මහද්වීප දෙකකට අයිති නගර ලෝකයේ කීපයක් තිබුණත් ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ සහ ජනප්‍රියම වන්නේ ඉස්තාන්බුල් නගරය කියන එක ගැන අවිවාදිතයි. අපි අද කථා කරන්න යන්නේ මේ නගරයේ සුවිශේෂතා පිළිබඳවයි.
1. මහද්වීප දෙකකට ඉස්තාන්බුල් අයිති වන හැටි
මර්මරා මුහුද සහ කළු මුහුද යා කරන බොස්පරස් සමුද්‍ර සන්ධිය මගින් ඉස්තාන්බුල් නගරය යුරෝපා සහ ආසියා මහද්වීප අතර බෙදා වෙන්කරනවා. මේවා අතරින් යුරෝපා කොටස ඓතිහාසික වශයෙන් ඉහළ වැදගත්කමක් උසුලන අතර ආසියාතික කොටස ජනාකීර්ණ ස්වභාවයක් ගන්නවා. මීට අමතරව මෙම නගරය සංක්‍රාන්ති දේශගුණික කලාපයක පිහිටා ඇති නිසා එකම නගරය තුළ දේශගුණික තත්ත්ව තුනක් දකින්නට ලැබීම තවත් එක් විශේෂ ලක්ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්
2. පූසන්ගෙ නගරය
මොහොමඩ් නබිතුමා පූසන්ට දැඩි ලෙස ප්‍රිය කළ තැනැත්තෙක් විදියට සඳහන් වීම නිසා දෝ මුස්ලිම් රටවල පූසන්ට ගෞරවනීය ස්ථානයක් හිමි වෙනවා. ඇතැම් රට වල ඔබ පූසෙකු ඝාතනය කළොත් දෙවියන්ගෙන් කමා කර ගැනීමට නම් ඔබ විසින් පල්ලියක් ගොඩනැගිය යුතු බවට පිරුළක්ද පවතිනවා. මේ සම්ප්‍රදාය අනුව යමින් ඉස්තාන්බුල් නගරය තුළත් පූසන්ට නිදහසේ සැරිසැරීමට අවස්ථාව ලැබී තිබෙනවා. බොහෝ පූසන්ට අයිතිකරුවන් නොමැති අතර නගර වැසියන් විසින් සාමූහිකව ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා දෙනු ලබනවා.
3. ටියුලිප්හි මුල්බිම
අද වෙද්දි ටියුලිප් මල් කියද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ වෙන්නෙ නෙදර්ලන්තය. නමුත් ටියුලිප් මල වගා කිරීම පළමු වරට ආරම්භ වී තිබෙන්නේ ඉස්තාන්බුල් නගරයෙන්. ඔටෝමන් අධිරාජ්‍යයේ වෙළෙන්දන් විසින් මෙම මල් වර්ගය වියානාව වෙත ගෙන ගොස් තිබෙන අතර වියානාව හරහා නෙදර්ලන්තයට මෙම මල ලැබී තිබෙනවා. කෙටි කාලයක් තුළ දී නෙදර්ලන්ත වාසීන් අතර මෙම මල් වර්ගය අතිශයින් ජනප්‍රිය වූ අතර අද වන විට ටියුලිප් වගාවේ කේන්ද්‍රස්ථානය බවට නෙදර්ලන්තය පත්ව තිබෙනවා. ඒ කෙසේවෙතත් තවමත් ටියුලිප් මල් වගාවට අදාළ ප්‍රදර්ශන සහ සැණකෙළි ඉස්තාන්බුල් නගරය ආශ්‍රිතවත් පැවැත්වෙනවා.
4. අගනුවරක් නොවූ අගනුවර
ඉස්තාන්බුල් නගරය ලෝකයේ ප්‍රබලතම අධිරාජ්‍යය තුනක අගනුවර බවට පත්ව තිබුණා. රෝම අධිරාජ්‍යය, බයිසැන්ටියන් අධිරාජ්‍යය සහ ඔටෝමන් අධිරාජ්‍යය එම අධිරාජ්‍ය තුනයි. නමුත් වර්තමාන තුර්කියේ අධිරාජ්‍යය බවට පත්ව තිබෙන්නේ ඇන්කාරා නගරයයි. කෙසේ නමුත් මේ හේතුව නිසා ඉස්තාන්බුල් නගරයේ වැදගත්කම කිසිසේත් අඩු වී නැහැ. අද පවා තුර්කියේ වැඩිම ජනගහණයක් ගොනු වී ඇත්තේ මෙම නගරය තුළයි. එසේම එරට ආර්ථික සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවටත් මෙම නගරය පත්ව තිබෙනවා.
5. වැසිකිළි වැඩිම නගරය
මධ්‍යතන යුගයේදී යුරෝපයේ ප්‍රධාන පෙළේ රජමාළිගා වල පවා වැසිකිළි සඳහා එතරම් ප්‍රමුඛතාවයක් ලැබුණේ නැහැ. සනීපාරක්ෂාව පිළිබඳව එකල තිබුණේ අඩු අවබෝධයක්. නමුත් ඊට සාපේක්ෂව ඉස්තාන්බුල් නගරය තුළ මහජන වැසිකිළි පද්ධතියක් ගොඩ නැඟුණු අතර අද දක්වාම එම පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. සංඛ්‍යාලේඛනවලට අනුව ඒ සඳහා වැසිකිළි 1400ක් පමණ ඇතුළත් වෙනවා. එසේම එම වැසිකිළි ගෘහනිර්මාණ ශිල්පීය වශයෙන් ඉතා ඉහළ නිමාවකින් සකසා ඇති අතර සුඛෝපභෝගී තත්ත්වයෙන්ද පවතිනවා.
6. වෙළඳ පාරාදීසය
වසර 1461 සිට නගරය තුළ ඇරඹුණු මහා වෙළඳ පොල (Grand Bazzar) ලෝකයේ පවතින සුවිශාලතම වෙළඳ සංකීර්ණය ලෙස සැලකෙනවා. වීදි හැට එකක් පුරා දිවයන මෙම වෙළඳ සංකීර්ණය තුළ වෙළඳ සැල් තුන්දාහකට අධික ප්‍රමාණයක් ඇතුළත් වන අතර දෛනිකව පාරිභෝගිකයන් දෙලක්ෂ පනස්දහසත් ලක්ෂ හතරත් අතර ප්‍රමාණයක් මිලදී ගැනීම් සඳහා පැමිණෙනවා.
7. හැගියා සොෆියා
ක්‍රිස්තු වර්ෂ තුන්සිය හැටේදී නිර්මාණය වු හැගියා සොෆියා දේවස්ථානය එවකට ලෝකයේ පැවති සුවිශාලතම බයිසැන්තියානු කිතුණු දේවස්ථානය ලෙස සැළකුණා. පසුව කෙටි කලක් කතෝලික දේවස්ථානයක් බවට පත්වුණු එය බල පෙරළියකින් පසුව යළිත් බයිසැන්තියානු දේවස්ථානයක් බවට යළිත් ප්‍රතිස්ථාපනය වුණා. එවකට කොන්ස්තන්තිනෝපලය ලෙස හැඳින්වුණු ඉස්තාන්බුල් නගරය ඔටෝමන් අධිරාජ්‍යයට යටත් වීමෙන් පසුව පල්ලියක් බවට පත් කෙරුණු හැගියා සොෆියා කෞතුකාගාරයක් බවට පත් කෙරුණේ තුර්කිය ජනරජයක් වීමෙන් පසුවයි. පසුගිය වසරේදී යළිත් තුර්කි රජය විසින් එම කෞතුකාගාරය මුස්ලිම් පල්ලියක් කිරීමට කටයුතු කළ අතර එම තීරණයට එරෙහිව ලොව පුරා විරෝධය එල්ල වුණා.
ඉස්තාන්බුල් නගරයේ වර්ණනාව එක ආටිකල් එකකින් නම් කියන්න අමාරුයි. අපි ඉදිරියේදී මේ නගරය ගැන තවත් ආටිකල් එකකින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply