පවුලක එක්කෙනෙක් විතරක් මුදල් හම්බ කරල අද කාලේ අහස උසට නැගල තියෙන ජීවන වියදම් එක්ක ඉහගහගෙන ජීවත් වෙන්න අමාරුයි. එනිසාම අද කාලේ හැම පවුලකම සැමියා බිරිඳ කියන දෙන්නම රැකියාවල් කරනවා. ආසාවට නෙමෙයි නොකරම බැරි කමට. හැබැයි අද කාලේ තියන න්‍යෂ්ටික පවුල් අකෘතියත් එක්ක දරුවෝ බලාගන්න කවුරුත් නැති කමෙන් දෙමාපියො මෙන්න මේ කාරණයේදී අසරණ වෙනවා. අන්න එතැනදී තමයි day-care centres අපිට උදව් වෙන්නේ. දරුවෝ බලාගන්න වැඩිහිටියන්ගේ උදව් පදව් නැති හුඟක් පවුල්වල අම්මල තාත්තල දැන් මේ ඩේ කෙයාර් වල පුංචි බබාලාව නවත්තලා තමයි හිතේ නිදහසෙන් රැකියාව කරන්නේ. බබාට හොඳ ඩේ කෙයාර් එකක් තෝරගන්න කොට සලකා බලන්න ඕන කාරණා ගැන අපි මීට කලින් ලිපියකින් කතා කළා . ඒ ලිපිය පහළින් බලන්න.
මේ කතා කරන්නේ ඒ හා සම්බන්ධ තවත් කාරණාවක්. ඔන්න හොඳ day-care centre එකක් හොයල බලලා බබාව day-care එකට දැම්ම කියල හිතන්නකෝ. එතනින් ඔක්කොම ප්‍රශ්න ඉවර වෙන්නෙ නම් නෑ. ඊළඟ යුද්දෙ පටන් ගන්නෙ එතන ඉඳල තමයි. උදේ පාන්දර නැගිටල හැමෝටමත් එක්ක කෑම උයල, විශේෂයෙන්ම බබාට එක එක වේල් වලට කෑම වර්ග හදල, ඒ ඔක්කොම පාර්සල් කරගෙන, බබාවත් ලෑස්ති කරගෙන වෙලාවට රැකියාවට යන එක ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. ඒ විදිහට රැකියාවට ගිහිල්ලා හිතේ නිදහසින් වැඩ කරන එකත් ලේසි නැහැ. ඉතින් අද මේ කතා කරන්නේ අන්න ඒ ඩේ කෙයාර් යන බබාලා ඉන්න දෙමාපියන්ට වැදගත් වන, ජීවිතය පහසු කරගන්න වගේම හිතේ නිදහසේ රැකියාව කරන්න පුළුවන් tips කිහිපයක් ගැනයි.
1. සතියක බඩු එකට
පුංචි බබාට සතියට අවශ්‍ය බඩු බාර ගන්න විදිහ ඩේ කෙයාර් එකෙන් එකට වෙනස් වෙනවා. සමහර ඩේ කෙයාර් වලින් බබාට අවශ්‍ය මෙට්ට වගේ දේවල් සැපයුවට සමහර ඩේ කෙයාර් වලින් ඒ දේවල් දෙන්නෙ නැහැ. ඒවා අපි ගෙදරින් අරගෙන යන්න ඕන. ඒ කාරණා ඩේ කෙයාර් එකක් තෝර ගන්නකොට තමාගේ කැමැත්ත අනුව හිතල බලලා තෝරගන්න පුළුවන්. හැබැයි ඔය කොයි දේ වුණත් බබාට අවශ්‍ය ඇදුම්, ඩයපර්ස්, ඇඳ රෙදි, කොට්ට උර වගේ දේවල් නම් කොහොමත් අපි ඩේ කෙයාර් එකට ගෙනිහිල්ල දෙන්න ඕන. ඇඳ රෙදි සහ කොට්ට උර ඒ වගේම බබාගේ ටවල් වගේ දේවල් සතියකට එක සැරයයි ගිහින් දෙන්න ඕන. ඇදුම්, ඩයපර්ස් වගේ දිනපතා පාවිච්චි වෙන දේවල් දවස ගාණේ ගිහිල්ලා දෙන්න පුළුවන්. ඒත් හරියට බැලුවහම හැමදාම උදේට තියෙන ලෑස්තිවෙන යුද්දෙත් එක්ක ඒක අතිරේක කරදරයක්. සතියට ඇතිවෙන්න බබාගෙ ඇඳුනුත්, අවශ්‍ය ඩයපර්ස් ප්‍රමාණයත් සඳුදා උදේට ඩේ කෙයාර් එකට ගිහිල්ලා භාර දෙන එක ලේසියි. ඒ නිසා එක දිගට සතියකට පාවිච්චි කරන්න ඇතිවෙන්න බබාට ඇඳුම් සහ ඩයපර්ස් ඉරිද දවසෙදි ලෑස්ති කරගන්න. ඒ ටික සඳුදා උදේට ගිහිල්ලා දෙන්න පුළුවන්.
2. පෙර සූදානම
කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට වැදගත්ම දෙයක් තමයි පෙර සුදානම. විශේෂයෙන්ම මේ වගේ පුංචි බබෙක් ඩේ කෙයාර් දාන අම්මාලා තාත්තලාට. මොකද අපිටනම් කෑම හදා ගන්න බැරි උන දවසට කඩෙන් කෑම පාර්සලයක් අරගෙන කාල ෂේප් වෙන්න පුළුවන් වුණාට පුංචි බබාලට එහෙම බැහැනේ. මොන දේ උනත් එයාගේ කෑම වේල් ටික නොවරදවා ඩේ කෙයාර් එකට හදල යවන්න ඕන. ඒ නිසා හැම දේම කලින් ලෑස්ති කරල තියාගන්න එක උදේට හුඟක් ලේසියි. කලින් කිව්ව වගේ සතියටම අවශ්‍ය රෙදි ලෑස්ති කරන එක ඉරිද දවසට තියාගන්න. එතකොට දිනපතා ඒ කරදරෙන් නිදහස්. ඊළඟට ඉතුරු වෙන්නේ කෑම කරදරය විතරයි. පහුවදා උදේට හදන්න ඕන කෑම වලට අවශ්‍ය හැමදේම කලින් දවසෙ ලෑස්ති කරලා ෆ්‍රිජ් එකට දාල තියන්න. එළවළු කපලා, පොල්කිරි මිරිකලා වගේ ලෑස්ති කරන්න ඕන හැමදේම. එතකොට උදේට පුංචි වෙලාවකින් ඔක්කොම කෑම හදාගන්න පුළුවන්.
3. බබා එක්ක වැඩිපුර කාලය
බබාව ඩේ කෙයාර් එකකට දානවා කියන්නේ පුංචි බබාට උදේ වරුවේදී අම්මවයි තාත්තවයි ටිකක් මිස් වෙනවා කියන එකයි. ඒ ගැන ලොකුවට හිතින් වද වෙන්න එපා. බබාලා හරිම ඉක්මනට එයාගෙ අවට ඉන්න එයාට ආදරේ කරන අයත් එක්ක ඉන්න පුරුදු වෙනවා. ඩේ කෙයාර් එකේ බලාගන්න ඉන්න ආන්ටිලා එක්කත් එහෙමයි. ඒත් අම්මයි තාත්තයි එක්ක බබාට විශේෂ බැඳීමක් තියෙන්න ඕන නිසා හවසට බබාව ඩේ කෙයාර් එකෙන් ගත්තට පස්සේ බබා නින්දට යනකම්ම එයත් එක්ක වැඩි වෙලාවක් කාලය ගත කරන්න. සෙල්ලම් කරන්න. එතකොට උදේ වරුවේ අම්මයි තාත්තයි නැති අඩුව බබාට ගොඩක් දැනෙන්නෙ නැහැ.
4. බබාට sleep training
පුංචි බබාල ඉන්න අම්මලාට තාත්තලාට වැඩිපුරම මඟහැරෙන දෙයක් තමයි නින්ද. ඉතින් බබා එක්ක රෑ තිස්සේ නිදි මරල, පාන්දරින් නැගිටලා ලෑස්ති වෙලා ගිහින් රැකියාවක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. ඒක ශරීර සෞඛ්‍යයටත් ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා සුදුසු වයසට ආපු ගමන් බබාව sleep train කරන්න. ඒ කියන්නේ කිරි උරන්නේ හෝ නලවන්නේ නැතුව තනියම නිදාගන්න බබාට හුරු කරන එක. ඒ ගැන වැඩිදුර විස්තර අපි ඉදිරියේදී වෙනම ලිපියකින් කතා කරන්නම්.
5. පහසු ප්‍රවාහන මාධ්‍යයක්
බබාව ඩේ කෙයාර් එකට දාන්නත්, ගන්නත්, දෙමව්පියන්ට රැකියාවට යන්නත් පහසු සහ සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් හොයාගන්න එක තමයි ඊලඟ වැඩේ. දැන් මේ පවතින වසංගත රෝගයත් එක්කනම් කොහොමත් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න බැහැ. ඒ නැතත් හරියට වෙලාවක් කලාවක් නැති පොදු ප්‍රවාහන සේවාවල බබෙකුත් එක්ක යන එක එපාම කරපු වැඩක්. ඒ නිසා ස්ථිර ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්න. තමන්ගෙම වාහනයක් නැත්නම් හොඳ ස්ථිර ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් එකක් හොයාගන්න. මොකද දිනපතා එක එක ටැක්සි වල යන එකත් අවදානම් වගේම හරිම කරදරයි.
6. පණිවිඩ පොතක්
උදේට තියෙන ඔක්කොම රාජකාරි ඉවරකරල බබාව ඩේ කෙයාර් එකට බාරදීල වෙලාවට රැකියාවට යාගන්න එකත් එක්තරා අභියෝගයක්නෙ. ඒ අස්සේ බබා ගැන කියන්න තියෙන පණිවිඩ, ඒ කියන්නෙ බබාට දෙන්න ඕන බෙහෙත් වර්ග, දෙන්න ඕන වෙලාවල්, කලින් දවසේ බබා වැටුනනම් හෝ ඔළුව වැදුනනම් නාවන්න එපා කියන එක වගේ පණිවිඩ ඩේ කෙයාර් එකට කිය කිය ඉන්න තව වෙලාවක් ගන්න එක හරිම අමාරුයි. ඒකට හොඳම විසඳුම තමයි මේ පණිවිඩ පොත. පොඩි තනිරූල් පොතක් අරගෙන පණිවිඩ පොත විදිහට වෙන් කරලා තියාගන්න. බබා ගැන තියෙන හැම පණිවිඩයක්ම කලින් දවසේ රෑ නිදහසේ මේ පොතේ ලියලා බබාගේ බඩු දාන බෑග් එකටම දාල තියන්න.
7. අනවශ්‍ය වදවීම් එපා
බබාව ඩේ කෙයාර් එකක දාලා ගිහින් රැකියාවක් කරන්න හිතහදාගන්න දෙමව්පියන්ට ටිකක් අමාරුයි තමයි. ඒත් මුලදී හොඳට හොයල බලල හොඳ ඩේ කෙයාර් එකකට දැම්මොතින් බබාට යහපතක් මිසක් අවැඩක් නම් වෙන්නෙ නැහැ. බබා ස්වාධීනව වැඩ කරන්න ඉගෙන ගන්නව වගේම කාලසටහනකට වැඩ කරන්න, අනික් අයත් එක්ක සුහදව ජීවත් වෙන්න වගේ ගොඩක් දේවල් මේ පරිසරයෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා අනවශ්‍ය විදිහට රැකියාවට ගිය වෙලාවේ ඉඳලා ඩේ කෙයාර් එකේ ඉන්න බබා ගැන හිතන්න, එතනට කෝල් කර කර විස්තර අහන්න, CCTV පරීක්ෂා කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ හිතට අනවශ්‍ය කරදරයක් ඇතුල් වෙන එකයි.
Leave a Reply