ෂර්ලොක් හෝම්ස් වගේ රහස් පරීක්ෂකයෙක් වෙන්න කැමතිද? එහෙමනම් මෙන්න මේ දක්ෂතා තමයි හදාගන්න ඕනෑ!

ෂර්ලොක් හෝම්ස්ව නොදන්න කෙනෙක් ඉන්න බෑනෙ ඉතින්. එතකොට ෂර්ලොක් හෝම්ස්ට තිබුණු අතිශයින්ම තියුණු රහස් පරීක්ෂක හැකියාවන් ගැනත් නොදැන ඉන්න විදියක් නෑ. ෂර්ලොක්ගේ හැකියාවන් මෙහෙම තමයි. ඔන්න මනුස්සයෙක් ඉස්සරහට එනවා. ෂර්ලොක් ඒ මනුස්සයගේ වළලුකර දෙකේ සමානව තියෙන ලකුණු නිරීක්ෂණය කරලා කියනවා මේ මනුස්සයා පොල් කඩන කෙනෙක් කියලා. එහෙම නැතිනම් එයාගේ පර්ෆියුම් සුවඳ ආඝ්‍රාණය කරලා, ඇඳුම් දිහා බලලා කියනවා මෙයා ඉස්සර හොඳට සල්ලි තිබුණු, ඒත් මෑතකදී සල්ලි නැතිකරගත්තු කෙනෙක් කියලා. මාරයි නේ?

ඇත්තටම කිවුවොත් අපිට වුනත් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා කෙනෙක් අහයි. ඕන නම් ප්‍රයිවට් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් වෙන්නත් පුළුවන්, සයිඩ් බිස්නස් එකක් විදියට. එහෙම නැති වුණත්, අපිට එදිනෙදා ජීවිතේදී අපිට මුණගැහෙන මිනිස්සු, අපි යන එන තැන් ගැන වඩාත් අවධානයෙන් ඉඳලා, වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙන එකම ලොකු ප්‍රයෝජනයක් නෙවෙයිද? උදාහරණයක් විදියට අපිට අපේ ඩිටෙක්ටිව් ස්කිල්ස් හදාගන්න පුළුවන් නම්, කෙනෙක් අපිට ඇත්ත කියනවද බොරු කියනවද කියන එක පවා හොයාගන්න පුළුවන් වෙයි!

ආන්න ඒ නිසා තමයි අපි රහස් පරීක්ෂක හැකියාවන් දියුණු කරගන්න පොඩි ටිප්ස් ටිකක් දෙන්න හිතුවේ!

 

1. ලෝකෙ දිහා හරියට බලමු!

නිරීක්ෂණය කියන එක ඇත්තටම අපි ගොඩක් දෙනෙක් හරියට නොකරන දෙයක්. අපි කීයෙන් කී දෙනාද අපේ වටාපිටාව ගැන, වටාපිටාවේ තියෙන සියුම් දේවල් ගැන අවධානය යොමු කරන්නේ? ආන්න ඒ නිසා ආරම්භයක් විදියට මේක හොඳ ව්‍යායාමයක්. වෙනදා වගේ දේවල් දඩිබිඩියේ කරලා දුවන්න හදනවා වෙනුවට, පොඩ්ඩක් කාලය අරගෙන අපි අවට තියෙන හැම දේම දිහා හරියට සැලකිල්ලෙන්, අවධානයෙන් බලන්න පටන් ගමු. විශේෂයෙන්ම අපි අවට, අපිට මුණගැහෙන මිනිස්සු සම්බන්ධයෙන් පුංචි පුංචි දේවල් ගැන අවධානය යොමු කරමු. මේක දිගටම කරනකොට අපිට වෙනදා නොදකින විවිධ දේවල් නෝටිස් වෙන්න පටන් ගනී. හැබැයි මේකත් එක්ක ඉවසිල්ලත් ප්‍රගුණ වෙයි දන්නෙම නැතුව. 

 

2. නෝට්ස් ගමු

අපි පොඩි ඩිටෙක්ටිව් නෝට්පොතක් තියාගමුද? ඒ කියන්නේ සාක්කුවේ හරි බෑග් එකේ හරි පහසුවෙන් දාගෙන යන්න පුළුවන් නෝට් පොතක් ගමු. දැන් ඒ නෝට් පොතේ අපි ලියන්නේ ලෝකය ගැන හරි මිනිස්සු ගැන හරි අපි කරන නිරීක්ෂණ. මේක හොඳ ක්‍රමයක් හොඳ ඒකාග්‍රතාවයක් තියාගෙන දේවල් නිරීක්ෂණය කරන්න. විශේෂයෙන්ම අපි දේවල් මේ විදියට ලියනකොට, අපිට වඩාත් හොඳට වඩා සියුම් තොරතුරු ගැන අවධානය යොමු කරන්නත් පුළුවන් වෙයි. උදාහරණයක් විදියට අපි කෙනෙක්ව නිරීක්ෂණය කරනකොට, එයා කොයි තරම් වාර ගාණක් වතුර බොනවද, එයා කොයි තරම් කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්නවද වගේ තොරතුරු වුනත් හරියට නෝට් පොතක රෙකෝඩ් කළොත්, ඒකෙන් ඒ කෙනා ගැන ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් වෙයි.

 

3. කලබලයිද? එහෙනං කලබලේ අඩු කරගන්න වෙනවා

ඇත්තටම අද කාලේ ඉන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කඩිමුඩිය, කලබලය. ගොඩක් දෙනෙක් කන්නෙත් ක්ෂණික කෑම, ජීවත් වෙන්නෙත් ක්ෂණික නූඩ්ල්ස් වගේ. කොයි වෙලේත් කලබලේ. නිස්කලංකව, නිසංසලේ ඉන්න පුළුවන් කමක් නෑ. පෝලිමක හිටගෙන ඉන්නවත් ඉවසිල්ලක් නෑ. ඉතින් ආන්න ඒ වගේ කෙනෙක්ට ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්නත් බෑ!

ඒකට මොකද කරන්නේ? කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්න විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතේ හොඳ ඒකාග්‍රතාවයකින් ගත කරන්නත් මේ ඉවසිලිවන්ත කම, සං‍යමය සහ ශාන්ත බව වැදගත්. ඒකට ඉතින් පහසුම ක්‍රමයක් තමයි දවසකට පොඩි වෙලාවක් හෝ භාවනා කරන්න ගත කරන එක. මෙහෙම භාවනාවක් ප්‍රගුණ කරන එකෙන් අපිට ක්‍රම ක්‍රමයෙන් දේවල් දිහා සං‍යමයෙන් බලන්න හැකියාව වර්ධනය කරගන්න පුළුවන් වෙයි.

 

4. ක්‍රිටිකල් තින්කින්

අපි ක්‍රිටිකල් තින්කින්ග් ගැන මීට කලින් කියලා තියෙනවා. අපි එතකොටත් කිව්වා වගේ ක්‍රිටිකල් තින්කින්ග් කියන්නේ පැහැදිලිව සහ තර්කානුකූලව හිතන්න මතන්න පුළුවන් හැකියාව, දේවල් අතර තාර්කික සම්බන්ධතා අවබෝධ කරගන්න පුළුවන් හැකියාව එහෙම තමයි. දැන් එතකොට තේරෙන්න ඕන, රහස් පරීක්ෂක කුසලතා දියුණු කරගන්නත් මේ ක්‍රිටිකල් තින්කින්ග් හැකියාව අත්‍යාවශ්‍යයි කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි නිරීක්ෂණයෙන් එක්රැස් කරගන්න තොරතුරු හරියට විශ්ලේෂණය කරගන්නත්, විශ්ලේෂණය කරලා තාර්කික නිගමනයන්ට එන්නත්, මේ ක්‍රිටිකල් තින්කින්ග් කියන එක වැදගත් වෙනවා. ඉතින් ක්‍රිටිකල් තින්කින් හැකියාවන් සංවර්ධනය කරගන්න කරන්න ඕන දේවල් ගැනත් අපි කලින්ම කියලා තියෙනවා.

 

5. ඩිඩක්ෂන්

ඩිඩක්ෂන් නැතිනම් අපෝහනය කියන්නේ විය නොහැකි දේවල් තාර්කිකව ඉවත් කරලා, වෙන්න පුළුවන් දේ හොයාගැනීම. ඒ කියන්නේ තාර්කික නිගමනයකට පැමිණීම. එතකොට බොහෝ විට ඒ තාර්කික නිගමනය තමයි හරි දේ, එහෙම නැතිනම් වෙලා තියෙන දේ. ඔය ෂර්ලොක් හෝම්ස්ගේ තිබුණු හොඳම හැකියාවක් තමයි මේක.

උදාහරණයක් ගමු. රෑ වැස්සෙන් තෙත් වෙලා තියෙන ගහක අත්තක ලේ තැවරුණු ලේන්සුවක් රැඳිලා තියෙනවා. හැබැයි ලේන්සුව එහෙමට තෙත් වෙලා නෑ. දැන් ලේන්සුව එහෙමට තෙත් වෙලා නෑ කියන එක හොයාගන්නේ අපේ නිරීක්ෂණ හැකියාවෙන්. ඊට පස්සේ අපෝහන හැකියාවෙන් අපිට තර්කානුකූල නිගමනයකට එන්න පුළුවන්, මේ ලේන්සුව මෙතනට ආවේ පාන්දර ජාමයේ කියලා. ඒ කියන්නේ වැස්සෙන් පස්සේ. මොකද ඊට කලින් ලේන්සුව මෙතන තිබුණා නම් ලේන්සුවත් තෙමිලා බත් වෙලා තියෙන්න ඕනනේ!

 

6. දකින දේ වල තේරුම් අවබෝධ කරගමු

දැන් අපි කිව්වනේ හොඳ ෂර්ලොක් හෝල්ම්ස්ගේ පාරේ යන ඩිටෙක්ටිව් ස්කිල්ස් හදාගන්න වුවමනා කෙනෙක්ට නිරීක්ෂණය කොයි තරම් වැදගත්ද කියලා. ආන්න ඒ වගේම තමයි ඔය නිරීක්ෂණයෙන් හොයාගන්න සියුම් තොරතුරු විශ්ලේෂණය කරලා, ඒවා දැනුමට සම්බන්ධ කරගන්න පාට් එකත්. උඩින් කියපු ඩිඩක්ෂන් සහ ක්‍රිටිකල් තින්කින් කියන දෙකත්, පහළින් කියලා තියෙන දැනුම එකතු කරගැනීම කියන එකත් සම්බන්ධ වෙන්නේ එතනට තමයි.

දැන් මේ දැනුම එක්ක අපිට දකින දේවල් වල අර්ථය අවබෝධ කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට කිවුවොත්, අපිට වෛද්‍ය විද්‍යාව ගැන මූලික දැනුමක් තියෙනවා නම්, අපිට කෙනෙක්ගේ චර්යාවන් නිරීක්ෂණය කරලා එයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දළ නිගමනයකට එන්න පුළුවන්! 

 

7. දැනුමත් ඕන

උඩින් කියපු විදියට අපි නිරීක්ෂණය කරන දේවල් විශ්ලේෂණය කරන්න සහ අපෝහනය කරන්න දැනුම අත්‍යවශ්‍යයි. හැබැයි සරලවම කිවුවොත් මේ දැනුම කියන එක එක් තැනකට හෝ එක විෂයකට සීමා වෙලා හරියන්නෙ නෑ. හැබැයි හැමදේම ටික ටික ඉගෙන ගෙන හරියන්නෙත් නෑ. උදාහරණයක් විදියට කිවුවොත්, අපිට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජනසන්නිවේදනය වගේ මොකක් හරි විෂයක් ගැන හසල දැනුමක් තියෙන්න පුළුවන්. එහෙම හසල දැනුමක්, ප්‍රවීණතාවක් තියෙන එක විෂයක් හෝ දෙකක් අපි හොයාගෙන, වර්ධනය කරගන්නම ඕන. ඒවත් මේ ඩිටෙක්ටිව් ස්කිල්ස් වලට ප්‍රයෝජනවත් වෙයි.

හැබැයි ඒ වගේම ලෝකේ අනික් දේවල් ගැනත් සාමාන්‍ය දැනුමක් හෝ තියෙන්නත් ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, ඔය මූලික ලතින් පාඨ එහෙම ඉගෙනගෙන හිටියොත්, කවුරු හරි හොරෙක් ගෙයක් කොල්ල කාලා බිත්තියේ ලියලා යන ලතින් පාඨයක තේරුම පටස් ගාලා හොයාගෙන, ඒ පිහිටෙන් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්. ඒක ඇත්තටම අපි විහිළුවට කිව්වේ. හැබැයි අමතක කරන්න එපා, ෂර්ලොක් හෝම්ස්ට පුළුවන් සිගරට් අළු වලින් සිගරට් වර්ගේ කියන්න. අන්න ඒ වගේ හැමදෙයක් ගැනම කියවලා, නරඹලා, අහලා දැනුම ලබාගන්න එකත් ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්න වටිනවා!

 

8. පීපල්ස් ස්කිල්ස් එහෙමත් ඕන

ඇත්තටම හොඳ ඩිටෙක්ටිව් ස්කිල්ස් කියන්නේ දෙයක් නිරීක්ෂණය කරලා, ඊට පස්සේ හාන්සි පුටුවක වාඩි වෙලා ඒ ගැන නිගමනය කරන එක නෙවෙයි. ඊට වඩා ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්න නම් ගිහින් මිනිස්සුන්ව හම්බුවෙන්න ඕන. මිනිස්සු එක්ක කතා කරන්න ඕන. එහෙම කතා කරනකොට අපිට දැනගන්න අවශ්‍ය කාරණා මිනිස්සුන්ගෙන් එලියට ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට කතාවේ දක්ෂයෙක් වෙන්න ඕන. ඒ වගේම ඉවසිල්ලෙන් සවන් දෙන්න පුළුවන් වෙන්නත් ඕන.

 

දැන් ඊලඟට කරන්න් තියෙන්නේ විසඳන්න ගැටළු හොයාගන්න එක. ඒක නං ඉතින් ලොකු අමාරුවක් වෙන්නෙ නෑ. එක්කො ගම වටේ රවුමක් ගැහුවනං මොකක්ම හරි ප්‍රශ්නයක් හොයාගන්න පුළුවන්. එහෙම නැතිනම් ෆේස්බුක් එක වටේ රවුමක් ගැහුවත් හරි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *