මර්වින් ජයසූරියගේ රේඩියෝ සිලෝන් රස කතා

1920 යුරෝපයට ගුවන් විදුලි සන්නිවේදනය හඳුන්වාදීමෙන් වසර දෙකක් ගත වන්නට මත්තෙන් ලංකාවට ගුවන්විදුලි සේවාව හඳුන්වා දෙනු ලැබුවා. ඉන් දශක කිහිපයක් ගතවන්නටත් පෙර ලංකාව පුරාම මේ නව සන්නිවේදන මාධ්‍යය අතිශයින් ජනප්‍රිය වූ අතර රූපවාහිනියේ ආගමනය සිද්ධ වන තෙක්ම පුවත්පත් වලට වඩා ජනතාවගේ ආකර්ෂණය දිනා ගත්තේ ගුවන් විදුලියයි. ඒ කාලේ රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වුණු ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය වෙත නිවේදකයකු ලෙස සම්බන්ධ වූ මර්වින් ජයසූරිය ලංකාවේ පමණක් නොව විදේශ රටවල පවා අතිශය ජනප්‍රිය නිවේදකයෙක් බවට පත්වුණා. ඔහු විසින් The 3F’s behind the Radio Ceylon Microphone නාමයෙන් තම අත්දැකීම් අළලා කෘතියක් රචනා කළ අතර අපි අද ඔබ සමග බෙදා ගන්න යන්නේ ඔහුගේ රසවත් අත්දැකීම් කීපයක්.

 

1. මට නටන්නද කියන්නේ? 

ඒ කාලයේ ගුවන් විදුලියේ ප්‍රධාන භාෂා මාධ්‍යය බවට පත් වෙලා තිබ්බේ ඉංග්‍රීසි මාධ්‍ය. වරක් ලංකාවේ ප්‍රභූ පුද්ගලයෙකුගේ මරණය පිළිබඳව නිවේදනය කිරීමෙන් අනතුරුව එම වැඩසටහන මෙහෙයවූ නිවේදිකාව විසින් “When the Saints go marching in” ගීතය වාදනය කළා. අදාළ ප්‍රභූ තැනැත්තා කිතුණු බැතිමතෙකු නොවූ බැවින් එම ගීතය වාදනය කිරීම අනුචිත බව පවසමින් තවත් නිවේදිකාවක් අදාළ නිවේදිකාවට සිය විරෝධය පළ කළා. මින් කෝපයට පත් වූ නිවේදිකාව “මට කියන්නේ Dancing in dark කරන්න කියලද?” ඇහුවා. මොකද අර ගී තැටියේ අනෙක් පැත්තේ තිබ්බේ ඒ ගීතය.

 

2. ආගමික වැඩසටහන 

තවත් අවස්ථාවක ගුවන් විදුලියේ ආගමික වැඩසටහනක් විකාශනය වෙන්න නියමිත වෙලා තියෙද්දී තවත් මැදිරියක හිටපු නිවේදකයෙකු විසින් ආගමික නායකයා සහ එම වැඩසටහන කරන නිවේදකයා සිටින මැදිරියට ගුවන්විදුලි ශ්‍රාවකයන් සම්බන්ධ කරනු ලැබුවා. නමුත් අත් වැරදීමකින් මෙම සම්බන්ධ කිරීම සිදුවුණේ වැරදි මැදිරියකට. වඩාත් ගැටළුව වූයේ එම මැදිරිය තුළින් ගුවන් විදුලියේ ප්‍රබල පුද්ගලයෙකු ලංකාවට පැමිණි සංචාරක කැබරේ නළඟනක් සමඟ සිදු කරමින් තිබූ කතාබහක මුළු රටටම ඇසීමයි. ඇතැම් අය එම සංවාදය අදාළ ප්‍රබලයා විසින් කැබරේ නළඟනට තමන් සමග නැටුමක් සඳහා කරන ආරාධනාත්මක කතාබහක් ලෙස සිතුවත් තමන්ට දැනුනේ නම් එය ඔවුන් දෙදෙනා ‘නටන’ කරන අතරතුර සිදු වූ කතාබහක් බව මර්වින් ජයසූරිය පවසනවා.

 

3. ලිවර් සෝල්ට්

බඩ විරේක වීම සඳහා ඒ කාලයේදී ලිවර් සෝල්ට් නම් ලුණු වර්ගය භාවිතා කිරීම ජනප්‍රියව පැවතුණා. වතාවක් ගුවන්විදුලියේ රගර් ක්‍රීඩා තරඟ විකාශනයක් අතරතුර එහි වෙළඳ දැන්වීමක් විකාශ වුණා. ඉන් කියැවුණේ මෙවැන්නක් “මතක තබා ගන්න ලිවර් සෝල්ට්, ගන්න ලිවර් සෝල්ට්”. වෙළඳ දැන්වීම අවසන් වූ වහාම සජීවීව රගර් ක්‍රීඩා විකාශනය සිදු කරමින් සිටි නිවේදකයාගේ මුවින් ගිලිහුණේ මෙවැන්නක්. “ගත්තා, ගත්තා, ඔහු ගත්තා, සියළු දෙනාම ගත්තා, දැන් ඔවුන් සියළුදෙනාම පිටිය පුරා දුවනවා බොහෝ දුරට ස්ක්‍රම් වීමට නියමිතයි.”

 

4. මර්වින් දැන් ඇති 

ගුවන්විදුලි නිවේදකයින් අතර  විනෝද බර පුද්ගලයෙකු වුණු මර්වින් වතාවක් වැඩසටහනක් විකාශනය කිරීමට ඔන්න මෙන්න තිබියදී සහෝදර නිවේදිකාවක් සිටි මැදිරියකට ගොඩවැදී විහිළු කතා කියන්නට පටන් ගත්තා. මුල් වතාවේ ඇයට ඔහු කියන්නේ කුමක්ද යන්න පිළිබඳව නොතේරුණු අතර මයික්‍රෆෝන ස්විචය සක්‍රීය කොට තප්පර ගණනක් යන්නට මත්තෙන් සිදුවන්නේ කුමක්දැයි ඇය වටහා ගත්තා. “මර්වින් ඇති ඇති දැන්, දැන් ඉතින් නවත්තගන්න” කියා ඇයටත් නොදැනීම ඇගේ මුවින් ගිලිහුණා. මෙය අසා සිටි ප්‍රේක්ෂකයන් කුමක් සිතුවාද යන්න පිළිබඳව තමන් තවමත් සිතන බව මර්වින් සිය කෘතියේදී සඳහන් කරනවා.

 

5. දානවා තමුසෙගෙ ඔය බම්බුව

1953 පෙබරවාරි 4 වැනිදා පැවති  නිදහස් උළෙල දා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයාගේ නිදහස් දින පණිවිඩය ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ජාතික ගීය වාදනය වීමට නියමිතව තිබුණා. නමුත් පණිවිඩයෙන් පසුව ජාතික ගීය වාදනය වීම ප්‍රමාද වෙන බව දුටු වැඩසටහන සංවිධායකවරයා තම සහායකයාට “දානවා තමුසෙගෙ ඔය බම්බුව” යැයි බැණ වැදුනා. බොහෝ දෙනෙක් සිතුවේ ඉංග්‍රීසි බසින් ඇසුණු මෙම වචන ඛණ්ඩය සෝල්බරි සාමිවරයාගේ මුවින් ගිලිහුණු බවයි. එහි ප්‍රතිඵලය වූයේ අදාළ වැඩසටහන් ප්‍රධානියාට එරෙහිව පරීක්ෂණයක් කැඳවීමයි.

 

6. ජෙෆ්රි ලේටන්ව සිනහා ගැන්වූ කාරණය 

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේම සේනා සඳහා අණදීම පැවරුණේ ජෙෆ්රි ලේටන් හටයි. දරදඬු සහ ඉක්මනින් කෝපයට පත්වන පුද්ගලයෙකු ලෙස ජෙෆ්රි ලේටන් හැඳින්වුණු අතර ඔහු විසින් රේඩියෝ සිලෝන්හි නිලධාරීන්ගෙන් දෛනික වාර්තාවක් ඉල්ලනු ලැබුවා. දිනපතා ජපන් ගුවන්විදුලි වලට සවන් දී එහි සඳහන් වන දෑ පිළිබඳ සටහනක් ඊට ඇතුළත් කිරීමට නියමිත වුණා. වතාවක් ජපන් ගුවන් විදුලියෙන් බ්‍රිතාන්‍ය බූවල්ලා තම අඬු (Tentacles) ලොව පුරා විහිදා තිබෙන බව පැවසුණා. පසුදින එම වැඩසටහන පිළිබඳව වාර්තාව කියවීමෙන් අනතුරුව ජෙෆ්රි ලේටන් හට තම සිනහව නවත්වා ගැනීමට බැරි වුණා.ඒ Tentacles වචනය වෙනවට වාර්තාවේ Testicles යැයි සඳහන් වීම නිසයි.

 

7. මම ආපු හැටි 

වතාවක් එක්තරා ගුවන් විදුලි නිවේදකයකුට ලංකාවට පැමිණි විදේශ රටක පුද්ගලයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදුකිරීම පැවරුණා. ඔවුන් දෙදෙනා අතර සම්මුඛ සාකච්ඡාව සිදු වුණේ මෙන්න මේ ආකාරයටයි.

නිවේදක – “ඔබව මෙම මැදිරිය තුළ හමුවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා” 

විදේශිකයා – “ඒ මොකද?” 

නිවේදක – “මම කැමතියි ඔබ මේ සුන්දර දිවයිනට පැමිණි ආකාරය ගැන දැනගන්න” 

විදේශිකයා – “මම මෙතැනට ආවේ ඇවිදගෙන” 

මේ පිළිතුරෙන් වික්ෂිප්ත භාවයට පත්වූ නිවේදකයා “ඇත්තටම ඔබ කියන්න ඔබ මෙතනට ආවේ කොහොමද” කියලා අහනවා. 

එහෙනම් මේ තරුණ මහත්තයා හොඳට බලා ගන්න මං මෙතනට ආව හැටි කියලා ඒ අමුත්තා මැදිරියෙන් එළියට බැහැලා බැහැල යන්න ගිහින් තියනවා. 

එතැන සිදු වුණේ මොකක්ද කියලා ගුවන් විදුලියේ ප්‍රධානීන්ට උභතෝකෝටිකයක් වුණු අතර එය ගුවන් විදුලි ඉතිහාසයේ කෙටිම සම්මුඛ සාකච්ඡාව විදිහට සැළකෙන බව කියනවා.

 

රේඩියෝ සිලෝන්වල රස කතා ඕන තරම් තියෙනවා.මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ ඒ රස කතා රැසක්  ඔබ වෙතට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.