මානව කතාව වෙනස් කළ හෝමෝ නලෙඩි

දකුණු අප්‍රිකාවේ දී පසුගිය දශකයේදී හොයාගත් අරුම පුදුම මානවයෙක් තමයි හෝමෝ නලෙඩි. මොවුන් නිසැක වශයෙන්ම චිම්පන්සි හෝ ගෝරිල්ලාවුන් නෙමෙයි. ඔවුන් මිනිස්සුන්ට වඩා සමීපයි. ඒත් මොළයේ පරිමාව දැන් ඉන්න මිනිහාගේ පරිමාවෙන් බාගයක් විතර. උසත් වැඩිය නැහැ. බඩ තඩි, නහය මුක්කන් හැඩැති මේ අලුත් මානවයා ගැන විස්තර හොයාගත් ගුහා සංකීර්ණය රයිසින් ස්ටාර් ගුහා කියලා හඳුන්වනවා. ඉතින් මේ සොයාගැනීම් ගැන විස්තර ටිකක් බලමු.

 

1. මොනවද හමුවුණේ? 

හමුවෙලා තියෙන්නේ ඇට කෑලි. මුලින්ම ගුහා ගවේෂකයින්ට හමුවුණු මේ ඇට පැරණිය කියලා සැක කරපු නිසා මානව විද්‍යාඥයින්ට යොමු වුණා. ඉන් පස්සේ එයාල කරපු පර්යේෂණ අනුව මෙය එතෙක් සොයාගෙන නොතිබුණ විශේෂ මානවයෙක්ගේ ඇට කැබලි බවට තහවුරු වුණා. ඒවා තැන තැන විසිරිලයි තිබුණේ. මේ ගුහා ගවේෂණයේදි ඔවුන්ගේ ජීවන රටාව ගැන මෙලෝ තොරතුරක් හමු වුණේ නැහැ. වෙනත් මානවයන් හිටපු ගල් ගුහා වලින් ගල් ආයුධ, කෑම බීම, ඇට කැබලි ආහාරයට ගත් සත්ව කැබලි ආදිය හමු වුවත් මෙහිදී ඒ කිසිවක් තබා සමකාලීනව දිවි ගෙවූ සතෙක් වත් හමු වෙන්නේ නැහැ. පසුව කරන ලද කැණීම් වලදි දෙවැනි ගුහාවේ ලේනුන්ගේ වැනි ඇට සැකිලි කිහිපයක් පමණක් හමු වෙලා තිබුණා.

 

2. මෙහෙ විතරයිද?

හොබිට් නොහොත් කොට මිනිහා කියන අර්ථයෙන් හඳුන්වන මේ කොට මිනිස් වර්ගයේ සාම්පල දැනට හමු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි. හෝමෝ නෙලඩිට අමතරව ඉන්දුනීසියාවේ දූපතකින් මින් වසර 60,000කට සහ ලක්ෂයකට අතර කාල පරාසයකට අයිති, කොට මිනිසුන් යැයි සැක කරන පොසිලමය සාධක හමු වෙලා තියෙනවා. ඒ අනුව ඔවුන් පෘථිවිය මත විශාල කාලයක් සිටින්නට ඇති බවට විශ්වාස කරනවා. මුලින් මේ දකුණු අප්‍රිකාවේ රයිසින් ස්ටාර් ගුහා වලින් ඇටකැබලි සොයාගන්නා විට ඒවා එතරම්ම කල් පැරණි යැයි සැළකුවේ නැහැ. පසුව විද්‍යාත්මක ක්‍රමයට අනුව වෙනස්ම විද්‍යාගාර දෙකකදී කරන ලද පරීක්ෂණ වලදි මෙම ඇට කැබලි වසර 236,000ත් 335,000ත් අතර කාලයට අයිති බවට සනාථ කරගත්තා.

 

3. ඔවුන් ඒ ගුහාවට ගියේ ඇයි? 

මේ ගුහා සංකීර්ණයට හෝමෝ නලෙඩි ගියේ ඇයි කියන එකත් අභිරහසක්. මේ ගුහාවලට බොහොම දුෂ්කර තත්ත්වයකින් තමයි ඇතුල් වෙන්නට තියෙන්නේ. සොයාගත් දෙවැනි ගුහාවේ කැණීම් කටයුතු කරන්න ඒ ගුහා ගවේෂකයිනට විශේෂයෙන් ව්‍යායාම වල නිරත වෙන්නත් සිද්ද වුණා. ඒ ගුහාව තිබුණේ ගුහා විවරයේ ඉඳන් මීටර තුන් හාරසීයක් ගැඹුරේ. මේ ගුහා කියන්නේ අපේ කෝච්චි බිංගෙවල් වගේ කෙළින් අතට කෙළින්ම විවර තිබෙන ඒවා නෙමෙයි. ටිකක් සංකීර්ණ ව්‍යුහ තමයි තියෙන්නේ. මළවුන්ගේ චාරිත්‍රයක් විදිහට ගුහා වලට ගියාද කියලාත් සැකයක් තියෙනවා. ඒත් ගෝරිල්ලාට වඩා පොඩ්ඩක් විශාල මොළයක් තියෙන, කිසිම ආයුධයක් පාවිච්චි කළ බවට සාධක නැති ප්‍රාථමික මානව කොටසක් එහෙම සොහොන් වල වැළලෙන්න යයිද? ඒක තාමත් නොවිසඳුණු ගැටළුවක්.

 

4. සැඟව ගිය දාමය

මෙතෙක් සොයාගෙන තියෙන මූලික මානව වර්ග වන හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ සේපියන් සහ නියැන්ඩර්තාල් කියන වර්ග තුනටම වඩා මේ අලුත් මානවයා වෙනස් එකක් වුණා. ඒ නිසාම ඒ මානවයා ඇතුළත් කරන්නේ මොන කොටසටද කියන එක විද්‍යාඥයින්ට තිබෙන ගැටළුවක් වුණා. දැනට ගෝරිල්ලන්, චිම්පන්සින්ට පස්සේ මිනිසාට ආසන්න වෙනත් දියුණු ප්‍රයිමේටාවන් නැහැ. මේ නියෝජනය වෙන්නේ මිනිසාට වඩාත් සමීප එහෙත් මිනිසා තරම් දියුණු වෙච්චි නැති මානව වර්ගයක් වෙන්නට පුළුවන්. එක්තරා කාලයකදී පෘථිවිය මත සේපියන් සමඟ විසූ නියැන්ඩර්තාල් මානවයින් වගේම මිහිමත සිට, අප නිසා හෝ ස්වාභාවික හේතු නිසා වඳවී ගිය තවත් මානවයින් ඉන්නට පුළුවන්ය කියල මෙයින් පෙනී යනවා.

 

5. වෙනස් හැකියාවන්

මේ හෝමෝ නලෙඩිට හොඳට පනින්න, දුවන්න පුළුවන්කම තිබිලා තියෙනවා. එයාලගේ අත් වල ඇඟිලි අපිට සාපේක්ෂව ටිකක් දිගයි. එයාලගෙ අතපය ඒ පනින කාර්යයට උචිත විදිහට හැදිලා තියෙනවා. මේ කාලේ හමුවන අනෙක් මිනිසාට ආසන්න මානවයින් ගින්දර සහ ආයුධ එක්ක ගනුදෙනු කරලා තියෙනවා. ඒ කිසිවක් හමුවෙලා නැති නිසා මොවුන් එකල සතුන් පිරි වියළි සැවානා බිම් වැනි දකුණු අප්‍රිකානු පරිසරයේ කෙසේ රඳා පැවතුණාද කියන එක ගැනත් තවම ස්ථිර මතයක් නැහැ.

 

6. ගොඩදැමීමේ කාර්යය

මේ රයිසින් ස්ටාර් කියන ගුහා සංකීර්ණය මුලින්ම සොයාගෙන තියෙන්නේ කලකට ඉස්සර. එහි භූ විද්‍යාත්මකව අධ්‍යයනය කරලා මුලින්ම ගුහා වල ස්වභාවය සිතියම්ගත කරලා තියෙනවා. ඉන් පස්සේ පැරණි පොසිලමය සාධක හමු වුණාට පස්සේ ලෝකයේ ඉන්න මානව විද්‍යාඥයින් අතරින් මේ පොඩි ඉඩට ඇතුළු වෙන්න පුළුවන් කිහිප දෙනෙකුට මේ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ගුහා අධ්‍යනයට සම්බන්ධ ඒවායේ යන්න පුළුවන් කාර්යය මණ්ඩලයකුත් මේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරට කිලෝමීටර 50ක් විතර ඈතින් තියෙන ගුහා ටික කැණීමේදී විශේෂයෙන් සහාය වෙලා තියෙනවා.මේ ගුහා අධ්‍යනයේදී ගුහා වල ඇට කැබලි හමුවුණු කොටස් වලට වෙනත් පහසු පිවිසුම් අතීතයේදි පවා තිබිල නැහැය කියලත් සොයාගෙන තියෙනවා.

 

7. වෙනත් මත

හෝමෝ නලෙඩිගේ අස්ථි කොටස් මේ ගුහා සංකීර්ණයේ ඇතුළත කුහර තුළ පමණක් ඉතිරිව තිබුණත් මේ ඇටසැකිලි එදා බොහෝ තැන්වල තිබෙන්නට ඇති බව විශ්වාස කරනවා. වඩාත් නිරාවරණය වූ ඇටකොටස් වසර දහස් ගණනක්, ලක්ෂ ගණනක් යන විට විනාශ වී යන්නට ඇති. එයින් අභ්‍යන්තර අගාර වල පමණක් සුළු වශයෙන් මේ සිරුරු කොටස් ඉතිරි වන්නට ඇති බවට මතයක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ අනුව මේ නලෙඩි මානවයාගේ සොහොන් චාරිත්‍රයක් විදිහට මෙය දක්වන්නට පුළුවන් බව තමයි විද්‍යාඥයින් කියන්නේ. 

 

මානව වංශකතාවේ යම් තොරතුරු ටිකක් සොයාගෙන තිබුණත් එය හරියට රේඛීයව මෙහෙමයි වුණේ කියන්න තවමත් අපිට තොරතුරු මදි. තිබෙන තොරතුරු යාවත්කාලීන වෙද්දි දැනට පිළිගැනෙන ආකාරයට වෙනස් විදිහකට මානවයාගේ පරිණාමය ගැන ලියවෙන්නට ඉඩ තියෙනවා. ඉතින් හෝමෝ නලෙඩි ගැන ඔයාලට මේ හරහා යම් තොරතුරු ටිකක් ලැබෙන්නට ඇති. ඉතින් මේ ලිපිය යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරගෙන යන්නට අමතක කරන්නට එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *