්න කෙසේවෙතත් හැක් කරන හොරු අල්ලන්නත් මේ උපාධි පාඨමාලාවෙන් ලැබෙන දැනුම ප්‍රයෝජනවත්. කොහොම උනත් මේ Ethical Hacking උපාධිය සම්පූර්ණ කරන අයට රැකියා වෙළඳපළේ නම් ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙන බව තමයි කියන්නෙ. 

 

4. Contemporary Circus and Physical Performance

සර්කස් කිරීමත් බලන් යද්දී ලේසි නැහැ. එකටත් තියෙනව උපාධි. මේ උපාධිය පිරිනමන්නේ එංගලන්තයේ Bath Spa University කියන විශ්වවිද්‍යාලයෙන්. මේ උපාධි පාඨමාලාවේදී සර්කස් සහ Physical Performance ගැන මුල ඉඳලා අවශ්‍ය හැම දෙයක්ම ඉගැන්වීම කෙරෙනවා. ඒ වගේම අවශ්‍ය අයට මේ උපාධියේම පශ්චාත් උපාධි මට්ටම දක්වා උනත් ඉගෙන ගන්න පුළුවන්. සර්කස් පෙන්නිල්ල සෙල්ලමක් කියල හිතුවට ඒකටත් උපාධි ගහලා එන්න ඕන ලෝකයක් මේක. 

 

5. Puppetry Design and Performance

මේක රූකඩ නිෂ්පාදනය සහ රඟදැක්වීම සම්බන්ධ උපාධි පාඨමාලාවක්. එංගලන්තයේ Royal Central School of Speech and Drama කියන පාසලෙන් තමයි මේ උපාධිය පිරිනමන්නේ. මේකෙදි රූකඩ හදන විදිහේ ඉඳලා ප්‍රසංගයක රඟදැක්වීම වෙනකන් සියළුම දැනුම ලබාදෙනවා. 

ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු පෞරාණික රූකඩ කලාව අද වෙද්දී අභාවයට ගිහිල්ල නිසා අපිටත් මේක ක්‍රියාවට නංවන්න හොඳ අදහසක්. කොහොම උනත් මේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන අයට පහසුවෙන්ම Royal Opera House වගේ තැනක රැකියා ලබාගන්න පුළුවන් බව තමයි කියන්නෙ.

 

6. Brewing and Distilling

මේකත් කලින් කිව්ව Viticulture and Oenology උපාධියට ටිකක් සමාන උපාධියක්. හැබැයි මේ Viticulture and Oenology කියන්නෙ වයින් නිෂ්පාදනය ගැන වෙන්කෙරුණු පාඨමාලාවක් නේ. වයින් විෂයට වැඩිය අකැමති අයට මෙන්න නියම උපාධිය. සිංහලෙන් මේක තමයි කැකෑරීමේ හා ආසවනය කිරීමේ පාඨමාලාව 😀 තේරෙන භාෂාවෙන් කිව්වොත් ඇල්කොහොල් නිෂ්පාදනය සම්බන්ධ දැනුම ලබාදෙන උපාධියක්. ස්කොට්ලන්තයේ Heriot-Watt University කියන ආයතනයෙන් තමයි මේ Bsc in Brewing and Distilling කියන උපාධිය පිරිනමන්නේ.

ඇත්තටම ඇල්කොහොල් නිෂ්පාදනය කියන්නෙ ලෝකයේ ඉතා ඉහළින්ම කෙරෙන ව්‍යාපාරයක් නිසා මේක ඉතාම හොඳ අධ්‍යාපන අවස්ථාවක්. ව්‍යාපාරයේ නියැලිලා ඉන්න අය විශ්විද්‍යාල අධ්‍යාපනය ලබන අතරේම ශිෂ්‍යයින්ව මේ රැකියා වලට බඳවා ගන්න බව තමයි කියන්නේ. උපාධිය නිමකිරීමෙන් පස්සේ තියෙන රැකියා අවස්ථා හිතාගන්නකෝ ඉතින්.

 

 7. Parapsychology

මේකත් ටිකක් අමුතු උපාධියක්. ටිකක් බය හිතෙන උපාධියක්. මේක 2006 වසරේ එංගලන්තයේ Coventry University කියන විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරපු උපාධි පාඨමාලාවක්. භූත ආත්මයන්ගේ පැවතීම, අවේශයන් වගේ කාරණා ගැන අධ්‍යයන කිරීම තමයි මේ උපාධි පාඨමාලාවේ මූලිකම අරමුණ. ඒ වගේම වචනයෙන් තොරව සිදුවෙන සන්නිවේදනයන් වගේ අමුතු අමුතු දේවල් ගැනත් මේ උපාධියේදී අධ්‍යයනයන් කෙරෙනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *