ලංකාවේ ටිකෙන් ටික ජනප්‍රිය වෙන නිල්කටරොළු වගාව ගැන තතු

මේ වෙනකොට මේක ලංකාවෙ ඉහළ වාණිජ වගාවක් වගේම ජනප්‍රිය වගාවක් වෙලා. මේකෙ ඖෂධීය ගුණ නම් කියලා නිම කරන්න බෑ. නිල්කටරොළු ශාකයේ පංචාංගයම ඒ කියන්නෙ මුල්, පොතු, කොළ, මල්, බීජ සියල්ලම සෑහෙන්න වටින ගුණයකින් යුක්තයි. Fabaceae කුලයට අයත් මේ නිල්කටරොළු ශාකය ඉන්දියාවෙ නම් ඉහළ වටිනාකමක් ලැබෙන ශාකයක්. මොකද ඒකෙ තියන ඖෂධීය ගුණය හා පූජනීයත්වයෙන් සලකනු ලැබීම නිසා. මෙන්න මේ වටින වගාව ගැන තමයි අද කතාකරන්නෙ. 

 

1. මොකද්ද මේ නිල්කටරොළු මල? 

නිල්කටරොළු එහෙමත් නැතිනම් Clitoria Ternatea යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ මල සාමාන්‍යයෙන් වැල් එක ගොඩේ පඳුරු වගේ වැවිලා තියනවා දකින්න පුළුවන්. බුදුන්ට පූජා කරන්න තමා ගොඩක් අය මේ මල වවන්නෙ. කටරොළු කුලයෙ නිල්කටරොළු, සුදු කටරොළු, දම්කටරොළු වගේ ප්‍රබේද කිහිපයක් තියෙනවා. නමුත් ඉහළ වාණිජ වටිනාකමක් තියෙන්නෙ නිල්කටරොළු මලට තමයි. 

 

2. වාණිජ වටිනාකම මොකක්ද? වෙළඳපොල කෙසේද?

ලංකාවෙ විතරක් නෙමෙයි තායිලන්තය, පිලිපීනය වගේ රටවල් පවා දැන් මේ වගාවට යොමු වෙලා තියනවා. වේලන ලද නිල්කටරොළු මල් පැකට් දැන් අලි එක්ස්ප්‍රස්, ඊබේ වගේ ඔන්ලයින් මාකට් වල විකුණන්න තියන තරම් ජනප්‍රිය වෙලා. මේ වෙනකොට ලංකාවෙන් අපනයන කරන්න පුළුවන් අපනයන වගාවක්  විදියට මේක හඳුන්වන්න පුළුවන්. නිල්කටරොළු තේ විදෙස් රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ නිසා කුඩුකරන ලද මල් තේ පැකට් වලට සහ වේලන ලද මල් වලට මේ වෙනකොට හොඳ වෙළඳපොලක් නිර්මාණය වෙලා තියනවා. වේලන ලද මල් කිලෝ 1ක් රු. 3500-5000ක් දක්වා මිලකට අලවි කරන්න පුළුවන්. ෆ්‍රෙශ් මල් කිලෝ 1ක් රු 250-300 කට වගේ දෙන්න පුළුවන්. 

 

3. නිල්කටරොළු වල ගුණ

නිල්කටරොළු කියන්නෙ ආයුර්වේදයේ ගොඩක් ලෙඩ වලට භාවිතා කරන දිව්‍ය ඖෂධයක්. සෙම් රෝග, ඇදුම, පීනස, ශරීරයේ විස නැසීමට, ආමාශගත රෝග, අර්ශස් රෝගය, අධි රුධිර පීඩනයට, හිසේ කැක්කුම් වලට වගේම නිල්කටරොළු ශාකයේ පොතු හා මුල් ශරීරයේ දද කුෂ්ඨ රෝග වලටත් බෙහෙවින් ගුණදායකයි. ඒ වගේම සම පැහැපත් වෙන්න, ශරීරය සිසිල් කරවන්නත් ගොඩක් ප්‍රයෝජනවත්. 

 

4. වගාව සකස් කිරීම ගැන කෙටියෙන්

නිල්කටරොළු වගා බිම සකස් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. වැලි සහිත පස් හා කොම්පෝස්ට් 1:1 අනුපාතෙට මිශ්‍ර කරලා වගාබිමට යොදන්න. මේක පොකුරු වශයෙන් හැදෙන ශාකයක්. ඒ නිසා පරතරයක් ඇතුව තමයි හිටවන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩි 6ක වගේ වට පරතරයක් ඇතුව බිමක මේක හිටවන්න. ඒ විදියට හිටෙව්වම පර්චස් එකක පැළ 9ක් වගේ ඉන්දගන්න පුළුවන්. දිනපතා වතුර දාලා පැල පඳුරු වගේ හැදෙනකොට එන මල් ගාණ වැඩිවෙනවා. සාමාන්‍යයෙන් දවසකට එක පඳුරකින් මල් 50ක් කඩාගන්න මට්ටමකට හදාගන්න ඕන. බීජය පැළයක් වෙන්න දවස් 5ක් වගේ යනවා. හැමදාම වතුර දාලා පස තෙතට තියන්න. 

ශාකය ලොකු උනාම හොඳට හිරු එළිය වැටෙන්න ඕනෙ මල් එන්න. ඒ වගේම පඳුර රඳා පවතින්න ඉනි තියලා හෝ ලණු ඇදලා මැස්සක් වගේ සකස් කරගන්න ඕනේ. පැල සාමාන්‍ය උසකට හැදීගෙන එනකොට වියළි ගොම පොහොර දාන්න.  වගාවට එන කූඹි හා අනික් පොඩි සත්තු පලවා හරින්න ස්වභාවික දියරයක් හදලා  ස්ප්‍රේ කරන්න. අමු ඉඟුරු, සුදුළූණු පොතු, බුලත් කොළ, රතුළූණු කොළ, පිසින ලද බත් හැඳි එකක් දාලා බ්ලෙන්ඩ් කරලා, වාතයට නිරාවරණය වෙන්න නොදී හොඳට වහල දවස් 3ක් පල් කරලා, උදේ වරුවෙ මේ පැළ වලට ස්ප්‍රේ කළාම කොළ කොඩ වීමත්, කලින් කිව්ව වගේ සත්තු එන එකත් වළක්වගන්න පුළුවන්. 

 

5. බීජ ලබාගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් නිල්කටරොළු මල් පඳුරෙම වේලෙන්න තියලා ඒකෙන් හැදෙන කරල් පලලා තවත් හොඳට අව්වෙ වේලලා තමයි බීජ ගන්නෙ. මේ බීජ හිටවන්න කලින් රැයක් කාමර උෂ්ණත්වයේ පෙඟෙන්න දාලා කලින් කිව්ව පරතරය ඇතුව ඉන්දවන්න. වෙනම තවාන් කරල පැළ අරගෙනත් හිටවන්න පුළුවන්. කෙලින්ම ක්ෂේත්‍රයේ හිටවන්නත් පුළුවන්.

 

6. නිල්කටරොළු මල් වේලන ක්‍රම

නිල්කටරොළු මල් වේලන්න ක්‍රම කිහිපයක් තියනවා. සාමාන්‍යයෙන් ගෙදර මේක පොඩියට පටන් ගන්න කෙනෙක්ට නම් උදේ 11ට කලින් මල් කඩලා, පරවුන මල් අයින් කරලා සෝදලා තද අව්වෙ පැයක් වගේ වේලෙන්න දාන්න පුළුවන්. ඊට පස්සෙ  අපි මේක සැර අව්වෙ දාන්නෙ නෑ, මද පවනෙ තමා වේලන්න ඕනේ. දවස් 4-5ක් මෙහෙම මද පවනෙ වේලලා අල්ලනකොට සර සර ගාන සද්දෙ එනකල් වේලන්න ඕනේ. මෙහෙම වේලනකොට මලේ වතුර සියල්ලම ඉවත් වෙන්න වේලගන්න ඕන. වතුර ඇතුළෙ ඉතිරි උනොත් මල් පුස්කන්න බලනවා. ටිෂූ එකකට මල් ටික ඔතලා උඩින් බරක් තියලා බලන්න වතුර උණනවද කියලා. එහෙම නැතිනම් ගාණට වේළිලා. වැස්ස දවස් වල මල් වේළන්න, කඩන්න එපා. මොකද මල් ඇතුළ පුස් අල්ලන්න ඉඩ තියෙනවා. හැමවෙලේම නෙට් එකක් උඩ දාලා එකකට එකක් නොගෑවෙන්න වේළන්න. මේ විදියට පවනෙ වේළපු මල් බෝතලයක ගබඩා කරන්න කලින් බෝතලෙත් අව්වෙ ටිකක් තියලා ගන්න. 

මහ පරිමාණයෙන් කරනවා නම් මේ මල් වේලන්න හදපු විශේෂිත මැශින් තියනවා. මේකෙ ට්‍රේ වලට දාලා එකපාර වේළගන්නත් පුළුවන්. ඒත් මේ උඩින් කිව්ව ක්‍රමය තමා ගොඩක් අය අනුගමනය කරන්නෙ. 

 

7. නිල්කටරොළු වලින් හදන්න පුළුවන් දේවල්

පිලිපීනය, තායිලන්තය වගේ රටවල් මේ නිල්කටරොළු මල් තේ බොන්නෙ රෑ කෑමෙන් පස්සෙ පැණි හෝ දෙහි යුෂ දාලා. අපිට මේ මල් උණුවතුරට දාලා පානයක් හදලා බොන්න පුළුවන්. ඒ වගේම නිල්කටරොළු බත්, කේක්, ජෙලි, සරුවත්, පෑන්කේක් වගේම ස්වභාවික ආහාර වර්ණකයක් විදියට භාවිතා කරන්නත් පුළුවන්. නිල්කටරොළු වලින් හදන්න පුළුවන් කෑම ගැන අපි කලින් ලියපු ලිපියක් පහළින් තියෙනවා.  

 

නිල් කටරොළු මල් වලින් හදන්න පුළුවන් කෑම බීම වර්ග 7ක්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *