කොල්ලෙක්ට වුනත් සම නීරෝගීව තියාගන්න අනුගමනය කළ යුතු ස්කින් කෙයාර් රූටීන් එකක්!

දැන් ඔය ඡවි කල්‍යාණිය ගැන කවි සිලෝ ලියවෙන්නෙත් කෙල්ලෝ සම්බන්ධයෙන්නේ. හරි, කොල්ලොන්ගේ සම කොහොමද කියලා කවුරුත් ඒ තරම් ගණන් ගන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් ඇත්ත කතන්දරේ මේකයි. නීරෝගී සමක් තියෙන්න, නීරෝගී සමක් ලබාගන්න යම් යම් සත්කාර කරන්න කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අදාළ වෙන්නෙ නෑ. ඒ වගේම මිස්ටර් වර්ල්ඩ් තරගෙට යන්න නොවුණත්, නිරෝගී සමක් තියෙන එකේ වටිනාකම තියෙන්නේ ටිකක් වයසට යද්දි තමයි. විශේෂයෙන්ම වයසට යන මනුස්සයෙක්ට තරුණ පෙනුමකින් ඉන්න ස්කින් කෙයාර් කියන එක අතිශයින්ම වැදගත්. 

හරි. සාමාන්‍යයෙන් ගත්තහම ඉතින් කොල්ලෙක්ගේ ස්කින් කෙයාර් එක වෙන්නේ අතට අහුවෙන සන්ලයිට් හරි සබන් කෑල්ලක් ගාලා නා ගන්න එකනේ. හැබැයි එහෙම නැතුව, පොඩ්ඩක් සම රැකගැනීම ගැන සැලකිලිමත් වෙලා වැඩ කළොත්, මාස කීපයක් යනකොට දැනෙන්න පටන් ගනී සැබෑ වෙනසක්!

ආන්න ඒ සැබෑ වෙනස ඇතිකරගන්න වැදගත් වෙන ටිප්ස් කීපයක් තමයි මේ.

 

1. නීරෝගී කම අංක එක

නීරෝගීව ඉන්නෙ කොහොමද? ප්‍රායෝගිකව ගත්තහම ඒක සියේට සීයක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. ලෙඩ රෝග ඕනම වෙලාවක හැදෙන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන්නේ සමස්තයක් විදියට නීරෝගීමත් ජීවන රටාවක් ගැන. ඒ කියන්නේ සමබල පෝෂ්‍යදායී ආහාර වේලක්. වෙන විදියකට කිවුවොත් හොඳ ඩයට් එකක්. ඒකටම ඇතුළත් වෙන්න ඕන ප්‍රමාණවත් ලෙසින් ජලය පානය කරලා හොඳ සජලනයකින් ශරීරය පවත්වා ගැනීමත්. ඊට පස්සේ එනවා එක්සයිස්. දිනපතා ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා ප්‍රමාණවත් විවේකය. ඒ කියන්නේ තමන්ට දිනපතා හොඳ නින්දක් ලැබෙන්න ඕන ශරීරයට. මෙන්න මේ විදියට ලයිෆ්ස්ටයිල් එක හදාගන්න්න කොට, ටික කාලෙකින් තමන්ගේ හමේ පවා වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. අහල තියෙනවද ඔය ඇඟ අඩු කරගන්න අයගේ ඇඟ අඩුවෙනවත් එක්කම හමත් පාට වැටෙනවා කියලා කියනවා. අන්න ඒක හරි ඇත්ත! 

 

2. මොකද්ද හම?

ඔව්, ස්කින් කෙයාර් රූටින් එකක් පටන් ගන්න කලින් දැනගෙන ඉන්න ඕන තමන්ගේ හම කොයි වගේද කියලා. ඒකට හේතුව මේකයි. හමේ විදිය අනුව තමයි අපි ස්කින් කෙයාර් වලට අවශ්‍ය විවිධ නිෂ්පාදන ගන්න ඕන. එතකොට වැරදි ස්කින් ටයිප් එකකට හදපු ප්‍රඩක්ට්ස් ගාන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

සාමාන්‍ය සමක් කියන්නේ වියළි හෝ තෙල් සහිත කියන අතරමැද තියෙන සමබර සමක්. වියළි සමක් සාමාන්‍යයෙන් නමේ හැටියටම වියළියි, සමහරවිට රළුයි සහ කොරපොතු වගේ ගතියක් එන්න පවා පුළුවන්. තෙල් සහිත සමක් කිව්වහම සෑහෙන්න තෙල් ගතියෙන් යුක්ත, වැඩියෙනුත් එක්ක sebum කියලා කියන තෙල් ගතියෙන් යුත් ස්නේහය නිෂ්පාදනය කරන සමක්. ඒක නිසා නිතරම හම තෙතමන ගතියෙන් යුක්ත වෙනවා. ඒත් ඒකේ නරක ප්‍රතිඵල වෙන්නේ සමහර වෙලාවට සමේ සිදුරු පහසුවෙන්ම ඒවැයින් වැහෙන්න පුළුවන් වීම. මීට අමතරව සංවේදී සමක් කියන්නේ උඩ කියපු සමේ ආකාරයන් එක්කම කෙනෙක්ට තියෙන්න පුළුවන් සංවේදී හමක්. ඒ කියන්නේ පොඩ්ඩක් අවුවේ ගියපු ගමන් රතු වෙලා පිච්චෙන, කසන්න ගන්න, වේලෙන්න ගන්න සමක් තමයි සංවේදී සමක් කියන්නේ.

 

3. ක්ලෙන්ස්

ක්ලෙන්ස් කරනවා කියන්නේ දවසට දෙපාරක් කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දෙයක්. දැන් ඔය ෆේස් ක්ලෙන්ස් වර්ග තියෙනවනේ. අන්න ඒකෙන් තමන්ගේ සමට ගැලපෙන නිෂ්පාදනයක් අරගෙන ක්ලෙන්ස් කරන්න පටන් ගන්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මුලින් මූණ සෝදලා පටන් ගන්නේ. ගොඩක් වෙලාවට රස්නේ වතුරෙන් මූණ තෙමලා, ඇඟිලි තුඩට ක්ලෙන්ස් එකෙන් ටිකක් අරගෙන, හොඳට අත් දෙක පිරිමැදලා ඊට පස්සේ සම්පූර්ණ මූණම අඩුම තත්පර තිහක් වත් ඒකෙන් පිරිමදින්න ඕන. බෙල්ලේ උඩ හරියේ ඉඳලා රවුම් රවුම් තමයි පිරිමදින්න ඕන. රැවුල වවලා නම් ඇඟිලි වලින් ටිකක් සමට යනකල් පිරිමදින්න වෙනවා. ඊට පස්සේ මූණට විසිකරගන්න වතුර ටිකකින් ක්ලෙන්ස් එක සෝදාහැරලා, ඊට පස්සේ තුවායකින් තෙත මාත්තු කරන්න. පිහිදාන්න නෙවෙයි හැබැයි!

 

4. ටෝනින්ග්

මේක ගොඩක් අය අමතක කරන ස්ටෙප් එකක්. හැබැයි විශේෂයෙන්ම අර acne කියලා කියන රතු පිම්පල් වගේ බිබිළි මුහුණේ තියෙන අය, වයස පාටක් සමෙන් පේන අය එහෙම ටෝන් කරන එක ඉතාම වටිනවා. මෙතනදී කරන්න තියෙන්නේ අර කිවුවා වගේම සමට ගැලපෙන ටෝනර් ප්‍රඩක්ට් එකකින් ටිකක් පුළුන් කෑල්ලකට අරගෙන, ඒක මුහුණ සහ ගෙල ප්‍රදේශය පුරාම පිරිමදින එක. ඕන නම් ඇඟිලි පාවිච්චි කළත් කමක් නෑ.

 

5. සේරම්

සේරම් එකක් කිව්වහම බය වෙන්න කාරි නෑ. මේකත් අර ටෝනින්ග් වගේම ගොඩක් අය නොකරන බියුටි රූටින් එකකට අයිති ප්‍රඩක්ට් එකක්. හැබැයි සම ආරක්ෂා කරගන්න සේරම් එකක් ඇප්ලයි කරන එකත් ගොඩක් වටිනවා කියලා තමයි බියුටි කචල් විශේෂඥයෝ කියන්නේ. සාමාන්‍යයෙන් සේරම් එකක් එන්නේ අර තීන්ත කුප්පියක් වගේ  පොඩි පිපෙට්ටුවක් එක්ක එන සිහින් බෝතලේක. කරන්න තියෙන්නේ සේරම් එකෙන් බිංදු කීපයක් පිපෙට්ටුවෙන් ඇඟිලි තුඩුවලට අරගෙන, අත්ල හොඳින් එකිනෙක පිරිමැදලා, නළලත්, නාහේ දෙපැත්තේ ඉඳලා කම්මුල් වලටත්, හකු දිගේත්, බෙල්ල දිගේත් පිහිදලා හරින එක.

සේරම් එකක් ගන්නකොට තමන්ගේ සමට ගැලපෙන්න ගන්න විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕන හැබැයි.

 

6. අයි ක්‍රීම්

ඇස් යට කළු වෙනවා වගේ ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම ගෑණු ළමයින්ට විතරක් නෙවෙයි, පිරිමි ළමයින්ටත් තියෙනවා. ආන්න ඒ නිසා තමයි හොඳ අයි ක්‍රීම් එකක් පාවිච්චි කරන එක වටින්නේ. ඒකෙන් අර ඇස් යට කළු රවුම් ඇතිවීම, වියළි වීම වගේ ප්‍රශ්න නැති කරගන්න පුළුවන්. මේ අයි ක්‍රීම් එකක් ඇප්ලයි කරන එක අමාරු නෑ. වෙදැගිල්ලට ක්‍රීම් ටිකක් අරගෙන, අනික් වෙදැගිල්ල මේ වෙදැගිල්ලට තියලා තදකරලා, ක්‍රීම් ඇඟිලි දෙකේම සමානව තැවරුනාට පස්සේ හෙමිහිට ඇස් යට එලියේ ඉඳලා ඇතුළු පැත්තට සුමුදුව පිරිමදින එක තමයි කරන්න ඕන. සමට ක්‍රීම් ටික හොඳින් උරාගත්තහම හරි. වෙදගිල්ල පාවිච්චි කරන්නේ, එතකොට අනවශ්‍ය බලයක් යෙදෙන්නේ නැතුව ගාණට සුමුදුව වැඩේ සිද්ධ වෙන නිසා. 

 

7. මොයිස්චරයිසර්

මේකත් විශේෂයෙන්ම සමේ විදිය අනුව තමයි ගන්න ඕන. මෙතනදී ඉතාම සැලකිල්ලෙන් ස්කින් කෙයාර් රූටින් එකේ ඉන්න මනුස්සයෙක්ට උදේට ගැලපෙන එක මොයිස්චරයිසර් එකක් සහ රාත්‍රියට ගැලපෙන තවත් මොයිස්චරයිසර් එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ උදේට එලියට බහින්න කලින් මොයිස්චරයිසර් එකෙන් ටිකක් අරගෙන ආලේප කරගන්න පුළුවන්. ඒකත් ඇඟිලි තුඩු වලට අරගෙන, අත් දෙක හොඳට පිරිමැදලා, සම්පූර්ණ මුහුණම ආවරණය වෙන විදියට නළලේ ඉඳලා කම්මුල් හරහා බෙල්ල දක්වා පිසදාන ඉරියව්වකින් ආලේප කරගන්න පුළුවන්. විශේෂයෙන්ම උදේට ගැලපෙන මොයිස්චරයිසර් එකෙන් සන් ප්‍රොටෙක්ෂන් එකකුත් ලැබෙනවා වෙන්න පුළුවන්. එතකොට රාත්‍රියට නිදාගන්න කලිනුත් උඩ කියපු විදියටම මොයිස්චරයිසර් එකෙන් ආලේප කරගන්න තමයි තියෙන්නේ!

 

8. ඇඟේ අනික් පාට්ස් වලටත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්

ඔය වගේම තමයි දැන් නානකොට වුනත් සන්ලයිට් කැටේ උලාගන්නෙ නැතුව, බොඩි වොෂ් එකක් හෝ ෂවර් ජෙල් එකක් හෝ අඩු තරමින් සමට මෘදු සබන් වර්ගයක් හෝ පාවිච්චි කරලා හොඳින් සෝදාගන්න එක තමයි කරන්න ඕන. විශේෂයෙන්ම ඔය ගොඩක් සබන් ජාති වලින් නෑවට පස්සේ හම වියළෙන ගතියක් එනවා කියලා දැනිලා නැද්ද? අනික, අනවශ්‍ය විදියට ගොඩක්ම සමට සබන් පාවිච්චි කරන එකත් කරන්න එපා කියලා තමයි දන්න අය කියන්නේ.

මේ ඇරෙන්න ඔය විශේෂ දේවල් වලට ගැලපෙන බියුටි ප්‍රඩක්ට්ස් තියෙනවා. උදාහරණයක් කිවුවොත්, පැළුණු යටිපතුල් වලට ගැලපෙන හොඳ ක්‍රීම් වර්ග තියෙනවා. ඒ වගේ විශේෂ ගැටළුවකට අදාළ ක්‍රීම් වර්ගයක් චර්මය සම්බන්ධ වෛද්‍යවරයෙක්ට කියලා අරගෙන පාවිච්චි කළාට කාරි නෑ.

 

තවත් දෙයක් කියන්න ඕන. මේවා නිකම්ම කඩේකට ගිහින් ලේබලේ බලලා තෝරගන්නවට වඩා, ස්කින් කෙයාර් වගේ දේවල් ගැන විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා බලලා, තමන්ගේ හමට සහ හමේ තත්වයන්ට හරියටම ගැලපෙන විදියට තෝරගන්න පුළුවන් නම් තවත් වටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *