ඔන්න දිගු විරාමයකට පස්සේ මේ ලිපි පෙළට තවත් එක් ලිපියක් එකතු කරන්න අපි හිතුවා. එහෙමනම් ඉතින් කැමති නම් ඔබට ලිපි පෙළ අගය කරන්නත්, අකමැති නම් බනින්නත් අවස්ථාව තියෙනවා.
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 9 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 10 කොටස
1. ෆ්‍රෙඩී සිල්වාගේ වාහන පිස්සුව
සිංහල සිනමාවේ විකට රජා වුණු ෆ්‍රෙඩී සිල්වා මහතා ඔහුගේ ජීවිතයේ අවසාන සමයේ යම්තාක් දුරකට ආර්ථික වශයෙන් අර්බුදයකට පත්ව සිටි බව රහසක් නෙමෙයි. නමුත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ එතුමාගේ බීමත්කම නිසා කියලා. නමුත් පසුගිය දවසක එතුමාගේ දෙවැනි බිරිඳ වූ මානෙල් චන්ද්‍රලතා මහත්මිය ඒ ගැන පිළිතුරක් ලබා දීලා තිබ්බා. ඇයට අනුව ෆ්‍රෙඩී සිල්වා යම්තාක් දුරකට මධුවිත පානය කළත් ඒ වෙනුවෙන් මුදල් නාස්ති කළ අයෙක් නෙමෙයි. නමුත් ඔහුට ඊට වඩා මුදල් වැය වෙන විනෝදාංශයක් තිබිලා තියෙනවා. ඒ තමයි වාහන මිලට ගැනීම. ඇය කියන විදිහට විවිධ වර්ගයේ වාහන වලට ප්‍රිය කළ ඔහු අවසානයේදී බස්රථයක් පවා මිලට ගෙන තිබෙනවා. මෙම වාහන සඳහා මුදල් ගෙවීමේදී තමයි මූල්‍ය කළමනාකරණ ගැටළු ඇති වෙලා තියෙන්නේ.
2. රෝයි ද සිල්වා සහ රොනී ලීච්
‘දවල් මිගෙල් රෑ ඩැනියෙල්’ චිත්‍රපටය රූගත කරද්දී එක්තරා දර්ශනයකදී ලීච්ට නාන තටාකයක් අසලින් බයිසිකලයක් පැදගෙන යන දර්ශනයක් රූගත කරන්න තිබ්බලු. තමන් නාන තටාකයට වැටෙයි කියලා බයෙන් බයෙන් රොනී ලීච් ඒ දර්ශනයට පෙනී සිටින්න උත්සාහ කරද්දී අධ්‍යක්ෂකවරයා විදිහට රෝයි ද සිල්වා අයිනෙන්ම බයිසිකලේ පැදගෙන එන්න කියලා කිව්වලු. දර්ශනය ඉවර වෙලා රොනී ලීච් රෝයි ගාවට ගිහිල්ලා, “ඇයි මට අයිනෙන් එන්න කිව්වේ? වැටුණා නම් එහෙම මං ඉවරයිනේ” කිව්වලු. “නෑ බං මං උඹට පීනන්න පුළුවන් කියලා දන්නවා. ඒකයි පූල් එක අයිනෙන් එන්න කිව්වෙ” කියල රෝයි ද සිල්වා සැහැල්ලුවෙන් හිනා උනාලු.
3. ජෝතිපාලගෙ සහ අර්නස් වඩුගේගේ මිත්‍රත්වය ඇති වුණු හැටි
අර්නස්ට් වඩුගේ කියන්නේ අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ජනමාධ්‍යවේදියෙක්. කාලයක් එතුමා සරසවි පත්‍රයේ සේවය කරද්දී පාඨකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේ විශේෂාංගයක් කළා. මේ ප්‍රශ්නවලට සැහැල්ලු උත්තර දුන් ඔහුගෙන් රසිකයෙක් දවසක් ජෝතිපාල රඟපාන චිත්‍රපටි මොනවාද කියලා ප්‍රශ්නයක් අහනවා. එම ප්‍රශ්නයට “මොනවා ජෝතිපාල රඟපානවා?” කියලා උත්තරයක් අර්නස්ට් ලියල තියනවා. මේ කාලය වෙද්දී ජෝතිපාල රඟපාල තිබ්බ චිත්‍රපටි කිසිවක් ප්‍රදර්ශනයට පටන් අරගෙන තිබ්බේ නැහැ. මේ උත්තරයෙන් ජෝතිපාලට අපහාසයක් වන බව කියමින් දෙදෙනාවම කොටවන්නට විවිධ අය උත්සාහ කර තිබෙනවා. එතකොට කවදාවත් වඩුගේට ජෝතිපාලව මුණගැහිලා තිබ්බෙ නෑ. දවසක් මධු සාදයකදී දෙන්නට දෙන්නා මුණගැහිල තියනවා. මධුවිතෙන් සප්පායම් වෙලා හිටපු ජෝතිපාල, එතැනදී වඩුගේගෙන් “දැන් මිස්ටර් වඩුගේ කියන්නේ මට රඟපාන්න බෑ කියලා ද?” කියල අහනවා. “මම තාම ජෝතිපාලගෙ රඟපෑම් දැකලා නෑ, ඒව දැක්කට පස්සේ මට මිස්ටර් ජෝතිපාලට රඟපාන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්” කියලා අර්නස්ට් වඩුගේ උත්තර දීලා තියෙනවා. මේ උත්තරයෙන් සතුටට පත් වෙච්ච ජෝතිපාල වඩුගේව බදාගෙන සතුට පළ කරනවා. එදා ඉඳන් මේ දෙන්නා අඹ යාළුවෝ බවට පත්ව තිබෙනවා.
4. සුජාතා පරමනාදන්ට අහිමි වුණු පුංචි බබා
සුජාතා පරමනාදන් කියන්නේ අද අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම නිළියක්. ඇය තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ ‘වරද කාගේද’ චිත්‍රපටියෙන්. සුරූපී නිළියක් වුණු ඇයට අවස්ථා කීපයකදීම ප්‍රධාන නිළියගේ චරිතය රඟපෑමට වරම් ලැබුණත් දෛවයේ සරදමකින් වගේ ඒ හැම අවස්ථාවක්ම ගිලිහිලා ගියා. වතාවක් තිස්ස ලියනසූරිය විසින් ‘පුංචි බබා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඇයව තෝරා ගත්තා. නමුත් පසුව ඔහු වේදිකා නාට්‍යයක දුටු නවක නිළියක් ඒ සඳහා සහභාගි කරවා ගන්න තීරණය කළා. ඒ ගැන කිසිදු ගැටළුවක් ඇති කර නොගත් සුජාතා එම චිත්‍රපටයේ සුළු චරිතයක් සඳහා එක්වීමට තීරණය කළා. මේ නවක නිළිය පසුව සිනමාවට නැතුවම බැරි තැනැත්තියක් වුණා. ඇය තමයි මාලනී ෆොන්සේකා.
5. කැත වැඩ කරන්න එපා මහත්තයා
දවසක් බුද්ධි වික්‍රම පාරෙ යද්දි ත්‍රී රෝද රථ රියදුරෙක් මහත්තයා කියලා කතා කරල තියනවා. බුද්ධි වික්‍රම ළඟට ගියහම “මොනාද මහත්තයා කරන කැත වැඩ?” කියලා ඔහු අහල තියනවා. මේ අහපු ප්‍රශ්නයෙන් පුදුමයට පත් වුණු බුද්ධි වික්‍රම “මම මොකක් හරි ඔයාට වැරැද්දක් කළාද” කියලා පෙරළා ප්‍රශ්න කරනවා. “මොනාද මහත්තයා අර දරු පවුලක්ම විනාශ කරන්න මහත්තයා වැඩ කරානේ” කියලා අර රියදුරා ආපහු කියනවා. “මම? කාටද?” ආපහු බුද්ධි වික්‍රම අහල තියනවා. “ඇයි මහත්තය අර නාට්ටිය” කියල රියදුරා කියනව. එතකොට තමයි බුද්ධි වික්‍රමට වැඩේ තේරුම් යන්නේ. මේ කාලේ තමයි අඹ යහළුවෝ ටෙලි නාට්‍ය විකාශනය වන කාලේ. බුද්ධි වික්‍රම රඟපෑවේ කැන්දලන්දගේ චරිතය. හිනා වුණ බුද්ධි වික්‍රම “ඒක ඉතිං රඟපෑමක් විතරයිනේ” කියලා කියනවා. “ඒ වුණාට මහත්තයා අපි මහත්තයා වගේ කෙනෙක්ගෙන් ඔය වගේ දරුණු ගණයේ රඟපෑමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.” කියලා ත්‍රී රෝද රථ රියදුරා අවසානයේදී කියල තියනවා .
6. හෙන්රි ජයසේනගේ තීරණය
ඔබට මතක ඇති මීට වසර විස්සකට විතර කලින් හෙන්රි ජයසේන මහත්තයා එක්තරා මීට් බෝල්ස් වෙළෙඳ දැන්වීමකට පෙනී හිටියා. සුදු සීයා විදිහට දූදරුවෝ ටෙලි නාට්‍ය හරහා අතිදැවැන්ත ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණ අවධියක එතුමාගේ මේ රංගනය රසිකයන් පිරිසකගේ දැඩි දෝෂදර්ශනයට ලක් වුණා. මුල් අවස්ථාවේදී තමන් නළුවෙකු නිසා එය විවේචනයට ලක්වීමට තරම් දෙයක් නොවන බව ජයසේන මහතා කල්පනා කළත්, පසුව ඔහු තමන්ගේ අදහස වෙනස් කරගන්නවා. තමන් ප්‍රේක්ෂකයෝ ඉදිරියේ යම් ප්‍රතිරූපයක් නිර්මාණය කරලා තියෙනවා නම් ඊට හානි වන අන්දමේ දෙයක් නොකළ යුතු බවට පසුව ඔහු තීරණය කරනවා. ඉන්පසුව ඔහු එවැනි වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටීමේදී අතිශය කල්පනාකාරී වී තිබෙනවා.
7. ආර් ආර් සමරකෝන් මහතාගේ දරු සෙනෙහස
ආර්. ආර් සමරකෝන් තමන්ගේ දියණිය වුණු බුද්ධිකා මුදිතානිට දැඩි ලෙස ආදරය කළ කෙනෙක්. පුංචි කාලෙදි බුද්ධිකා අහසේ යන ප්ලේන්වලට අත දික් කරලා “තාත්තේ මටත් ප්ලේන් එකක යන්න ආසයි” කියලා කියල තියනව. “අපි දවසක යමු” කියලා සමරකෝන් උත්තර දෙනවා. එක්තරා අවස්ථාවකදී සමරකෝන්ට තමන්ගේ නාට්‍ය කීපයක් විදේශ රටවල් කිහිපයක ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබෙනවා. මුල් වතාවෙදී විදේශගතව ඉන්න පුළුවන් නාට්‍ය කණ්ඩායමට විතරයි කියලා සංවිධායක මණ්ඩලයෙන් කොන්දේසියක් පැනවෙනවා. නමුත් ඒ සඳහා තමන්ගේ දුවවත් රැගෙන යාම අත්‍යවශ්‍යයි කියන සමරකෝන් එහෙම නැත්නම් විදේශ සංචාරය අවලංගු කළ යුතු බව කියනවා. අවසානයේදී ඔවුන් සමරකෝන්ට එකඟ වෙනවා. ඉන්පස්සෙ ඇතැම් අවස්ථාවල සමරකෝන් ලංකාවේ නැවතිලා, නාට්‍ය විදේශ රටවල ප්‍රදර්ශන කරන අවස්ථාවල බුද්ධිකාව, රම්‍යා වනිගසේකර මහත්මිය එක්ක යවනවා. මොකද ඒ බොහෝ නාට්‍යවල ප්‍රධාන චරිතය රඟපාන්නේ රම්‍යා වනිගසේකර මහත්මිය නිසා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply