ඇත්තටම දැන් කාලේ ලව් කරන එක පොඩි එවුන්ට පවා හරිම ඊසි පීසි වැඩක් වෙලා කියලා හිතෙන්නෙ නැද්ද? කෙල්ලෙක්ව කොල්ලෙක්ව සෙට් කරගන්නත් කෙලින්ම ඔන්ලයින් සීන් එකෙන් පුළුවන්. ඊට පස්සේ මෙසේජ් කරන්න, කතා කරන්න ලේසියෙන්ම පුළුවන්. දැන් කාලේ පොඩිම කොල්ලො කෙල්ලො ගාවත් ස්මාට්ෆෝන් තියෙනවා. ඉතින් ලව් කරන්නද බැරි?
ආන්න ඒකට අපේ කාලේ. හප්පේ. ඒ කාලේ ලව් කරන්න තිබ්බ අමාරුවක්. ඒ කාලේ ලව් කරනවා කියන එක තනිකරම කට්ටක්. ලව් කරන්න ඒ කාලේ කාපු කට්ට විද්‍යාවට යෙදෙව්වා නං අපි ඉලෝන් මස්ක්ට කලින්ම අඟහරු වලට ගිහින්. ඉතින් ඔය දෙදහෙන් පස්සෙ ඉපදුණු කෙල්ලො කොල්ලො, අපි ඒ කාලේ ලව් කරන්න කාපු අමු කට්ට දන්නෙ නැති නිසා, අපි හිතුවා ඒ කාලේ ගැන විස්තර ටිකක් කියන්න.
1. අම්මගෙ ෆෝන් එක
අර මේ දවස් වල නොකියා එකේ ඇඩ් එකක් යනවා නේද, 3310 ගඩොල් ෆෝන් එකක මෙසේජ් එකක් පෙන්නන. “මේක අම්මගෙ ෆෝන් එක, රිප්ලයි කරන්න එපා” කියලා තමයි ඒකේ තියෙන්නේ. ඕක ඇත්තම ඇත්ත ඕයි. මේ සීන් සිද්ධ වුණේ ඔය ජංගම දුරකථන ආපු අලුත. කොල්ලා ඉතින් කලිසම් උගස් කරලා ෆෝන් එකක් ගත්තට කෙල්ලට ෆෝන් එකක් නෑනේ. ඉතින් අම්මගේ ෆෝන් එකෙන් තමයි මෙසේජ් කරන්නේ. නිකමට හිතන්ඩ, අම්මගේ ෆෝන් එක කෙල්ල උස්සන වෙලාවක් බලාගෙන ඉන්නත් ඕන. අම්මා එන්න කලින් මිස් නොවී රිප්ලයි කරන්නත් ඕන. ආයෙ බැරි වෙලාවත් නින්ද ගිහින් හිටි වෙලාවක කෙල්ලගෙ මෙසේජ් එක මිස් වෙලා, අපි ඇහැරුණු වෙලේ පැණි බේරෙන මෙසේජ් එකක් කෙල්ලට යවලා, ඒ වෙලාවේ ෆෝන් එක අම්ම අතේ තිබ්බා නං? තවත් ආතල් ඒ වෙලාවේ ෆෝන් එක තාත්තා අතේ නං. ආයෙ තාත්තා හිතන්නේ අම්මට හොර මිනිහෙක් ඉඳලා කියලා. අන්තිමට සඳ ගුටි කාලා තමයි නතර වෙන්නේ.
2. ෆෝන් කෝල් කටු
ඔව් අපි යනවා අතේ ස්මාට්ෆෝන් නොතිබුණු කාලෙට. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ කාසි දාන ෆෝන් බොක්ස් වලින්, පේෆෝන් බොක්ස් වලින්, කොමියුනිකේෂන් වලින් කෝල්ස් ගන්න කාපු කටු ගැන පොතක් ලිව්වැහැකි. හැබැයි ඉතින් ඊට හපං ගෙදර මිනිස්සුන්ගේ ඇස් වහලා ගෙදරින් කෑල්ලට කෝල්ස් ගන්න කාපු කට්ට. සමහර වෙලාවට අම්මා තාත්තා එහා මෙහා වෙනකල් ඉඳලා, ෆෝන් එකේ කී පෑඩ් එකට දාපු ලොක් එකත් හොර යතුරකින් ගලෝලා කෝල්ස් ගත්තත්, අර පැරලල් ලයින් එහෙම ගහලා තිබුණු ගෙවල් වල නං කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි මල් කෝල් එකට සාදු බුද්ධං වුණු අවස්ථා තියෙනවා. ඇයි අම්මා මාතර නැන්දට කෝල් එකක් ගන්න කියලා ෆෝන් එක උස්සලා කණට තියාගත්තහම මෙන්න මොකෙද්ද එකෙක් “සුදූ, ඔයාගෙන් හාච්චියක් ලැබෙන කල් මං වේලෙනවා සුදූ” කියලා කෙඳිරිලි වොයිස් එකෙන් කියනකොට!
ඊට හපං ටෙලිකොම් පිහිටෙන් ලව් එක ඉස්මුරුත්තාවට ගිහින්, දන්නෙම නැතුව පැය ගණන් මල් කඩලා අන්තිමට මාසෙ බිල එනකොට. බිල දැක්කම තාත්තට හාට් ඇටෑක්. ඊට පස්සේ සිහිය ආවට පස්සේ තාත්ත ඕං ටෙලිකොම් එකට කතා කරලා පලු යන්න බණිනවා. ඊට පස්සේ ඩීටේල් බිල් එකක් ඉල්ලනවා. හරි. ගෙදරින් බත් කාලා හමාරයි!
3. අංකල් මේ කතා කරන්නෙ තිස්ස
මේකත් ඔය ෆෝන් ලව් සීන් එකේම දිගුවක්. ඔන්න පෙරුම් පුරලා පුරලා පුරලා පුරලා, කෑල්ල ගෙදර ඉන්නෙ කියපු හෙනහුරාදා උදේ දහය අල්ලලා කෑල්ලට ගන්නවා කෝල් එකක්. අපේ කණ ලැහැස්ති වෙලා ඉන්නේ කෙල්ලගේ අම මී වොයිස් එකෙන් එන “හෙලෝව්” එක අහන්න. හැබැයි ඕං කොහෙද ඉන්න මුස්පේන්තු ගල් බමුණෙක් ගල් කටස් වොයිස් එකෙන් “හාලෝ” කියනවා. හුටා! කෙල්ලගේ තාත්තා!! දැන් මොකේදැයි දං වළඳන්නේ? හැබැයි ගල් ටික් වුණත් කොල්ලගේ මීටරේ වැඩ. “ආ හෙලෝ, මහත්තයා මේ කතා කරන්නේ තිස්ස.” ඔන්න දැං ඊලඟට අපේ කටින් පනින්න යන්නේ “මුවෙක් එහෙම ඔය පැත්තෙන් දිව්වද” කියලා. හැබැයි යන්තං ඒ ජෝක් එක යටපත් කරගෙන අපි අහනවා “අබේරත්න ඉන්නවද?” කියලා. අංකල් “රෝන්ඝ් ණම්භර්” කියලා ෆෝන් එක තියනවා.
හැබැයි සමහර අපේ කාලේ වීරයෝ හිටියා මේ කතා කරන්නේ ටෙලිකොම් එකෙන්ය, ෆෝන් ලයින් එක චෙක් කරන්නයි කතා කලේ කියලා, අංකල් ලව්වා එකේ ඉඳන් දහයට ගණන් කරවපු!
4. දෑස රිදෙනවා, පාර බලා ඉඳලා
ඉස්සර ලව් කරනකොට ඉතින් එන යන වෙලාවල් ගාණට කතා කරගන්න, තැන් කතා කරගන්න සන්නිවේදන මාර්ග තිබ්බෙ නෑනේ. ඉතින් දෙන්නා කලින්ම එකඟ වෙලා තියෙන සුපුරුදු පොට් එකකට වෙලා කල් මරනවා කෙල්ල එනකල්. සමහර වෙලාවට හවස දෙකේ ඉඳන් පහ වෙනකල් අමු කට්ටක් කෑවත් කෙල්ල නෑ. බැලින්නං එදා කෙල්ලට බඩේ අමාරුවක් හැදිලා ක්ලාස් ඇවිත් නෑ!
දැන් ඔය විදියට දෑස් රිදෙනකල් පාර බලාගෙන හිටියත්, ගොඩක් වෙලාවට කෙල්ලගේ කොල්ලගේ අතකින් අල්ලන්න තියා වචනයක් හුවමාරු කරගන්න ලැබෙන්නෙත් නෑ. ඇයි, එහෙම කතා කලොත් අපි ගෙදර යන්න කලින් නිව්ස් එක ගෙදරට ගිහින් තියෙයි. ඉතින් දෑසින් කරන කතාවක්, යටැසින් බලන බැල්මක් තමයි. හම්මේ ඉතින්, ඒකත් ඇති ගෙදර ගිහින් රැයක් නිදිවරාගෙන මනෝ ගහන්න!
5. ලංගමේ පෙම් සාගරේ
දැන් ඔය කොහොම කොහොම හරි ෂේප් එකේ කෙල්ලගේ හරි කොල්ලගේ හරි ලඟින් වාඩි වෙලා යන්න ලැබෙන්නේ බස් එකේ තමයි. ඒ කාලේ පාර්ක් එකට යන්න, ෆිල්ම් හෝල් එකට යන්න වගේ සීන් එකක් කියන්නේ අල්ටිමේට් ඇඩ්වෙන්චර් එකක් තමයි. හැබැයි ලංගම බස් එකක පිටිපස්සේ සීට් එකේ මදබැලුම් හෙලාගෙන, ඇස් කොණින් බලාගෙන, ලාවට හිනාවේගෙන, එයාගේ සුවඳ විඳින්න උත්සාහ කරගෙන, දැනෙන නොදැනෙන විදියට ඇඟිල්ලක අපේ අත ගාවන්න ට්‍රයි කරගෙන යන එක තමයි පෙම් සුවේ!
ඔය පෙම් සුවේ කඩන් වැටෙන තැනකුත් තියෙනවා හැබැයි. ගොඩක් වෙලාවට ඒක කෙල්ලගේ කටින් පිට වෙන වාක්‍යයක්. “අනේ අන්න අපේ පුංචි මාමා!”
6. සෙනෙහෙ කොළ
ඒ කාලේ ඉතින් අපේ ආදරේ ස්වර්ණ වර්ණ තානයන්, රාවයන්, වර්ණයන් කෙටුම්පත් කරලා අපේ හදේ ලැගුම්ගත් සුන්දරියට නැත්තං සුන්දරාට යවන්න පුළුවන් එකම ක්‍රමේ සෙනෙහෙ කොළ නැතිනම් ලව් ලෙටර්ස් තමයි. ආයෙ ඉතින් වෙනම ලියුම් ලියන පාට කඩදාසි කොළ අරගෙන, රිදී පාට රත්තරං පාට පෑන් වලින් ලියලා, හාට් ස්ටිකර්ස් අලෝලා, ඊට පස්සේ ලියුමට සෙන්ට් එකෙන් සුවඳ කවලා, වේලලා යවන ලියුමේ අරමුණ වෙන්නේ කෙල්ලගේ හදවත පිපිරෙන්න අපි ගැන ආදරේ උපද්දවන එක, නැතිනම් කොල්ලා රොකට් එකක අමුණපු බලු නකුටෙක් වගේ ආදරේ පිරුණු ග්‍රහලෝකෙකට ගුවන්ගත කරන එක තමයි.
දැන් සෙනෙහෙ කොළයක් ලිව්වා වගේ නෙවෙයි, ඒක අදාළ තැනැත්තා හෝ තැනැත්තිය අතට පත් කරන එකත් කෝල් ඔෆ් ඩියුටි ගේම් එකක්. එක්කෝ පොතක් අස්සේ දාලා පොඩි එකෙක් අතේ යවන්න ඕන, එක්කෝ යාලුවෙක් අතේ යවන්න ඕන, එහෙම නැතිනම් අතේ බාරදෙන්න ඕන. එහෙමත් නැතිනම් තැපැල් මාර්ගිකව යවන්න ඕන.
හැබැයි ඉතින් බැරිවෙලාවත් දෛවය සරදම් කරලා සෙනෙහෙ කොළේ කෙල්ලගේ හරි කොල්ලගේ හරි අම්මා තාත්තා අතට පත් වෙනවා කියන්නේ, ඒක ඉවර වෙන්නේ උද්වේගකර හින්දි ෆිල්ම් ජවනිකා මාලාවකින් සහ අවසානයට ගොළු හදවතේ අන්තිම හරි දේව්දාස් එකේ අන්තිම සීන් එකෙන් තමයි!
7. චිට් සංදේශ කාව්‍ය
දැන් අපි යමු උසස් පෙළ මාස් ක්ලාස් ගියපු සමයට. ඒ කාලේ ඉතින් දෙයියනේ කියලා කොල්ලන්ට කෙල්ලන්ට ලව් ඉස්මුරුත්තා හැදෙන කාලේ. ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි යාලුවෝ අතේ සෙනෙහෙ කොළ යවලා යවලා, පැය ගණන් ක්ලාස් යනකල් එනකල් අනිමිසලෝචන පූජා පවත්වලා, පෙම් කැකුළු සිනා පාලා පාලා කෙල්ලෙක්ව සෙට් කරගත්තා කියමුකෝ. හැබැයි ඉතින් හරියට කතාබහ කරන්න විදියක් හොයාගන්න අමාරුයි. කෙල්ලගේ අම්මා කෙල්ලව එක්කගෙන යන්න ක්ලාස් එක ගාවට එනවා නං වැඩේ දෙල්ම දෙල්.
හැබැයි අපි සැලෙයිද? නෑ. අපි පාවිච්චි කරනවා ප්‍රත්‍යක්ෂයි අත්දුටුවයි ක්‍රමයක්. චිට් සංදේශ. ඔය මාස් ක්ලාස් වල සාමාන්‍යයෙන් චිට් එකක් යවන්නේ සර්ට. ඔය චිට් වල සර්ගෙන් අහන විෂය සම්බන්ධ ප්‍රශ්න වගේම ආතල් ප්‍රශ්න සහ ආතල් කොමෙන්ට් එහෙමත් තියෙනවා. හැබැයි මේක යවන්නේ කෙල්ලට. ආයෙ නිකං සරුංගලේක ලියුමක් ගැටගහලා යවනවා වගේ තමයි. ඉස්සරහා ඉන්න එකාට හරියට ඩිරෙක්ෂන්ස් දෙන්න ඕන කාටද චිට් එක කියලා. ඌත් ඊලඟට ඉස්සරහින් ඉන්න එකාට හරි ඩිරෙක්ෂන්ස් දෙන්න ඕන. ඌ ඊලඟ එකාට, ඌ ඊලඟ එකීට. ඔහොම ඔහොම ගිහින් ගාණට කෙල්ලගේ අතට චිට් එක යනවා. හැබැයි ඉතින් ඔය මැද්දේ ඉන්නවා සමහර ලාවුළු රිලව් සහ පුළුං මල් රිලවියෝ, කෙල්ලගේ නම චිට් එක උඩ ලියලා තිබ්බත් ලියුම කෙලින්ම යවන්නේ සර්ට! හරි ඉතින්, ක්ලාස් ඇවිත් ඉවරයි!!
Leave a Reply