ළමා විවාහයෙන් පීඩා විඳින මලාවි දරුවෝ

මලාවියේ 42%ක් යුවතියෝ අවුරුදු 18ට පෙර විවාපත් වෙති. එයිනුත් ගැහැණු දරුවන් 10න් එකක් විවාපත් වන්නේ ඔවුන්ගේ වයස 15ක් වන්නටද මත්තෙනි. මලාවියේ පිරිමි ළමෝද 7%ක් සිය 18වැනි උපන්දිනයට පළමුව විවාහයට පත් වෙති. මේ අනුව මලාවිය ළමා විවාහ අතර මුල් තැන සිටින රටක් බවට පත්ව තිබේ. මේ ළමා විවාහ තත්ත්වයන් මලාවියේ ගෝත්‍රික කණ්ඩායම් අතර වැඩිය. එයිනුත් දකුණු මලාවි ප්‍රදේශ වල ළමා විවාහ වැඩි බව ලෝක බැංකුව සහ අදාළ අංශ වාර්තා කර තිබේ.

 

1. දුප්පත්කම

මලාවි රට නිදහස් වන්නේ 1964 වර්ෂයේදීය. එහෙත් මේ දක්වා කාලාන්තරයක් පුරා එරට පාලනය කළ දුර්දාන්ත පාලකයින් මලාවි රට සංවර්ධනය කළේ නැත. එම නිසා එම රටෙන් වැඩි පිරිසක් තවමත් සිටින්නේ අන්ත දුප්පත් තත්ත්වයේය. සිය පවුලේ බර අඩු කරගැනීම සඳහා මලාවි පවුල්වල ගෑණු දරුවෝ කලින් විවාහයට පත් කිරීමට එරට දුප්පත් පවුල්වල අය පෙළඹෙති. ඇතැම් අවස්ථාවල ගැහැණු දරුවන් සිය ණය තුරුස් පියවාගැනීමට පාවා දෙති. එසේම මුදල් සහ කෑම ලැබේ නම් ටිකක් ධනය තිබෙන කා සමග හෝ ලිංගිකව හැසිරීමට දරුවන් දිරිමත් කරන පසුගාමී තත්ත්වයක්ද මලාවි දුප්පතුන් අතර තිබේ.

 

2. ගෝත්‍රික ගතිසිරිත්

2014 වර්ෂයේ බීබීසී වාර්තාවකින් කියවුණු පරිදි මලාවියේ උතුරු පළාතේ ගැහැණු දරුවන් වැඩිවිය පැමිනුණු පසු ඔවුන්ට වැඩිහිටි පිරිමියෙකු සමග ලිංගික හැසිරීමට බල කෙරේ. එයින් ගෘහ ජීවිතයේදී පුරුෂයා සතුටු කිරීමට ගැහැණු දරුවා හුරුකිරීම අපේක්ෂා කෙරේ. එසේම කපුවන් වැනි අතරමැදි තැරැව්කාරයින් මගින් දරුවන් විවාපත් කිරීමට උත්සාහ ගනිති. නූතන සමාජයෙන් දුරස් වූ එවැනි ගෝත්‍රික ගතිසිරිත් තුළින් ඔවුන්ට වාසනාව උදා වේ යැයි ඔවුහු විශ්වාස කරති.

 

3. ළමා මාතෲ තත්ත්වයන්

එරටේ කුඩා දරුවන් ලිංගිකව හැසිරීම දිරිමත් කරවන සම්ප්‍රදායයන් නිසා කුඩා කලදීම දරුවන් මව්වරු බවට පත් වෙති. 2017 පළවූ වාර්තාවක් අනුව කියවෙන්නේ එරට ළමා විවාහ වලින් රැසක් මේ ළමා ගර්භණී තත්ත්වය නිසා ඇතිවන බවයි. එරට සංස්කෘතික මතිමතාන්තර අනුව විවාපත් නොවී දරුවන් වැදීම නරක දෙයක් බවට සැළකෙන අතර, ඒ නිසාම දරුවන් ගර්භණී වූ විට විවාහ කර දීමට දෙමාපියන් කටයුතු කරති. ගෝත්‍රික විශ්වාස පරිදි විවාහ නොවී ගර්භණී වන ගැහැණු අය ආබාධිත අය ලෙස සමාජය විසින් සළකනු ලැබේ.

 

4. අධ්‍යාපනය සහ නීතිමය තත්ත්වයන්

නීතිය අනුව ළමා විවාහ තහනම් වුවත් බොහෝ ගැහැණු දරුවන්ට සහ ජනතාවට නීති ගැන වැඩි දැනුමක්, තැකීමක් නැත. එසේම මලාවිය අධ්‍යාපනය අතින් පහළම අඩියක තිබෙන රටකි. ඒ නිසාම එරට ගැහැණු ළමුන්ට සහ පිරිමි ළමුන්ට දැනුම ලබාගැනීමට අපහසුය. රැකියා සොයාගන්නටද අපහසුය. එවිට ජීවිතයේ ඇති එකම රාජකාරිය ලෙස විවාපත් වීම ඔවුන් සිදුකරති.

 

5. බෝඩින් පහසුකම්

එරට පාසැල් ආදිය පිහිටා ඇති නගරබද කලාපවලට දරුවන් අධ්‍යාපනය සඳහා පිවිසෙති. එහෙත් ඒ නගරබද පාසැල් වල නේවාසික පහසුකම් අඩුය. එම නිසා දරුවන් නවාතැන් ගන්නේ බෝඩිම් නිවෙස්වලය. එසේ නැවතෙන නිවෙස්වල වැසියෝ ඒ දරුවන්ට මගුල් තුලා ජෝඩු කිරීමෙන් වෙනමම ආදායමක් ඉපයීමද එරට ජනප්‍රිය වී තිබේ. එම නිසා දරුවන් නිසි කලට ප්‍රථම විවාහ පත් වෙන බව නිරීක්ෂණය කර තිබේ.

 

6. ගැහැණුන්ට ලැබෙන අඩු තැන

එරට දරුවකු බිහිවීමේදී ගැහැණු දරුවන්ම කිහිප දෙනෙකු බිහිකරන මවක් කාලකණ්ණි මවක ලෙස සළකනු ලැබේ. ඒ අනුව එවැනි පවුල් වල සැමියන්ගේ පාර්ශවය කසාදය කටු ගා දික්කසාදය ඉල්ලන තත්ත්වයට පැමිණ තිබේ. එසේම කාන්තාවන්ට අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ලැබීම ආදියේදිත් කුඩම්මාගේ සැලකිලි ලැබේ. ගැහැණු දරුවන් වැඩිපුර සිටින පවුල්වලට සමාජ මට්ටමෙන්ද ලැබෙන්නේ පහත් තැනකි. ඒ අනුව කාන්තාවන්ට ලැබෙන අඩු තැන නිසාම ගැහැණු දරුවන්ගෙන් නිදහස් වීමට දෙමාපියන් ඉක්මනින්ම පෙළඹෙති.

 

7. ළමා විවාහ නැති කිරීම

ළමා විවාහ තත්ත්වය මලාවි වැනි අප්‍රිකා රටවලට අලුත් දෙයක් නොවේ. එය ඔවුන් කලක පටන් පවත්වාගෙන එන සංස්කෘතික අංග වලම තවත් එක කොටසක් ලෙස ඔවුන් පවත්වාගෙන යති. නූතන ලෝකයට අදාළ අධ්‍යාපනය, රැකියා අවස්ථා සහ දැනුම මලාවියේ ගම්මාන කරා නොයෑම මෙම තත්ත්වය වැඩි දියුණු වීමට හේතු වී තිබේ. මලාවියේ මේ ළමා විවාහ අඩු කිරීමට මැදිහත් වන රාජ්‍ය නොවන සංවිධාන රැසකි. එහෙත් එහි ජීවන රටාව වෙනස් වන්නේ සෙමෙනි.

 

රටක සංස්කෘතික, සමාජයීය පසුබිම තුළ හොඳ දේවල් මෙන්ම නරක දේවල්ද තිබේ. ලංකාවේද යටත්විජිත සමයේ ලියූ පොත් පත් වල එකල තිබූ සමාජයේ කාන්තාවට සහ ළමයින්ට තිබුණ තැන ගැන සඳහන් වන්නේ එතරම්ම සුබදායී මතිමතාන්තර නොවේ. එහෙත් කාලය සමග ලෝකය සමග පෑහෙන්නට ගිය තැන අපේ සංස්කෘතික වටපිටාවේ හරයන්ද අපි විසින් යාවත්කාලීන කරගෙන තිබේ. මලාවි වැනි රටවලටද අධ්‍යාපනය ගමට ගියානම් ඉන් පසු මලාවියේද “අපේ සංස්කෘතිය ” ලෙස ඔවුන් හඳුන්වා ගන්නා ගෝත්‍රික සිරිත් විරිත් කාලයට අනුව යාවත්කාලීන වනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *