ෂඩ් ශාස්තෲවරුන් ලෙස ශාස්තෲවරුන් 6 දෙනෙකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ අතර ජෛන මහාවීර මුණිතුමාගේ ඇදහීම් අදටත් ඉන්දියාවේ පැළපදියම් වෙලා තියෙනවා. මේ ජෛන ආගමික සංකල්ප බෞද්ධයින්ගේ මැද මාවතට වඩා දැඩි අවිහිංසාවාදී පිළිවෙතක් වෙනවා. ඇතැමුන්ගේ අදහස් අනුව බෞද්ධ ඉගැන්වීම් වලට කලින් ලොවට පැමිණි ජෛන ආගමේ ඇතැම් සංකල්ප බෞද්ධ ඉගැන්වීම් තුළත් දකින්නට තියෙනවා.
1. පවුලේ විස්තර
ජෛන මහාවීරගේ ගිහි කල නම වර්ධමාන මහාවීර. ඔහු ජීවත් වුණේ බුදුන් විසූ ගංගා ජමුනා සමීප කලාපයේම තමයි. ඔහුගේ පියා සිද්ධාර්ථ රජතුමා. මව ත්‍රිශාලා දේවිය. ඔවුන් අයිති වුණේ ක්ෂත්රීය වංශයට. වයස අවුරුදු 30 වෙද්දි වර්ධමාන තමුන්ගේ අයියාට රජ කම හිමි වුණාට පස්සේ රජ ගෙයින් නික්මිලා සත්‍ය සොයන්නට යනවා. වර්ධමාන මහාවීර ඉපදුනා කියලා සළකන්නේ ක්‍රිස්තු පූර්ව 599 දී. මේ ජෛන මහාවීරයන් හෙවත් නිඝන්ඨනාථපුත්ත බුදුන් හා සමකාලීනව ඉන්දියාවේ විසූ ශාස්තෲවරයෙක් වෙනවා.
2. බමුණු මත සහ ක්ෂත්රීය මත
රජුන්ට උපදෙස් දෙන්නට බමුණු කුලයක් මීට වසර 2,500කට එපිට උතුරු ඉන්දියාවේ තිබුණා. ඉතින් ඒ බමුණු කොටසට අමතරව තමයි එකල සමාජය වෙනස් කරන්නට ගෞතම බුදුන් සහ ජෛන මහාවීරයන් පහළ වුණේ. බමුණු මත වලට වඩා අවිහිංසාවාදී මාවතක් ජෛන මහාවීරයන් දේශනා කළා. න්‍යායානුකූලව ගත්විට වෙළෙන්දන්ට සහ රජවරුන්ට ජෛන ආගම අනුව ජීවත් වීමට පුළුවන්. ඒත් ධීවරයින්ට, මස් මරන්නන්ට සහ ගොවීන්ට මේ ජෛන ආගම අදහන්නට අමාරුයි. මොකද පරම අවිහිංසාවාදී සංකල්ප තියාගෙන ගොවීන්ට සිය ගොවිකම් සාර්ථක කරගන්න අමාරුයි.
3. මහාවීර උනේ කෙහොමද?
මහාවීර තුමාගේ වීරකම් කිහිපයක්ම සඳහන් වෙලා තියෙනවා. ඔහු ඉගෙනගන්නා කාලයේ ඔහු මිතුරන් සමග යනවිට ඇතෙකු ගම් බිම් වනමින් ඉදිරියට එනවා. ගම්මු බයවෙලා හිස් ලූලූ අත දුවනවා. වර්ධමාන කුමාරයා එතැනට පැමිණ ඇතාව දුටු සැණින් ඇතා ඔහුගේ පා සිඹ ඔහුට හීලෑ වුණා. ඉගෙනගන්නා කාලයේ ඔවුන් අතරම සිටි විශාල කුමාරයෙක්ගේ ග්රහණයෙන් මිදෙන්නටත් වර්ධමාන සමත් වුණා. වර්ධමාන කුමරු සිය ගිහි සැප අතහැරදා නික්ම යද්දී එක් ගමකට ගිය විට ඊළඟ ගමට යෑමට මාර්ග දෙකක් තිබෙන බවත් එයින් කැළයේ පිහිටි මඟේ විශාල නාගයෙකු සිටින බවත් ගම්මුන් ඔහුට කිව්වා. ඒත් වර්ධමාන කුමරු කැළෑ මඟ තෝරාගත්තා. විසකුරු නාගයෙක් ඔහු බලාපොරොත්තු වූ විදිහටම මුණ ගැහුණා. ඒ නාගයා මෙල්ල කරගන්නත් වර්ධමාන කුමරුට හැකි වුණා. ඒ ආකාරයෙන් වීරක්‍රියා රැසක් කළ නිසා මේ වර්ධමාන කුමරු මහාවීර ලෙසින් හැඳින්වුණා.
4. වස්ත්‍ර අත හැරීම
මුලින්ම මහාවීරතුමා වස්ත්‍ර විදිහට සුදු පැහැ වස්ත්‍රයක් දැරුවා. ඒත් ඔහු සත්‍ය දේශනා කරමින් ගමින් ගමට ඇවිදින විට දිනක් ඔහු සතුව තිබුණ එකම වස්ත්‍රය ඉරා කොටසක් බමුණෙකුට දුන්නා. ඒ බමුණු පවුලේ බැමිණිය මේ බව දැන මහාවීරතුමා නිදාගන්නා වනයට පැමිණ ඔහු වනා තිබූ ඉතිරි වස්ත්‍ර කොටස සොරාගෙන ගියා. සියළු කෙළෙසුන් වලින් මිදෙන පිළිවෙතක් දැරූ මහාවීරතුමාගේ ජෛන ආගම වස්ත්‍රත් ජීවිතයට බරක් විදිහට දැක්කා. දැනට ජෛන ආගමේ ස්වේදම්බරා කියන කොටස සුදු වස්ත්‍ර දරන මුත් පැරණි ආගම එසේම අදහනවා යැයි කියන දිගම්බරා පිරිස කිසිදු වස්ත්‍රයක් නොදරා නිර්වස්ත්‍රයෙන්ම සැරි සරනවා.
5. මහාවීරතුමා සහ ඉගැන්වීම්
මහාවීරතුමාගේ ඉගැන්වීම් අනුව මේ අවසාන මහාවීර තුමා. මීට කලින් සංසාර චක්‍රය තුළ ජෛන ශාස්තෲවරුන් 24 දෙනෙක් ඉඳලා තියෙනවා. කර්මය සහ මතු ආත්මය ගැන මෙන්ම පරම සුව මෝක්ෂය ගැනත් මහාවීරතුමාගේ අදහස් සමකාලීන බෞද්ධ මතය හා සමපාත වෙනවා. ඒත් කාලය අනුව බෞද්ධ මතයට වඩා ජෛන මතය වඩාත් පැරණි එකක් වෙනවා. මේ මහාවීර තුමා වයස 30 දී ගිහිගෙයින් නික්මී සැරිසරා, වසර දොළහකට පසු ඔහු සෙවූ නිවන් මග ඔහුට හමු වුණා.
6. මවගේ සිහින සහ වර්ධමානගේ විවාහ
වර්ධමානතුමා ත්‍රිශාලා මවුගේ කුස පිළිසිඳ ගෙන තිබුණ කාලයේ ඈ සිහින 14ක් දැක්කා. ඒ ගැන එකල රජවාසලේ සිහින විශ්ලේෂක පුරෝහිතගෙන් විමසීමක් කළ විට ඒකාන්තයෙන්ම පිළිසිඳ ගෙන සිටින කුමරු සමාජයට වෙනසක් කරන ප්‍රබල චරිතයක්ම වන බව කියා සිටියා. ඉපදුණ පසුවත් සරල දිවි පෙවතක් ගෙනගිය වර්ධමාන කුමාරයා දෙමාපියන්ගේ කීමටදෝ විවාහ වුණා. ඒ බිරියගේ නම යශෝදා. දිගම්බරා නිකායේ අය විශ්වාස කරන ආකාරයට මහාවීර තුමා විවාහ වූයේ දෙමාපියන්ගේ දැඩි බලකිරිමට විනා ඔහුට තිබුණ ආශාවකට නෙමෙයි.
7. මහාවීරගේ අනුගාමිකයෝ
දැන් ලෝකයේත් මහාවීරගේ ජෛන ආගම අදහන උදවිය මිලියන 11කට වඩා ජීවත්වෙනවා. ජෛන පුස්කොළ පොත් අනුව මහාවීරතුමා ඔහුට වයස 72 දී මිය යන විට 14,000ක ශ්‍රාවක සහ 36,000ක ශ්‍රාවිකාවන් පිරිසක් තනාගෙන තිබුණා. ජෛන ආගමේත් මූලිකව ප්‍රචණ්ඩත්වයෙන් තොර වීම, මුසාවාදයෙන් තොර වීම, සොරකම් නොකිරීම, සෝබනයෙන් තොර වීම වැනි පිළිවෙත් වලින් පුර්ණ වෙනවා. මහත්මා ගාන්ධි තුමා විසින් ගෙන ගිය අවිහිංසාවාදී සටන ජෛන මහාවීර තුමාගේ පිළිවෙතක් බවට ජෛනයින් විශ්වාස කරනවා.
දෙවියන් විසින් ලොව සියළු දේ පාලනය කරනවාය කියන ඒ බ්රහමික ආගම් වලට වඩා ජෛන ආගම වෙනස්. එහි කියවෙන සංසාර සහ ආත්ම සංකල්ප තරමක් ගැඹුරු කොටස් වෙනවා. ඉතින් ඇතැම් විට බෞද්ධයින්ගේ සෝපහාසයට ලක් වුවත් ජෛන ආගම ආගම් අතර යම් ඉහළින් තියෙන සංකීර්ණ ආගමක්. ඉතින් එහි නායක ජෛන මහාවීර තුමාත් පිළිරුවේ ඇඳුම් රහිතව නිරුවතින් පෙනී සිටියාට ඔහුත් ඒ කාලයට සාපේක්ෂව සාර්ථක දාර්ශනිකයෙක්.
Leave a Reply