ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇතුළු යුරෝපීයයන් ඇමරිකා මහද්වීපයට ගොඩබැසීමට පෙර එම මහද්වීපයේ දකුණු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී ශිෂ්ටාචාර අතරින් ඉන්කා ශිෂ්ටාචාරයට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. කුඩා ගෝත්‍රයක් පදනම් කරගෙන ආරම්භ වුණ මෙම ශිෂ්ඨාචාරය කෙටි කාලයක් තුළ වර්තමාන ආජන්ටිනාව, කොලොම්බියාව ඇතුළු ප්‍රදේශ ගණනාවක භූමිය පුරා විහිදී ගියා. අපි අද මේ ලිපිය තුළින් ඉන්කා ශිෂ්ටාචාරයේ උරුමය පිළිබඳව කතා කරමු.
ලොවෙන් අතුරුදන් වූ මායා ශිෂ්ටාචාරය ගැන පහතින් කියවන්න!
1. ඉන්කා ශිෂ්ටාචාරයේ වර්තමාන උරුමය
යුරෝපීයයන්ගේ පැමිණීමත් සමගම ඉන්කාවරුන්ගේ ඇදහීම් ක්‍රමය වෙනුවට කතෝලික ආගම ඔවුන් මත බලයෙන් පටවනු ලැබුවා. ඒ කෙසේ වෙතත් වර්තමාන දකුණු ඇමරිකානු කතෝලිකයන් තුළ පවා ඉන්කා ශිෂ්ටාචාරයේ බලපෑම දකින්නට පුළුවන්. යුරෝපය තුළ න්‍යෂ්ටික පවුල සංකල්පය ජනප්‍රිය වෙද්දී දකුණු ඇමරිකාවේ විස්තෘත පවුලට සමාජීය වශයෙන් වැදගත්කමක් හිමි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එසේම අද වන විට බොහෝ කතෝලික පූජ්‍යස්ථාන පිහිටා තිබෙන්නේ ඉන්කාවරුන්ගේ වන්දනාමාන වලට පාත්‍ර වුණ ගිරි ශිඛර මතයි.
2. ඉන්කාවරුන්ගේ ඇදහීම්
ඉන්කාවරුන්ගේ ඇදහීම් වල ස්වර්ණමය රීති තුනක් පැවතුණා. සොරකම් කිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම සහ අලස වීමෙන් වැළකීම එම රීතී තුනයි. යම්කිසි පුද්ගලයෙකු මෙලොවදී මෙම රීති තුන අනුගමනය කළහොත් ඔහු මරණයෙන් මතු සදාකාලික උණුසුමක් පවතින සූර්යයාගේ දේශය වෙත යන බවත් මෙම රීති කඩ කරන පුද්ගලයින් සදාකාලික අඳුර සහ ශීත කාලගුණයක් පවතින පාතාලයක් වෙත යන බවත් ඉන්කාවරුන් විශ්වාස කරනු ලැබුවා.
3. ඉන්කා දේශයේ ජීවනෝපාය
ඉන්කා ශිෂ්ටාචාරයට සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වූයේ කෘෂිකර්මාන්තයයි. පවුල් ගණනාවක් විසින් නඩත්තු කරන ලැබූ වගාබිම් සහ එම වගා බිම් වලට අධිපතිත්වය දරන ප්‍රභූවරුන් ගෙන් කෘෂි කර්මාන්තයේ පහළම ස්ථරය සමන්විත වුණා. මේ ආකාරයට ස්ථර කීපයකට බෙදී තිබුණු ඉන්කාවරුන්ගේ සමාජයේ ඉහළම ස්ථානය හිමි වූයේ රජුටයි. මේ ආකාරයටම අනෙකුත් වෘත්තීන්වල යෙදුනු පිරිස් ද සංවිධානයව තිබූ අතර රැකියාව පියාගෙන් පුතාට උරුම වුණා.
4. ඉන්කා දේශයේ කාන්තාව
එම සමාජය පීතෘ මූලික සමාජයක් වුවත් සෑමවිටම කාන්තාවට ගෞරවයෙන් සැලකීම සිද්ධ වුණා. ඔවුන්ට රජයේ ඉහළ නිලතල වලට යෑමට පමණක් නොව පූජකවරියන් වීමේ අවස්ථාවද සැලසුණා. සාමාන්‍ය ස්ථරවල කාන්තාවන් විවාහයෙන් පසුව සැමියාගේ පවුලේ තැනැත්තියක් ලෙස ද සැලකුණු අතර බොහෝවිට පවුලේ වගාබිම්වල වල වැඩ කිරීමේ කටයුත්ත ඇයට පැවරුණා. මුළුතැන්ගෙයි වැඩකටයුතුත් ඇයගේ ජීවිතයේ එක් කොටසක්.
5. ආහාරපාන
අද වෙනකොට ලංකාවේ අපිටත් නැතුවම බැරි වෙලා තියෙන අර්තාපල් අල මුලින්ම වගා කරන ලද්දේ ඉන්කාවරුන් විසින් බවට විශ්වාස කෙරෙනවා. සාර්ථක අස්වැන්නක් යනු දෙවියන් විසින් තමන්ට ලබාදෙන ත්‍යාගයක් ලෙස ඉන්කාවරුන් විසින් සැලකුණු අතර ඔවුන්ගේ දෛනික ආහාර වේල් සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාංශික වුණා. මස් වර්ග භාවිතා කරන ලද්දේ විවිධ උත්සව අවස්ථා සඳහා පමණයි. ආහාර වර්ග සඳහා වෙළෙඳපොළ ක්‍රමයක් නොතිබුණු අතර එකිනෙකා හා තමන් විසින් සකස් කරගන්නා ලද ආහාර වර්ග හුවමාරු කර ගනු ලැබුවා.
6. මහාමාර්ග පද්ධතිය
ඉන්කාවරුන්ගේ අධිරාජ්‍යය පවත්වාගෙන යෑමට සුවිශේෂී දායකත්වයක් ඔවුන් විසින් සංවර්ධනය කරන ලද මාර්ග පද්ධතිය මගින් ලබා දෙනු ලැබුවා. එහි නිශ්චිත ස්ථානවල පණිවිඩකරුවන් දෙදෙනෙකු රැඳී සිටි අතර, සේවාමුර ක්‍රමයට එක් අයෙකු නිදාගෙන සිටි අතර අනෙක් තැනැත්තා පණිවිඩයක් ගෙන යෑමට සැදී පැහැදී සිටියා. මෙම හේතුව නිසා රජු විසින් ලබා දෙන නියෝග ඉතා කෙටි කාලයක් තුළ රාජ්‍යයේ දුරබැහැර ම ප්‍රදේශය කරා වුවත් ලඟාවුනා.
7. ඉන්කාවරුන්ගේ ලේඛන කලාව
කෙතරම් දියුණු ශිෂ්ටාචාරයක් වුවත් පුදුමයකට මෙන් ඉන්කාවරුන් සතුව ලේඛන කලාවක් පැවතියේ නෑ. නමුත් ඔවුන් තොරතුරු එක් රැස් කිරීම සඳහා කියුපු (quipu) නම් ක්‍රමයක් භාවිතා කළා. එහිදී සිදුවූයේ නූල් ගැට ගැසීම මඟින් විවිධ තොරතුරු බාහිර පරිසරයට සන්නිවේදනය කිරීමයි. නමුත් අද දක්වාම මේ මගින් සන්නිවේදනය වන්නේ කුමන තොරතුරුද යන්න පිළිබඳව වටහා ගැනීමට සමත් වී නැහැ.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක් කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මේ ආටිකල් එක ලිපි මාලාවක් බවට පත්වේවි.
Leave a Reply