ඔටෝමන් අධිරාජ්‍යයේ වගතුග

කාලයක් ඔටෝමන් අධිරාජ්‍යය කියන්නේ මුළු මහත් ලෝකයටම බලපෑම් කළ හැකි මට්ටමේ ලෝක බලවතෙක් වෙලා හිටියා. උදාහරණයක් විදිහට ඔටෝමන් අධිරාජ්‍යය විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීම යුරෝපයේ වගේම සමස්ත ලෝකයේම ඉදිරි ගමන තීරණය කළා. කොහොම වුණත් පළවෙනි ලෝක යුද්ධය අවදිය වෙද්දී ඔටෝමන් අධිරාජ්‍යය දුර්වල වීමත් ජයග්‍රාහී මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවලට විරුද්ධව කටයුතු කිරීමත් නිසා අපේ රටේ ඉතිහාස පොත් වල  ඔටෝමන් අධිරාජ්‍යය පිළිබඳව වැඩිපුර කතාබහට ලක්වන්නේ නැහැ. මේ උත්සාහය ඔටෝමන් අධිරාජ්‍යය පිළිබඳව කෙටි සටහනක් ඔබ වෙත ගෙන  එන්න.

 

1. ඔස්මාන් ගෙන ඇරඹුණු ඔටෝමන් අධිරාජ්‍යය

මේ විශාල අධිරාජ්‍යයේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ ඔස්මාන් නම් සෙල්ජුක්වරයායි. ඇන්ටෝලියා අර්ධද්වීපයේ අතිශය කුඩා භූමි ප්‍රදේශයක පාලකයා වූ ඔහු සමකාලීන ඉතිහාසඥයන් විසින් අවධානය යොමු කළ යුතු මට්ටමේ වැදගත් රජ කෙනෙක් ලෙස සැලකුවේ නෑ. මේ නිසාම වර්තමාන විද්වතුන් ඔහු එංගලන්තයේ ආතර් රජුට සමාන මිත්‍යාවක් යයිද සැක පහළ කරනවා. කෙසේවෙතත් ඔටෝමන්වරු ඒ තම පූර්වජයා පිළිබඳව ගෞරවයෙන් සැලකූ අතර ඔස්මාන්ගේ කඩුව පැළඳීම සුල්තාන්වරයාගේ රාජාභිෂේකය ලෙස සලකනු ලැබුවා.

 

2. තුර්කිවරු නොවූ ඔටෝමන්වරු

අද වෙනකොට ලෝකය පුරාම ඔටෝමන් අධිරාජ්‍යය වෙනුවෙන් භාවිතා වන නම වෙන්නේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය කියන නම. නමුත් මේ ව්‍යවහාර නිවැරදි වන්නේ නැහැ. මොකද තුර්කිය කියන රාජ්‍යය බිහි වෙන්නේ ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පස්සේ. ඊට අමතරව ගත්තොත් එහෙම බොහෝ ඔටෝමන් සුල්තාන්වරුන්ගේ මවු පාර්ශ්වය යුරෝපා සම්භවයක් සහිත අය. බල්ගේරියාව වගේ ඔටෝමාන් අධිරාජ්‍යයට යටත් වූ ප්‍රදේශවලින් සුල්තාන්වරයාගේ අන්තඃපුරය වෙත ගෙන ආපු ක්‍රිස්තියානි කාන්තාවෝ එහිදී මුස්ලිම් ආගම වැළඳ ගත්තා. ඇතැම් අයගේ දරුවන් සුල්තාන්වරු බවට පත්වුණා.

 

3. විශිෂ්ටතම සුල්තාන්වරයා

ඔටෝමන් සුල්තාන්වරුන් අතරින් අවිවාදයෙන්ම විශිෂ්ටතමයා විදිහට සැලකෙන්නේ සුලෙයිමාන්. මේ නිසාම විශිෂ්ට සුලෙයිමාන් යන අපර නාමයකිනුත් ඔහුව හැඳින්වෙනවා. ඔහුගේ සමයේදී යුරෝපා මහද්වීපය තුළ ඔටෝමන් බලය උපරිම තත්ත්වයට පැමිණියා. හන්ගේරියාව යටත් කළ ඔහු වියානාව වට කරනු ලැබුවා. පසුව ඔහුට බැසීමට සිදු වුණා. කෙසේ වෙතත් තම පාලන කාලය තුළදී තාම අධිරාජ්‍ය සඳහා දැවැන්ත ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දීමට ඔහු කටයුතු කළා. බහුවාර්ගික බහුආගමික ජනතාවක් තම පාලනය යටතේ වෙසෙන බව හොඳින් දැන සිටි ඔහු කිතුණුවන් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවා.

 

4. ඔටෝමන් අධිරාජ්‍යය ලද දරුණුම පරාජය 

ඔටෝමන් ඉතිහාසය තුළ ලබපු අවමන් සහගතම පරාජය විදිහට සැලකෙන්නේ නැපෝලියන් බොනපාට් සමඟ සිදු වූ සටනක්. ඒ කාලයේදී ඊජිප්තුව පැවතියේ ඔටෝමන් අධිරාජ්‍යය යටතේයි. බ්‍රිතාන්‍යයේ පෙරදිග අධිරාජ්‍යය වෙත තර්ජනයක් එල්ල කිරීමට නම් ඊජිප්තුව තමන් යටතට ගත යුතුයැයි උපාය මාර්ගික තීරණයක් ගත්ත නැපෝලියන්, ඒ අනුව ඊජිප්තුවේ ඒකර් වරාය වෙත පහර දුන්නා. උපායශීලී ක්‍රියාමාර්ග අනුගමනය කළ ඔහු විසින් මෙහෙයවනු ලැබූ 4500ක පමණ ප්‍රංශ සෙබළුන් පිරිසක් තිස් දහසකට අධික ඔටෝමන් හමුදාවක් පරාජය කරනු ලැබුවා. 6000කට අධික ඔටෝමන් සෙබළු පිරිසක් මරමුවට පත්වූ අතර ඉතිරි පිරිස පලා ගියා. නමුත් ප්‍රංශ සෙබළුන්ට සිදුවූයේ අවම අලාභහානියක්.

 

5. සහෝදරයන් ඝාතනය

ඔටෝමන් සුල්‍තාන්වරුන්ට සුවිශාල අන්තඃපුර පැවතීම නිසා දරුවන් විශාල පිරිසක් ලැබුණා. ඒ නිසාම ඔවුන් අතර ඊළඟ සුල්තාන් ධූරය සඳහා පැවතුණේ නොනවතින තරගයක්. මේ නිසා ඇතැම් සුල්තාන්වරු තමන් අභිෂේක ලැබූ වහාම තමන්ගේ සහෝදරයන් මරා දැමීමට කටයුතු කළා. මෙහි උච්ඡතම අවස්ථාව වූයේ තුන්වෙනි මෙහෙමඩ් සුල්තාන්වරයා බලයට පත්වූ වහාම තම සහෝදරයන් සහ අර්ධ සහෝදරයන් 19ක්  ඝාතනය කිරීමට අණ ලබාදීමයි. මෙම සිදුවීම සමස්ත අධිරාජ්‍යය තුළම අප්‍රසාදයට ලක් වුණා. මේ නිසා ඔහුගේ පුත් වූ පළමු අහම්ඩ් සුල්තාන්වරයා මෙම සම්ප්‍රදාය අවසන් කළ අතර සුල්තාන්වරයාගේ වැඩිමහල් පුත්‍රයා ඔටුන්න හිමි කුමරා වන බවටත් අවශ්‍ය නම් ඔහුට තමන්ට තර්ජනයක් විය හැකි සහෝදරයන් සිරගත කළ හැකි බවටත් තීරණයක් ගනු ලැබුවා.

 

6. සුල්තාන් ධූරය කාන්තාවන් අතරට පත් වීම

1533 සිට 1656 දක්වා කාලය අතරතුර  සුල්තාන්වරයාගේ බිරිඳ හෝ මව ඔටෝමන් අධිරාජ්‍යයේ දේශපාලනය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කිරීමේ තත්ත්වයක් ඇතිවුණා. ඉතිහාසඥයන් මේ කාල පරිච්ඡේදය Sultanate of Women ලෙස හඳුන්වනු ලබනවා. ඇතැම් අවස්ථාවල සුල්තාන්වරුන් බලයෙන් පහ කිරීමට පවා මෙම කාන්තාවන් බලසම්පන්න වුණා. කලින් සඳහන් කළ පරිදිම මෙහි ඇති තවත් විශේෂත්වයක් වූයේ මේ කාන්තාවන් සියළු දෙනාම පාහේ යුරෝපීය සම්භවයක් සහිත තැනැත්තියන් වීම. ඔවුන් පිළිබඳව  තොරතුරු අපි ඉදිරියේ ආටිකල් එකක් මගින් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා 

 

7. ඔටෝමන් අධිරාජ්‍යයේ බිඳ වැටීම 

පළවෙනි ලෝක යුද්ධය අවසානයේදී  ඔස්ට්‍රියාව සහ ජර්මනියේ රාජාණ්ඩුව බිඳ වැටීමට සාපේක්ෂව ඔටෝමන් අධිරාජ්‍යයේ බිඳ වැටීම සිදු වූයේ පසුවයි. මිත්‍ර පාර්ශික හමුදා  ඔටෝමන් අධිරාජ්‍යයේ භූමි ප්‍රදේශ අහෝසි කිරීම සිදුකළත් ඔටෝමන් අධිරාජ්‍යයාව බලයෙන් පහ කිරීමට එතරම් උනන්දුවක් ගත්තේ නැහැ. නමුත් ලෝක යුද්ධයෙන් ලද පරාජයත් සමග ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූ පාර්ශවවල බලය කෙමෙන් කෙමෙන් වැඩි වූ අතර 1922 වනවිට ඔටෝමන් අධිරාජ්‍යයේ මුල් බිම තුළ තුර්කිය යන නමින් නව රටක් බිහි වී තිබුණා. එහි ප්‍රධාන ජාතික සභාව විසින් ඔටෝමන් අධිරාජයාව බලයෙන් පහ කිරීමටත් එරට සමූහාණ්ඩුවක් බවට පත් කිරීමටත් තීරණය කරනු ලැබුවා. 

 

එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මෙය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *