කෙනෙක් අපිව දැකපු ගමන් පැහැදෙන්න උදවු වෙන බොඩි ලැන්ග්වේජ් ටිප්ස් කීපයක්

බොඩි ලැන්ග්වේජ් කියලා එකක් අහල තියෙනවද? සාමාන්‍යයෙන් ඔය පොසිටිව් තින්කින්ග් කට්ටිය නං හරියට බොඩි ලැන්ග්වේජ් එක හරියට පවත්වා ගන්න එක ගැනත් කියනවනේ. ඒකේ ඉතින් ගත යුත්තක් තියෙනවා. ඒ කියන්නේ, අපි කොයි තරම් දක්ෂ, ගතිගුණ අතින් හොඳ, ක්‍රියාවෙන් යහපත් කෙනෙක් වුණත්, අපිව දැක්ක ගමන් කෙනෙක්ට ඇතිවෙන ඉම්ප්‍රෙෂන් එක, පළවෙනි හැඟීම තියෙනවනේ. ආන්න ඒක බොහොම බලවත්. සමහර වෙලාවට කතා බහ කරනකොට, ආස්සරේ කරනකොට අපේ විදිය එක්ක ඒ පළවෙනි හැඟීම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ පළවෙනි හැඟීමේ බලවත් කම නිසා, ඒක වෙනස් වෙන්නේ සෑහෙන්න අඩුවෙන්. ආන්න ඒ නිසා තමයි අපි හොඳ ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එකක්, හොඳ ප්‍රථම හැඟීමක් කෙනෙක් තුළ අපි ගැන ඇති කරවන එක වැදගත් වෙන්නේ. ආන්න ඒ කර්තව්‍යයට බොඩි ලැන්ග්වේජ් එක, එහෙම නැතිනම් ශරීර ඉරියව් බොහොම බලපානවා. අන්න ඒ නිසා අපි පොඩ්ඩක් බලමු, තමන්ගේ බොඩි ලැන්ග්වේජ් එක තවත් කෙනෙක් පැහැදෙන විදියට පවත්වා ගන්න ප්‍රයෝජනවත් වෙන ටිප්ස් කීපයක් දිහා.

 

1. රයිට් හෑන්ඩ් ෂේක්

මේ කියන්නේ දකුණු අතෙන් හෑන්ඩ් ෂේක් කරන්න කියන එකම නෙවෙයි, හරියට හෑන්ඩ් ෂේක් කරන්න කියන එක. දැන් අපි කෙනෙක්ව මුණගැහුණහම විවිධ ක්‍රම වලට ආචාර කරනවනේ. ජාත්‍යන්තරව පැවත එන ක්‍රමේ තමයි අතට අත දීම නැතිනම් හෑන්ඩ් ෂේක් කිරීම. කොහොම වුණත් මේ කොරෝනා කාලේ අපි සුද්දගේ හෑන්ඩ් ෂේක් අමතක කරලා සිංහල ආයුබෝවන් එකට ගිහින් තියෙනවා, ඒක හරි. හැබැයි අපි කෙනෙක්ව මුණගැහුණහම අතට අත දීලා ආචාර සමාචාර කරනවා නම්, ඒක හරියට කරන්න ඉගෙන ගන්න ඕන.

මූලිකවම අපි කෙනෙක්ට අතට අත දෙන්න කලින් අත වියළිව තියෙනවා කියන එක ෂුවර් කරගන්න ඕන. අතේ දාඩිය නම් අත පිහිදලා අතට අත දුන්නට කමක් නෑ. ඒ වගේම නිකම් බයෙන් බයෙන් වගේ අනෙක් කෙනාගේ ඇඟිලි විතරක් අල්ලලා අත අරින එක හෑන්ඩ් ෂේක් එකක් නෙවෙයි. ඒ වගේම කවුද රජා කියලා අහන්න වගේ අනික් කෙනාගේ අත අල්ලගෙන ෆුල් ඩම් දාලා මිරිකන එකත් හෑන්ඩ් ෂේක් එකක් නෙවෙයි. සම්පූර්ණ අත්ලම මුණගැහෙන විදියේ, බොහොම විශ්වාසයෙන් ශක්තිමත්ව කරන, හැබැයි අනෙක් කෙනාට අපහසුවක් නොවෙන විදියේ අතට අත දීමක් තමයි හරිම දේ.

 

2. මාගේ දෑස දෙස බලනු

මෙන්න මේක ඉතාම වැදගත්, අපි කතා කරන්නේ කවුරු එක්ක වුණත්. ඒ තමයි කතා කරනකොට සෘජුවම දෑස් දිහා බලලා කතා කරන එක. ඒකෙන් බොහොම හොඳ විශ්වාසනීය හැඟීමක් වගේම, හමුවීම ගැන අපිට හොඳ හැඟීමක් තියෙන බවත්, ඒ වගේම අනෙක් කෙනා තුළ අපි ගැන හොඳ හැඟීමකුත් ඇති කරනවා. විශේෂයෙන්ම කාන්තාවක් එක්ක එහෙම කතා කරනකොට කකුල් දිහා, බ්‍රෙස්ට් එක දිහා එහෙම බල බල කතා කරනවා කියන්නෙම ෆේල්. ඒ වගේම කෙනෙක් එක්ක කතා කරනකොට අහක බලාගෙන, එහෙ මෙහෙ බල බලා කතා කරනවා කියන්නෙත් අපිට අපි ගැන විශ්වාසයක් නැති ෆීලින් එකක් තමයි දෙන්නේ. ඇස් දිහා බලාගෙන ෂේක් හෑන්ඩ් කරන එකෙන්, කතා බහ කරන එකෙන් ලැබෙන හැඟීම බොහොම ශක්තිමත්. හැබැයි කතා කරනකොට අනික් කෙනාව මෝහනය කරන්න වගේ ඇස් දිහාම මුළු වෙලේම බලාගෙන ඉන්න එපා. තත්පර දහයකට පහළොවකට සැරයක් ඇස් ඉවතට ගන්න.

 

3. සෘජුව පහසුවෙන් සිටීන්

අපි හිටගෙන ඉන්න විදිය වගේම ඇවිදින විදිය එක්කත් අපි දිහා බලන කෙනෙක් අපි ගැන ඇති කරගන්න හැඟීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් හිටගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත් ශරීරය සෘජුව තියෙන්න ඕන. ඔලුව කෙලින් තියෙන්න ඕන. උරහිස් ඉස්සරහට වකුටු වෙන්නෙ නැතුව බොහොම අභිමානයෙන් දෙපසට ගිහින් තියෙන්න ඕන. කෙලින් හිටගෙන ඉන්නකොට අරෙහෙට මෙහෙට වාරු වෙන්නෙ නැතුව බොහොම හොඳට පොළවේ පය තියාගෙන ඉන්න ඕන. අත් නිකම් ඇඟ දෙපැත්තෙ තියෙන එක අවුල් වගේ නම් අත් ඉස්සරහට හරි පිටිපස්සට හරි පපුව මත හරි බැඳගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඇවිදින කොටත් බොහොම සමබර, සන්සුන් අඩි තියමින් කොන්ෆිඩන්‍ට් පිට තමයි ඇවිදින්න ඕන.

 

4. වාඩි වෙන්නෙ මෙහෙමයි

වාඩි වෙනකොට මුලින් හොඳින් බලන්න ඕන තමන් වාඩි වෙන්නේ මොන වගේ තැනකද කියලා. ඊට පස්සේ ගෙම්බා පොළවෙ ගැහුවා වගේ වාඩි වෙන්නෙ නැතුව, සීරුවෙන් ආරක්ෂිතව වාඩි වෙන්න ඕන. වාඩි වෙනකොට තමන් ඇඳගෙන ඉන්නේ ටයිට් කලිසමක් එහෙම නම්, පොඩ්ඩක් කලිසම උඩට ඇදලා වාඩි වෙන එක හොඳයි. එතකොට වාඩි වෙලා ඉන්න අපහසුවක් නෑ. වාඩි වුණාට පස්සේත් කොන්ද කෙළින් තියාගෙන, උරහිස් විහිදලා, බෙල්ල සහ ඔලුව කෙලින් තියාගෙන ඉන්න ඕන. පුටුවේ ඇකිලෙන්නෙ නැතුව පුටුවේ සම්පූර්ණ අවකාශයම අරගෙන තමයි වාඩි වෙන්න ඕන. කකුල් හරහට තියාගත්තත් කමක් නෑ.ඕන නම් කෙලින් තියාගන්න පුළුවන්. අත් බැඳගන්නත් පුළුවන්. නැතිනම් පුටු ඇන්දේ තියාගන්නත් පුළුවන්.

විශේෂම දේ තමයි, වාඩි වෙලා ඉන්නකොට අපිට හොඳ පහසුවක් දැනෙන්න ඕන. අපි ඉන්නේ අපහසුවෙන් නම්, ඒක අපේ ශරීර ඉරියව් වලින් පේන්න ගන්නවා.

 

5. කතා කරන කොට අපේ අත්

මොනව හරි දෙයක් කියනකොට අපේ අත් නොදැනුවත්වම ඒ කතාව අනුව එහෙ මෙහෙ යනවා නේද? ඒක කිසිම ගැටළුවක් නෑ. හිතාමතාම කතාවත් එක්ක එහෙමෙහෙ යන අපේ අත් පාලනය කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. හැබැයි ඒක ඕනවට වඩා නොවෙන්න වග බලා ගන්න ඕන. 

ඇත්තටම අපි දෙයක් ගැන කතා කරනකොට අපේ අත් වලින් කරන ඉරියව් වලින් අපේ කතාවට පහසුවක්, ගලායෑමක් එක් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න. කතා කරනකොට අත් එහෙ මෙහෙ විසි කරන එක හොඳ ලකුණක් නෙවෙයි. අත් එකිනෙකට පිරිමදින එක, සටකපට බවක් හඟවන එක හොඳ ලකුණක් නෙවෙයි. කතා කරන කොට අත් වලින් එහෙමෙහෙ කොනිති ගහන එක, නියපොතු හපන එක, නිතරම මූණ අත ගාන එක එහෙමත් හොඳ ලකුණක් නෙවෙයි.

 

මේක ප්‍රැක්ටිස් කරන්න සරල ක්‍රමයක් තියෙනවා. යන්න කණ්ණාඩියක් ගාවට ගිහින් තනියම කතා කරන්න. අන්න එතකොට අපේ අත් එහෙ මෙහෙ චලනය වෙන විදිය බලන්න. දැන් අපිට පුළුවන් අපි වැරදියට කරන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක හදාගන්න.  

 

6. සිනාවෙන් බෑ මනින්නට මිනිසා

එහෙම කිව්වට, ඇත්තටම අපේ හිනාවෙන් අපිව ඉබේම මැනෙනවා. නිකමට හිතන්න, මූණේ හිනාවක් වත් නැති කෙනෙක් එක්ක අපි කතා කරන්නවත් ඉක්මන් වෙනවද කියලා. ඒ වගේම ඕනවට වඩා හිනාවෙවී ඉන්න කෙනෙක් ගාව අපි අපහසුතාවයට පත් වෙන්නෙ නැද්ද. ආන්න ඒක තමයි සීන් එක. හොඳ හිනාවක් පුරුදු වෙන එක.

ඇත්තටම මේ හිනාව පුරුදු වෙන්නත් කණ්ණාඩිය තරම් හොඳ හිතමිත්‍රයෙක් නෑ. සාමාන්‍යයෙන් අපේ හිනාවන් කීපයක් තියෙන්න පුළුවන්. මද සිනාව, හොඳ හිනාව, පිරුනු හිනාව, හහ් හහ් හා හිනාව සහ හිකි හිකි හිනාව. ඔය එක එක හිනා එක එක අවස්ථා වල අපිට පාවිච්චි වුණත්, අපි ගාණට හැඩතල කපලා හදාගන්න ඕන එක තමයි පොදුවේ පාවිච්චි වෙන පිරුණු හිනාව. මේ හිනාවේ ප්‍රධානතම අවශ්‍යතාවය වෙන්නේ අව්‍යාජ එකක් වීම. මොකද, අපේ හිනාව ව්‍යාජයි නම් ඒක පටස් ගාලා පේනවා. අර කට හිනාවුණත්, ඇස් හිනා නොවෙන අවස්ථා එන්නේ හොර හිනා එක්ක තමයි. 

 

7. නොඩ් එක

මේක ගොඩක් වෙලාවට බොඩි ලැන්ග්වේජ් ගැන කතා කරනකොට අමතක වෙන කාරණයක්. ඒ තමයි හිස සැලීමෙන් අපි සන්නිවේදනය කරන දේ. ලේසියෙන් කිවුවොත් නොඩ් එක. සාමාන්‍යයෙන් නොඩ් එක ඉතාම වැදගත් වෙන අවස්ථාවන් තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, අපි සංවාදයක ඉන්න කොට, කෙනෙක් කියන දේකට අපි අවධානය යොමු කරන බව හෝ එකඟ වෙන බව නොඩ් එකකුන් දන්වන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අතිශයින්ම දන්නා හඳුනන කෙනෙක් පාස් වෙලා යනකොට නොඩ් එකකින් “යෝ බ්‍රෝ” වගේ අදහසක් ලබාදෙන්නත් පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න. කෙනෙක් අපිත් එක්ක හිනාවුණොත්, නිකම් ලෝඩ් පකීර් වගේ නොඩ් එකක් දීලා යන්න එපා. ඒක කැතයි. හිනාවුණොත් හිනා වෙන්න. 

දැන් ඔය නොඩ් එක වුනත් අපිට දෑත් වලින්, එක් අතකින් දක්වන ඉරියව් එක්ක එහෙම මික්ස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් එකක් ඕනෙද? යන්න කණ්ණාඩිය ඉස්සරහට!

 

දැන් මේ ඔක්කොමත් ප්‍රැක්ටිස් කරන්න. හැබැයි තමන් ගැන අනික් අය තුළ හොඳ හැඟීමක් ඇති වෙන විදියට ඇඳුම් පැළඳුම් කරන්නත් අමතක නොකරන්න!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *