මේ දවස්වල හැමෝම කතා කරන කහ වගාව ගැන තොරතුරු

කහ කිව්වම ඉතින් මේ දවස්වල රත්තරන් වගේ තමයි. 2020 පත්වුණ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්ක ඉන්දියාවෙන් කහ ඇතුළුව තවත් කුළු බඩු කිහිපයක ආනයනය නැවැත්තුවට පස්සෙ කහ කියන්නේ හොයාගන්න අමාරු දුර්ලභ භාණ්ඩයක් බවට පත්වෙලා අපේ රටෙත්.මොකද ලෝකයේ සමස්ත කහ නිෂ්පාදනයෙන් 75%කට වඩා කරන්නෙ ඉන්දියාවෙන්. ලංකාවේ කහ වැවෙනවා උනත් අපිත් කාලාන්තරයක් තිස්සේ කහ ගෙන්වන්න පුරුදු වෙලා හිටියේ ඉන්දියාවෙන්. මෙහෙම ඉන්දියාවෙන් කහ ගෙන්වන රටවල් අතරේ අපිත් එක්කම ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල්, උතුරු හා දකුණු අප්‍රිකානු රටවල්, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා මැලේසියාව කියන රටවලුත් ඉන්නවා. කොහොම වෙතත් අනික් රටවල් වලට වඩා අපි කෑමට, බෙහෙතට, විසබීජ නසන්න, ආගමික කටයුතු වලට වගේම සායම් වර්ගයක් විදිහටත් මේ කහ කියන අමුද්‍රව්‍ය භාවිතා කරනවා. ඉතින් ඒක නිසා මේ කහ නැතිවීම අපිටනම් ලොකුම ලොකු පාඩුවක්. ඉතින් මේ කියන්න යන්නේ ඔය ආනයන තහනමත් එක්ක කළුනික වගේ හොයාගන්න අමාරු, රත්තරන් වගේ මිල ඉහළ ගිය ඒ වගේම උදේ හවා හැමෝම කතා කරන්න පටන් ගත්තු කහ ගැනයි. කහ වගාව ගැනයි. 

 

1. කහ තහනම

කලිනුත් කිව්ව වගේ කහ තහනම පනවන්නේ වත්මන් ආණ්ඩුවේ දේශපාන ප්‍රතිපත්ති එක්කයි. ඒ කිව්වේ ඔවුන්ගේ දේශීය සුළු අපනයන බෝග වගාකරුවන් දිරිමත් කිරීමේ වැඩ පිළිවෙල යටතේ තමයි මේ පිටරටින් කහ ගෙන්වන එක නවත්තල ලංකාවේ කහ වගා කරන්න කියල රජයෙන් නියම කරන්නෙ. ඔය කහ තහනමින් ඉන්දියානු රජයටනම් විශාල පාඩුවක් උන බව තමයි කියන්නෙ. ඒ කොහොම වෙතත් පහුගිය දවස්වල කහ වලට තිබුන අධික ඉල්ලුම නිසාම ඔන්න නැවත ඉන්දියාවෙන් කහ ගෙන්නන්න රජයෙන් අවසර ලැබිල තියෙනවා. හැබැයි ඒ මේ රටේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය රට ඇතුළෙම වවලා අස්වැන්න ලබාගන්නකම්, ඒ කිව්වේ අවුරුදු එකහමාරක් වගේ කාලයක් යනකං විතරයි. 

 

2. ලංකාවේ කහ වගාව

ලංකාවේ මේ තහනමට කලින් කහ වගාව ගැන කිව්වොත් මෙන්න මෙහෙමයි. අපි කලිනුත් කිව්වනේ ලෝකයේ කහ නිෂ්පාදනයෙන් 75%කට වඩා කෙරෙන්නෙ ඉන්දියාවේ කියල. සංඛ්‍යාලේඛණ වලට අනුව ලංකාවේ වාර්ෂික වියළි  කහ පාරිභෝජනය මෙට්‍රික් ටොන් 7000 – 7500 අතර ප්‍රමාණයක් වෙනවා. හැබැයි මේ මුළු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 1800ක් වගේ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි දැනට ලංකාවේ නිෂ්පාදන වෙන්නේ. ඒ කියන්නෙ වසරකට පිටරටින් කහ මෙට්‍රික් ටොන් 5700ක් විතරම ගෙන්වනවා. ඉතින් මේ කහ වගාකරන්න උචිත පරිසර සාධක හොඳින්ම තියෙන රටේ කහ වගා නොකර මේ තරම් ප්‍රමාණයක් රටින් ගෙන්වන එක ඇත්තටම අපරාධයක් නම් තමයි. 

 

3. කහ ශාකයේ උද්භිත  විද්‍යාත්මක ලක්ෂණ

කහ ශාකය කිව්වම හුඟක් දෙනෙක් දැකල තියෙනවා. කොහොම නමුත් උද්භිත විද්‍යාත්මකව කහ ශාකයේ හැඩරුව විස්තර කෙරෙන්නේ මෙන්න මෙහෙමයි. කහ ශාකය කියල කියන්නෙ භූගත ඒ කිව්වේ පොළව යට තියෙන රයිසෝමයකින් ඒ කියන්නෙ අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් අලයකින් පටන් අරගෙන අඩි 3 – 4 දක්වා උසට වැඩෙන ශාකයක්. මේ ශාකය පළල් පත්‍ර සහ ව්‍යාජ වායව කඳකින් සමන්විත වෙනවා. සාමාන්‍යයෙන් තද කොළ පාට අඩි 1.5 – 2ක් වගේ දිගට හැදෙන පත්‍ර 6 – 10 අතර ප්‍රමාණයක් මේ කඳේ හටගන්නවා. භූගත කඳෙන් තමයි ශාඛා විදිහට අල හටගන්නේ. 

 

4. ඖෂධීය ගුණ

ඖෂධීය ගුණ කිව්වොත් මෙන්න මෙහෙමයි. අපි හැමෝම දන්න විෂබීජ නැසීමේ ගුණය වගේම ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර වලට යොදාගන්නවා කියන ප්‍රයෝජනය හැරුනහම කහ අලයෙන් ලබාගන්න curcumin කියන ශාක රසායනිකය යොදාගෙන පිළිකා රෝගීන් පාලනය කිරීමත් අද වෙද්දී සිදුවෙනවා. මේ ශාක රසායනිකය මඟින් පිළිකා සෛල වර්ධනය නවත්වනවා කියල තමයි කියන්නෙ. කොහොම උනත් ඉන්දියාවේ වැවෙන කහ ප්‍රභේදයේ මේ ගුණාංගය 2% වගේ ප්‍රමාණයක් ඇතුළත් වෙද්දී ලංකාවේ වැවෙන කහ ප්‍රභේදයේ මේ ගුණය 4% ඇතුළත් වෙනවා.

 

5. වගාව

කහ වගාව සිදු කරන්න සුදුසුම කාලය තමයි අප්‍රේල් මාර්තු වගේ වියළි කාලගුණයක් පවතින කාලය. අඩියක් පමණ යටට පෙරළු පසේ අඩියේ අඩියේ පරතරයක් සහිතව තමයි පැළ හිටවන්න ඕන. කහ අල ආලෝකයට විවෘත නොවෙන්න පැළය මුලට පස් එකතු කිරීම වරින් වර සිදු කරන්න ඕන. පොහොර දාන තරමට වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ නිසා මාස තුනකට වරක් කාබනික පොහොර යොදන එක හොඳයි කියල තමයි අනුමත කරන්නේ. 

ඒ වගේම කඳ සහ අල කුණුවීම, පත්‍ර මත ඇතිවෙන පුල්ලි වගේ රෝග සඳහා සුදුසු පලිබෝධනාශක කාලයෙන් කාලයට යොදන්නත් ඕන.  

 

6. අස්වනු නෙලීම

අස්වනු නෙලන්නේ සාමාන්‍යයෙන් කහ බීජ අල හිටවලා මාස 8 – 9ක් වගේ කාලේදී. ඒ කාලේ වෙද්දී තමයි කහ අල හොඳින් මෝරල තියෙන්නේ. අල මෝරන කාලේ වෙද්දී පත්‍ර වියළීගෙන යනවා දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් අප්‍රේල් වගේ කාලේදී හිටවපු කහ බීජ වල අස්වැන්න නෙලන්න ඊළඟ ජනවාරි – මාර්තු දක්වා කාලය තමයි සුදුසු. සාමාන්‍යයෙන් කහ කිලෝ එකකින් කිලෝ 10 – 15 වගේ අස්වැන්නක් නෙලාගන්න පුළුවන්. 

 

7. සකස් කරන ආකාරය

මෙහෙම නෙලාගත්ත කහ අල හොඳින් පිරිසිඳු කරගෙන උතුරන වතුරේ හෝ හුමාලයෙන් මිනිත්තු 30ත් – 45ත් අතර කාලයක් තම්බ ගන්න ඕන. ඒ විදිහට තම්බගත්ත අල තද අව්ව නොවැටෙන්න පවනේ දින 5 කුත් ඉන් පස්සේ තද අව්වෙත් දින 10ක් දක්වා කාලයක් වියළා ගන්න ඕන. හොදින් වියලුන කහ අල එකට සොලවන විට ලෝහමය ශබ්දයක් තමයි ඇහන්නේ. ඊට පස්සේ මේ තම්බා වියලා සකස් කරගත්ත කහ අලවල පොතු පරිස්සමට ඉවත් කරගෙන අවශ්‍ය විදිහට කොටාගෙන භාවිතා කරන්නයි තියෙන්නේ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *