නිට්ටෑවෝ වැනි කුඩා මිනිසුන් ඇතැම් රටවල ගෝත්‍රිකයින් ලෙස තවමත් ජීවත් වේ. ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල පිග්මි හෙවත් කුරු ගෝත්‍රිකයින් තවමත් තැන තැන සිටිති. එසේම අන්දමන්, නිකොබර් සුලවැසි වැනි දිවයින් වල ආසියාවේ කහ පැහැයට වෙනස් කළු පැහැති සමක් ඇති මිනිසුන් තවමත් ජීවත් වේ. ඒ ආකාරයෙන් අපේ යාබද ඉන්දියාව ගත්තද විවිධ අන්දමේ ගෝත්‍රිකයින් රැසක් තවමත් සිටී. ලංකාවේ දැනට සිටින ආදිවාසීන් වැද්දන් වන අතර ඉන් එහා ආදිවාසීන් යැයි සැලකිය හැකි විශේෂයක් ඉතිරිව නැත. එහෙත් නිට්ටෑවන් විටින් විට අප පුවත්පත්, ෆේස්බුක් තුළට එබිකම් කරයි. කවුරුද මේ නිට්ටෑවෝ? අපි ටිකක් සොයා බලමු.
1. යාබද නිට්ටෑ ඉඟි
ඉන්දුනීසියාවේ පලාවු දිවයින් වල කරන ලද කැණීම් වලදී 2003 වර්ෂයේදී ඇට කැබලි රැසක් සොයාගත් අතර ඒවා මීටරයක පමණ උසැති මිනිසකුගේ බවට මත පළ විය. ඒ මානව වර්ගය හොබිට් ලෙස හඳුන්වන ලද අතර හෝමෝ ෆ්ලොරෙන්සින්සිස් ලෙස වර්ගීකරණය කරන ලදී. මොළයේ ප්‍රමාණය, මුහුණ සහ අස්ථි වල හැඩය අනුව ඔවුන්ද හෝමෝ සේපියන් සේපියන් හෙවත් අපි අයිති කාණ්ඩයටම අයිති විය යුතු බවට මත පළවී තිබේ. මේ ආකාරයෙන් සාමාන්‍ය මිනිසාට වඩා කුඩා මිනිසුන් අපට යාබද සුමාත්‍රාවෙන්ද සොයාගෙන තිබේ. ඒ අනුව කලකදී ලංකා දිවයිනේද මෙම කුඩා මානවයින් සිටියාද යන ගැටළුව ඇතිවේ. එහෙත් එසේ සිටියා වුවද ඉතා මෑතකදී ඔවුන් විසුවායැයි සිතීම විද්‍යාත්මක නොවේ.
2. වැදි ජනප්‍රවාද
වැද්දන්ගේ ජනප්‍රවාද අධ්‍යනය කළ කිහිප දෙනෙක්ම යුරෝපීය යටත්විජිත යුගයෙත් ලංකාවේ සිටියහ. වැදි ජනප්‍රවාද අනුව මේ නිට්ටෑවන්ව වැද්දන් විසින් සමූලඝාතනය කර තිබෙන්නේ ගුහාවක් තුළට නිට්ටෑවෝ බහා එය ගිනි තැබීමෙනි. වැද්දන් සහ නිට්ටෑවන් එකම බිමක ජීවත් වුවද වැද්දන්ට වඩා නිට්ටෑවන් බුද්ධි මට්ටමින් අඩුය. එසේම වැදි ගැහැණුන් සමග ලිංගිකව හැසිරීමද නිට්ටෑවන්ව වැද්දන්ට එපා වීමට එක හේතුවකි. එබැවින් වැද්දන් විසින් නිට්ටෑවන් සමූල ඝාතනය කළ බවට කතාන්දර තිබේ. එහෙත් ඒ වැද්දන් හා එකම කල විසුවායැයි කියන එකදු නිට්ටෑවකුගේ හෝ ආයුධ හෝ වෙනත් කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් මෙතෙක් හමු වී නැත. හුදෙක් ජනප්‍රවාද වල පමණක් නිට්ටෑවා සුවසේ ජීවත් වේ.
3. පිග්මිවරු
පිග්මිවරු යනු උසින් අඩු කාලවර්ණ මිනිසුන් වර්ගයකි. ඔවුන් අද ද ජීවත් වේ. ඔවුන් ගිනිකොණදිග ආසියාවේ මුල් පදිංචිකරුවන් යැයි කියති. එසේම අන්දමන් දූපත් ආශ්‍රිතව වෙසන කළු ජාතිකයින් ආසියාවට කොහෙන් කෙසේ පැමිණියාදැයි තවමත් විද්‍යාඥයින්ට ඇත්තේ ගැටළුවකි. ඉන්දුනීසියාව, පැපුවා නිව් ගිනියාව, අන්දමන් දූපත්, තායි රට වැනි රටකින් මෙහි ගෙන ආ පිග්මිවරුන් බියට කැලෑ වැදීම නිසා ඇතැම්විට මේ කියන නිට්ටෑවුන් ඇතිවූවා වන්නට හැකිය. යටත්විජිත පාලකයින්ගේ මුල් කාලය යනු ලෝකයේ වහල් මෙහෙය අනුමත යුගයක් විය. එකලදී වහලුන් ලෙස අල්වාගත් කිහිප දෙනෙක් වල් වැදී නිට්ටෑවුන් ලෙස කැලෑගත වූවාදැයිද සිතීමට අවකාශ තිබේ.
4. නිට්ටෑවන් විසූ කලාපය
දැනට නැගෙනහිර කලාපයේ පානම කුඩුම්බිගල පළාත නිට්ටෑවන් විසූ කලාපයක් යයි විශ්වාස කෙරේ. එසේම මහ ලේනම බින්තැන්න ආදී කලාපවලද නිට්ටෑවන් සම්බන්ධ ජනප්‍රවාද තිබේ. තවමත් මේ ඇතැම් ප්‍රදේශ යාල මහ කැලයටත් ජන ශුන්‍ය වනාන්තර භූමි වලටත් යාබද වීම නිසා දැනටද ඒ පළාත්වල ඇතැම් කලාප වැඩිපුර මිනිස් ග්‍රහණයට හසු වී නොමැත. මේ නැගෙනහිර සහ ගිනිකොණදිග වෙරළබඩ කලාපය දැන් කාලයේ එතරම් ජනාකීර්ණ නොවන නමුදු අතීතයේදී මේ කලාපය වඩාත් සක්‍රීයව පවතින්නට ඇති බවට ඒ කලාපයෙන් තැනින් තැන හමුවන පුරාවිද්‍යා සාධක අනුව පෙනේ.
5. හියු නෙවිල් ගේ මතිමතාන්තර
1886 දී ලංකාවේ නිට්ටෑවන් ගැන එංගලන්තේ පොතක් එළිදැක්වූ අතර එයින් පසු නිට්ටෑවන් ගැන සෙවීම වඩාත් කරළියට පැමිණියේය. වැද්දන් කියන අයුරින් නිට්ටෑවුන් යනු වනයේ වනචාරීව ගතකරන කෲරතර ගති ඇති කුඩා මිනිසුන් කොට්ඨාසයකි. ඔවුන් ගස් උඩ ගෙවල් හදන අතර ඒවායේ සිට සිය කටයුතු කළ බව සඳහන් වේ. ඔවුන්ගේ බස සිංහල හෝ දෙමළ නොවන නමුත් කතරගම වන්දනාවේ එන තෙළිඟු ජනයාගේ බසට මේ නිට්ටෑ බස සමාන බව හියු නෙවිල් සිය කෘතියෙන් කියා තිබේ. එහෙත් ඔහු ඒ පොත ලියූ 1900 කාලය වනවිටත් එවැනි ජනකායක් ජීවතුන් අතර සොයාගන්නට නොහැකි වී ඇති අතර කලකට පෙර වැද්දන් විසින් සමූලඝාතනය කර ඇති බවට ඔහුද ලියා තිබේ.
6. සෙන්ටිනලිස් සහ නිට්ටෑවෝ
දැනට අන්දමන් දුපත් කෙළවර පවතින සෙන්ටිනලිස් නැමැති දූපතක් වන අතර එහි තවමත් පුරාණ ගෝත්‍රිකයෝ ජීවත් වෙති. එය දූපතක් වූ නිසාවෙන් ගොඩබිමින් පැමිණෙන සංචාරකයින්ගෙන් ගැහැටක් නොමැතිව ඔවුහු තවමත් ගල් යුගයේ පරිදි සිය ජීවිකාව ගෙන යති. තවමත් ඔවුන් ගල් ආයුධ දරන අතර 2004 සුනාමි අවස්ථාවේ එම දූපතට පිහිට වෙන්නට ගිය ඉන්දියානු හෙලිකොප්ටර වලටද සෙන්ටිනල් වැසියෝ හෙලි වලින් පහර දෙන්නට උත්සාහ කළහ. දැන් නම් ඉන්දියානු සංචාරකයින්ගේ නොපනත් කම් වලට ලක්වෙන සෙන්ටිනල් ගෝත්‍රිකයෝ මෙතෙක් ඔවුන්ට නොවැළඳුන එහෙත් ඉන්දියානුවන්ගෙන් බෝවුන රෝග නිසා පීඩා විඳිති. ඒ අනුව යම් ගෝත්‍රික කොටසක් ලංකා භූමියේ කොටසක නිට්ටෑවුන් නමින් සිටියේ වුවද ඔවුන් ඒ පළාත් ගම්මානකරණය වනවිට එක්කෝ සාමාන්‍ය ජනයාට එකතු වන්නට හෝ වඳවී යන්නට ඇත.
7. තැනින් තැන හදිසි මතුවීම්
2004 සුනාමි කාලයේ කුඩුම්බිගල කැලේ ගිය ස්පාඤ්ඤ ජාතිකයෙකුට මේ නිට්ටෑවුන් හමු වී ඇති බව වාර්තා වුණි. ඒ වැනිම විවිධ අවස්ථාවල නිට්ටෑවන් පහර එල්ල කළා යැයි පුවත්ද පළ වේ. එහෙත් හරිහැටි අඩුම තරමේ සේයාරුවක් වත් මේ නිට්ටෑවන් සම්බන්ධයෙන් නැත. එසේම ඇට කැබැල්ලක්, ආයුධයක් වැනි දෙයක්වත් මතු වී නැති නිසා ඇතැම් සිදුවීම් හුදෙක් අතිශයෝක්ති සහ ජනප්‍රවාද කතාන්දර ලෙස කෙලින්ම බැහැර ලිය හැකිය. හියු නෙවිල් සහ ඉන් පසුව නිට්ටෑවන් ගැන ලියවුණු ලේඛන වල පවා වෙනත් දේශයන්හි විසූ ගෝත්‍රික ජනයාගේ ගතිසිරිත් නිට්ටෑවුන්ට තිබුණ බවට ඒත්තු ගැන්වීමට අමතර උත්සාහයක් ගෙන තිබේ.
නිට්ටෑවුන් වැනි ප්‍රාථමික ගෝත්‍රයක් ලංකා භූමියේ සිටින්නටද නොසිටින්නටද පුළුවන. එහෙත් ජනප්‍රවාද වල සිටි අජීවමාන නිට්ටෑවුන් තවමත් අපේ සමාජයේ ඉදහිට ඔබ මොබ සැරිසරන්නේය. රාවණා, හනුමා, වැනි සාධක නොමැති පුරාවෘත්ත ගොඩ අතරට මේ නිට්ටෑවුන්ද බහා කතාන්තර ගොතා රස විඳීම ඇතැම් ලාංකික මාධ්‍ය වලින්ද ඉඳ හිට කරනු ලැබේ. මානව විශේෂයන් ගැන විද්‍යාත්මක අධ්‍යයන සිදුකිරීම වඩා වැදගත්ය. ජනප්‍රවාද අධ්‍යනය කිරීමද වැදගත්ය. ඉතින් ඔබලාටත් නිට්ටෑවන් ගැන සහ ගෝත්‍රිකයින් ගැන යම් තොරතුරක් මේ ලිපිය හරහා ලැබෙන්නට ඇති කියා අප සිතනවා.
Leave a Reply