ඔන්ලයින් ඇඳුම් ෂොපින් කිරීමේදී වැදගත් වන කරුණු

ඔන්ලයින් ඇඳුම් කියන්නේ වේගයෙන් ජනප්‍රිය වුණු දෙයක්. ඇඳ ඇතිරිලි, තුවා, බෙඩ්ෂීට්, මේස් වගේ දේවල් වගේම දැන් කෙලින්ම මහපු ඇඳුමුත් අපි ඔන්ලයින් මිලදී ගන්නවා. කොවිඩ් සීන් එක‍ත් එක්ක ඔන්ලයින් ෂොපින් වල පරිමාව ලෝකයේම වැඩි වුණා. කොරෝනා වලින් ලැබුණු එක දායාදයක් විදිහට හතු පිපුනා වගේ තැන තැන ඇතිවුණ ඔන්ලයින් කඩ දක්වන්නත් පුළුවන්. ඉතින් මේ ඔන්ලයින් ඇඳුම් මිලදී ගනිද්ද ඔයාට හරියට ගැලපෙන ඇඳුමක් ගන්න වැදගත් කරුණු කීපයක් අපි දෙන්නට හිතුවා.

 

1. මෙෂර්මන්ට් ගැන අවධානය

ඇඳුම් වල සයිස් චාට් එක ඇඳුම් ගනිද්දි බොහොම වැදගත්. ඒ සයිස් චාට් එක අනුව ගත්තා වුණත් ඇඳුම්  හිර වෙන්න, බුරුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඇඳුම් වෙළඳපොළේ හැටි. ඇඳුම් ගන්නකොට චීන සයිස්, යූ කේ සයිස්, ඇමරිකා සයිස් වගේ විවිධ සයිස් වලින් තියෙනවා. උදාහරණ විදිහට චීන සයිස් වලින් අපි කාන්තා බ්ලවුස් එකක මීඩියම් ගත්තොත් ඒක ලංකාවේ කාන්තාවන්ගේ උරහිසින් බස්සගන්න බැරි අවස්ථාවන් එනවා. ඒ වගේ සයිස් මොනවද? සයිස් චාට් එක මොකද්ද? අපේ සයිස් මොනවද කියලා හරියට හොයලා බලලා ගන්න එක වටිනවා. ඉන්දියාවෙදි නම් හරියන ඇඳුම් කිහිපයක් ඩිලිවරි කිරීමත්, එයින් සරිලන එක තෝරාගැනීමේ පහසුවත් සාරි වලට තියෙනවා. ඒත් අපිට තවම ඒ පහසුව නැති නිසා හරි සයිස් එක ගැන සැලකිලිමත් වීම වැදගත්.

 

2. යූසර් රිවීව් 

ඔන්ලයින් ස්ටෝරුවක් ඊයේ දාලා අද ඒකෙන් බඩු ගන්න යනව නම් ඉතින් වැඩේ අමාරුයි. මොකද එතකොට වැඩි පිරිසක් ඒ වෙබ් එකත් එක්ක ගනුදෙනු කරලා නැති නිසා අදහසක් ගන්න අමාරුයි. ඒත් කලක් තියෙන සයිට් එකක නම් මැටීරියල් කොලිටි එක, සයිස් ගැලපීම වගේම ඒ ඔන්ලයින් බඩු වල විශ්වාසනීයත්වය ගැනත් හොඳ අදහස් එනවා. අනුන්ගේ කමෙන්ට් කියවනවා වගේම අපි බඩුවක් ගත්තා වුණත් හොඳ නරක ගැන කමෙන්ට් කරන එක ඔන්ලයින් ඇඳුම් ගනිද්දි වැදගත් වෙනවා.

 

3. අධ්‍යනය කිරීම

යාළුවෙකුගේ පොටෝ එකකට කමෙන්ට් එකක් හලනවා වගේ බොහොම ඉක්මනින් ඔන්ලයින් ෂොපින් වලදි තීරණ ගන්න හොඳ නැහැ. ඒ අදාළ මැටීරියල් එක මොකද්ද කියලා බලන්නට ඕනි. ඒ වගේම ඒ ඇඳුම අන්දලා නම් පොටෝ අරන් තියෙන්නේ ඒ මොඩල්ගේ සිරුරේ ස්වරූපය ගැනත් බලන්නට ඕනි. සමහර විට මහත අයට ලස්සන මෝස්තර කෙට්ටු අයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම සුසුදු සමක් තියෙන අයට සුන්දර මෝස්තර ටිකක් අඳුරු වර්ණ සමක් තියෙන අයට මැච් වෙන්නෙත් නැහැ. ඉතින් ටිකක් තමුන් සමග ඒ අදාළ ඇඳුම සන්සන්දනය කරද්ද අවංකව තමන්ගේ රූපයට ඒ ඇඳුම ගැලපෙනවාද නැද්ද යන වග බලනවා නම් වටිනවා.

 

4. ඇඳුමෙන් ඉන්න වීඩියෝ බැලීම

දැන් ඔන්ලයින් ඇඳුම් ජනප්‍රිය වීමත් එක්ක ඇතැම් ඔන්ලයින් ස්ටෝරු අලුත් ඇඳුම් විලාසිතා වලට ටික්ටොක් නිරූපිකාවන්, ඉන්ස්ටා නිරූපිකාවන් සහ යූටියුබ් නිරූපිකාවන් පාවිච්චි කරනවා. එතකොට ඒ ඇඳුම ඇඳලා, ගස්සලා පද්දලා වැඩ දාලා ඒක ඇන්දම ලැබෙන ලුක් එක මොන වගේද කියලා අදහසක් අපිට එයාල දෙනවා. ඇඳුමක් ඇඳගෙන එකතැනකට වෙලා බවුන් වඩන්න බලාගෙන කවුරුත් ඇඳුමක් ගන්නේ නැහැ. ඉතින් ඇවිදිනකොට, හැරෙනකොට සහ වාඩිවෙලා ඉද්දි මොන විදිහටද ඇඳුම පේන්නේ කියලා ඒ වගේ වීඩියෝ බලන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මිස් කරගන්නත් එපා.

 

5. නම්‍යශීලීව සිතීම

මේක ටිකක් අමාරු වැඩක්. ඒත් ඔන්ලයින් ෂොපින් වලදි අපි ඇනවුම් කරන ලස්සන ඇඳුමම අපේ අතට ලැබෙයි කියන විශ්වාසය නම් තියන්නට අමාරුයි. ඒ වගේ වෙලාවක අපි බලාපොරොත්තු වෙන වර්ණය, ඒ කොලිටි එක, ඒ මෙෂර්මන්ට් සහ මැටීරියල් අපිට ලැබෙන්නේ නැති අවස්ථා එන්න පුළුවන්. ඉතින් ඒ නොලැබුනාම අපිට සමහර විට පැමිණිලි කරන්න දෙයකුත් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා ඔන්ලයින් ඇඳුම්  සාප්පු සවාරි යද්දි අපි දකින දේම අපිට ලැබෙන්නේ නැහැ කියන පොදු විශ්වාසයත් හිතේ තියාගන්න ඕනි.

 

6. ස්ටෝරු කොන්දේසි ගැන අවධානය

සමහර අයිතම ලැබෙන විට ඒවා විවෘත වෙලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල ලංකාවෙ ස්ටෝරු වලත් ඇණවුම් කළ වර්ණය, වර්ගය නැතුව වෙනත් වර්ගයක් ආපු අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට මාරු කරගන්න පුළුවන්ද‍? අපිට රිටන් කරල මුදල් නැවත ලබා ගන්න පුළුවන්ද? ඒ රිටන් කරන ක්‍රමවේදය මොකද්ද කියලා අවධානය යොමු කරන්නට ඕනි.

 

7. ළඟපාත ටේලර් ෂේප් එකේ තියාගනිමු

ඇත්තටම සයිස් ප්‍රශ්නය ඔන්ලයින් සේල් වලදි තියෙන ගෝලීය ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ වෙලාවට කට් එකක් ගහගන්න, මැහුමකින් තද කරගන්න ළඟපාත ටේලර් මහතෙක් ඉඳීම වැදගත් වෙනවා. ඒ වගේම ඒ ටේලර් මහතා හෝ යුවතිය හරහා ඔයාට ඔයාගේ නියම සයිස් මොනවද කියලා අදහසක් ගන්නට පුළුවන් වෙනවා.

 

ඔන්ලයින් ෂොපින් වල තියෙන සමහර විචිකිච්චා වලට ඔන්ලයින් අඩවි වලම ඔප්ෂන් තියෙනවා. ඇදුම් වුණත් බොහෝවිට කාට් එකට, ඒ කිව්වේ අපිට අදාළ බාස්කට් එකට දාගෙන ඒ අනුව පස්සේ අපිට මිලදී ගන්නට පුළුවනි. මුළු සයිට් එක පුරා ගොඩක් වෙලා කරක් ගහන් නැතුව කැමති කැමති එක කාට් එකට පික් කරගෙන පස්සේ ඒවා අයින් කරගන්නත් අපිට පුළුවන්. ඉතින් ඒ වගේ ඔන්ලයින් ඇඳුම්  ගැනීමේදී වැදගත් වෙන කාරණා ටිකක් අපි අද කිව්වා. ඉතින් යාළුවන්ටත් බලන්න මේ ආටිකල් එක ෂෙයාර් කරගෙනම යමු නේද?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *