යක්කු, පෙරේතයෝ ගැන කතා කරද්දි සමහරු අහන කතාවක් තමයි ඔය යක්කු පිටරටත් ඉන්නවද කියලා. ගොඩක් වෙලාවට එහෙම කිව්වම අපේ අයගේ කටවල් වැහෙනවා. හැබැයි හොඳට හොයලා බැලුවම අපිට පෙනෙන දේ තමයි පිටරටත් යක්කු ඉන්නවා. මොකද පිටරට ඉන්නෙත් මිනිස්සු සහ ඒ අය තුළත් විවිධ භෞතික ලෝකයෙන් එහා ගිය ලෝකයක් පිළිබඳව විශ්වාසය පවතින නිසා. අපි අද කතා කරන්න යන්නේ යුරෝපා රටවල අහන්න දකින්න ලැබෙන යක්කු කීපදෙනෙක් පිළිබඳ.
1. අල්පිටෝ (Alphito)
මේ යකින්න පිළිබඳව පළමු වරට ලිඛිත සාක්කියක් හම්බ වෙන්නේ ප්ලුටාර්ක්ගේ ලේඛන තුළින්. පුරාණ ග්‍රීක භාෂාවෙන් ඇගේ නමට තේරුම දෙන්නෙ සුදු පිටි කියලා. ඇතැම් තැන් වල බාර්ලිමය ආහාරයක් විදිහටත් සඳහන් වෙනවා. ඇගේ හිසකෙස් වර්ණය අතිශයින් සුදු පැහැයක් ගැනීම මීට හේතුව විදිහට කියවෙනවා. සමහර විද්වතුන් නම් කියන්නේ ඇය යක්ෂණියක් නොව දෙවඟනක් කියලා. පෙරදිග සම්ප්රදාය තුළ ඇතැම් අවස්ථාවල දෙවඟනන් යක්ෂණියන් විදිහටත් හැඳින්වෙනවා කියන එක මීට සමාන වෙනවා. වගාබිම් ආශ්‍රිතව හා අඳුර වැටෙන වෙලාවල ඇයව මුණ ගැහෙන මිනිසුන් බියපත් කිරීම ඇයගේ විනෝදාංශය වෙනවා.
2. බ්රොක්සා (Broxa)
යුදෙව් ජනකතා වලට අනුව බ්රොක්සා කියන්නේ රාත්‍රී කාලයට එළුවන්ගේ කිරි සහ මිනිස් රුධිරය උරා බොන කුරුල්ලෙක්. මධ්‍යතන යුගයේදී අයිබීරියානු මහද්වීපයේ රටවල් වල බ්රොක්සා හඳුන්වනු ලැබුවේ තමන්ගේ රුචිකත්වය අනුව කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ස්වරූපයක් ගත හැකි යක්ෂයෙකු ලෙසයි. පසුකාලයකදී ඩ්රැකියුලා මිථ්‍යාව ගොඩනැගීම සඳහා බ්රොක්සා පිළිබඳ ජන කතාව පාදක වුණු බව විශ්වාස කෙරෙනවා.
3. බක්රයිඩර්ස් (Buckriders)
වර්තමාන ඕලන්දයේ සහ බෙල්ජියමේ ජනප්‍රවාදවල මෙම යක්ෂයන් පිරිස පිළිබඳව සඳහන් වෙනවා. කලකට පෙර එම රටවල් දෙකම එක රටක් වීමත් ඊට හේතුවක් වන්නට පුළුවන්. එම විශ්වාස වලට අනුව බක්රයිඩර්ස්වරු පියෑඹිය හැකි එළුවන්ගේ ආධාරයෙන් අහසේ ගමන් කරනු ලබනවා. පසු කාලයකදී ගොවිබිම් සහ ගොවිපළවල් කොල්ලකෑමේ දාමරික කල්ලියක්ද මෙම නම භාවිතා කර තිබුණේ ජනතාව අතර බිය පැතිරවීමේ අරමුණිනුයි.
4. ඩූසියෝස් (Dusios)
කෙල්ටික් විශ්වාසවල සඳහන් වන මෙම යක්ෂයා පිළිබඳව පුරා කතා වලට පදනම් වූයේ ග්‍රීක දේව කතාවල එන පෑන් නම් කරදරකාරී දෙවියා බවට මේ පිළිබඳව අධ්‍යයනය කළ විද්වතුන් ප්‍රකාශ කරනවා. අර්ධ මිනිසෙකුගේ සහ අර්ධ අශ්වයෙකුගේ හෝ එළුවෙකුගේ ස්වරූපයෙන් යුතු මෙම ඩූසියෝස්වරු වගා බිම්වලට හානිකිරීම සිදුකරන බවට යුරෝපීයයන් විශ්වාස කරනු ලැබුවා.
5. ඉම්ප් (Imp)
ජර්මානු විශ්වාස වලට අනුව මෙම යක්ෂයන් මාරාන්තික ගැටළු ඇති නොකරන අතර මිනිස්සුන්ගේ වැඩ අවුල් කිරීමෙන් සහ ගැටළු ඇති කිරීමෙන් සතුටක් ලබන ආකාරයේ පිරිසක් වනවා. කුඩා ශරීරවලින් යුක්ත මොවුන් වාමනයන් බඳු වූ පුද්ගලයන්. පුරාකතාවලට අනුව දේවස්ථාන ඉදිකිරීමේ දී වැඩි වශයෙන් බාධා ඇති වන්නේ මෙවැනි ඉම්ප්වරුන්ගෙනුයි. බොහෝවිට ඔවුන්ගේ මේ කරදරකාරී ස්වභාවයන් නවතින්නේ දේවදූතයන් ස්වර්ගයේ සිට පැමිණ ලබා දෙන නියෝග මතයි. ඇතැම් අවස්ථාවල එම නියෝග වලට පටහැනිව ක්‍රියා කරන ඉම්ප්වරුන් ගල් ගැස්සවීමට දේවදූතයන් විසින් කටයුතු කරනු ලබනවා.
6. ක්රැම්පස් (Krampus)
මේ යකා එන්නේ ඉතින් නත්තල් කාලෙට විතරයි. මධ්‍යම යුරෝපයේ රටවල් වල විශේෂයෙන්ම ඔස්ට්‍රියාවේ ජනකතාවල සඳහන් වෙන ආකාරයට නත්තල් සීයා එක්ක නත්තල් දවසේ රෑට දරුවො බලන්න මේ යකත් එනවා. හොඳට හැසිරුණු දරුවන්ට නත්තල් සීයා තෑගි ලබා දෙද්දී නරකට හැසිරුණු දරුවන්ව බය කිරීම මේ යකා විසින් සිද්ධ කරනවා. හොලිවුඩයෙන් බිහිවුණු හොල්මන් චිත්‍රපටි මගින් තමයි මේ යකාව ලෝකය පුරා ජනප්‍රිය වුණේ.
7. ලුබර්ෆීන්ඩ් (Lubber Fiend)
ස්කොට්ලන්තයේ සහ උතුරුදිග එංගලන්තයේදී මුණගැහෙන මේ යක්කු සැලකෙන්නේ අහිංසක වර්ගයේ යක්කු විශේෂයක් විදිහටයි. කිරි වීදුරුවකට සහ ශීත කාලයේ දී උඳුන ඉදිරිපිට ගිනි තැපීමේ අවසරය මත නිවෙස් වල වැඩ කටයුතු ඉටු කිරීම මෙම යක්කු විසින් සිදුකරනු ලබනවා. නමුත් පල්ලි වල වාසය කරන මෙවැනි යක්කු ඇතැම් අවස්ථාවල පූජකවරුන් වයින් පානය කිරීම සඳහා පොළඹවා විවිධ ප්‍රශ්න ඇති කරනු ලබනවා.
යක්කු ගැන ඔබ කලින් දැනගෙන හිටියා නම් ඒ ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ ලිස්ට් එකට ඇතුළත් වෙලා නැති යක්කු ගැන ඔබ දන්නව නම් ඒ අය ගැනත් කමෙන්ට් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply