සාමාන්‍යයෙන් ඔය කසාදයක් කාරිය බඳිනවා කියන්නේ ගොඩක් දෙනෙක්ගේ තියෙන ෆැන්ටසි හීනයක්නේ. ඒකේ කිසිම වැරැද්දක් නෑ. කසාදයක් බඳිනවා කියන්නේ සතුටු කාරණාවක් තමයි. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. කසාදයක් ගැන ෆැන්ටසි හීන බලනවා වගේම, කසාදයක් බැන්දට පස්සේ ජීවිතේ යතාර්ථය ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න ඕන. කසාදෙන් පස්සේ ජීවිතේ යතාර්ථයට එක උදාහරණයක් තමයි ගෙදරදොරේ වැඩ කටයුතු. දැන් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල ගැහැණු වැඩ සහ පිරිමි වැඩ කියලා බෙදලා තියෙනවනේ. පිරිමි තමයි රස්සා කරලා හම්බු කරන්නේ. ඕන නම් නෝනා අතුගානකොට පුටුවක් උස්සනවා වගේ බර වැඩක් කරවගන්න පුළුවන් වෙයි. ලීක් වෙච්ච පයිප්පයක් හදන එක, ගස් අතු කපන එක වගේ කටයුත්තක් කියල කියල කරවාගන්න පුළුවන් වෙයි. ඒ ඇරෙන්න උයන පිහන ඒවා, ගේදොර පිරිසිදුවට තියාගන්න ඒවා, රෙදි හෝදන සහ මදින ඒවා, දරුවන්ගේ වැඩ වගේ එව්වා ගැහැණු වැඩ විදියට තමයි ඔය සාම්ප්‍රදායික බෙදීම ඇතුළේ හැදිලා තියෙන්නේ. එතකොට වයිෆ් රස්සාවක් කරනවා නං? ආන්න ඒකට තමයි ඔය කියපු සාම්ප්‍රදායික බෙදීමෙන් කියන්නේ කාන්තාවන්ට ගැලපෙන රස්සා නං මෙව්වා මෙව්වා තමයි කියලා. ඒ කියන්නේ ඔය දෙකට ඉස්කෝලෙ ඇරිලා තුනට ඇවිත් ගෙදර වැඩ කරන්න පුළුවන් කියලා හිතන විදියේ ගුරු වෘත්තිය එහෙම!
හැබැයි ඇත්ත කතන්දරේ මේකයි. දැන් කාලේ වෙනකොට ගැහැණියත් පිරිමියා වගේම තරගකාරී රැකියා වල නිරත වෙනවා. ගැහැණියකට වුනත් තමන්ගේම කියලා වෘත්තිය ජීවිතයක්, පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඔය උඩින් කියපු ගුරු වෘත්තියේ යෙදෙන්නියකට වුනත් රැකියාවේ වගකීම් සෑහෙන්න තියෙනවා. ආන්න එතකොට වයිෆ් ගෙදර ඇවිත් ඔක්කොම කරනකල් මිනිහට කකුල් හොල්ල හොල්ල ටීවී බලන්න බෑ. ඉතින් දෙන්නා කොහොමද ගෙදර වැඩ බෙදාගන්නේ? ආන්න ඒකට ගැලපෙන උපදෙස් ටිකක් තමයි මේ දෙන්න යන්නේ!
1. පුරුෂාධිපත්‍ය සීන් බෑ!
මේක අපි ඇත්තටම කියන්නේ කාන්තාවට තමයි. ඇයි? හේතුව ගොඩක් වෙලාවට කාන්තාවන් සවිඥාණිකව නැතිනම් අවිඥාණිකව පුරුෂාධිපත්‍යයට උඩගෙඩි දෙනවා. කොටින්ම කිවුවොත් තමන්ට අසනීපයක් වෙලා තියෙන අවස්ථාවක වුණත් “මේවා ගෑණුන්ගේ වැඩනේ” කියලා ඇඳුම් ටික හෝදලා දෙන්න දඟලන කාන්තාවෝ අපි ඕන තරම් දකිනවා. ඒක පතිභක්තියද? නෑ. ඒක තමන්ගේ මිනිහව නරක් කිරීම. විවාහයක් ඇතුළේ දෙන්නම සමාන නම්, ගෑණු වැඩ සහ පිරිමි වැඩ තියෙන්න විදියක් නැහැනේ. ආන්න ඒ නිසා පළවෙනි පියවර තමයි අනවශ්‍ය විදියට පුරුෂාධිපත්‍යයට සහ මේ ගෑණු වැඩ, පිරිමි වැඩ බෙදිල්ලට උඩගෙඩි දීම නැවැත්වීම.
2. කැන් යූ කුක්?
ඉස්සර ගෑණු ළමයෙක් ගැන විස්තර කියනකොට කපු මහත්තයා කියන කාරණයක් තමයි “ඒ දැරිවිට හොඳට ඉවුම් පිහුම් පුළුවන්” කියන එක. ඒක ගෑණු ළමයව මාකට් කරන්න ප්ලස් පොයින්ට් එකක්. ඇත්තටම ඉස්සර විතරක් නෙවෙයි, දැනුත් අපි දැකලා තියෙනවා ඔය ගෑණු ළමයෙක් එක්ක මුලින්ම ටෝක් එක දානකොට කොල්ලො අහනවා විහිළුවෙන් වගේ ගෙදර දොරේ වැඩ පුළුවන්ද, උයන්න පිහන්න පුළුවන්ද වගේ සීන්. ඇත්තටම ඒකේ වැරැද්දක් නෑ. ගෑණු ළමයෙක් වුණහම කටට රසට උයන්න පිහන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි පිරිමි ළමයෙක් වුණහමත් කටට රසට උයන්න පිහන්න පුළුවන් වෙන්න ඕන. නැත්තං මොකද්ද ආයුබොවං ඇති පලේ?
දැන් අපි කියමු කසාද බැඳපු දෙන්නෙක් ගත්තහම මහත්තයට ඔය කුකින් කියලා පුළුවන් යාන්තමට තේ එකක් හදාගන්න විතරයි කියලා. ඉතින් නෝනා ඒවා කියල දුන්නහම මොකෝ වෙන්නේ? ඒ කියන්නේ ඉවුම් පිහුම් ගැන පොඩ්ඩක් ට්‍රේනින් එකක් දුන්නහම මොකද? ඕක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මුලින් කුස්සියේ අත්උදවු වලට සහභාගි කරගන්න තියෙන්නේ. ඉන් පස්සේ ටික ටික පුරුදු වෙයි. ආන්න ඒක ඉතාම වටිනවා ඉස්සරහට අපි කියන්න යන කාරණා වලටත්.
3. සම්පූර්ණ කාලය හරියට බෙදමු
දැන් දෙන්නත් එක්ක මූලිකවම වැඩකටයුතු බෙදාගන්නකොට, මුලින්ම හිතලා බලන්න ඕන කාරණයක් තියෙනවා. දෙන්නටම තියෙන්නේ පැය විසිහතරයි! අන්න එතකොට තම තමන් කරන වැඩවලට සහ ගෙදරට දක්වන දායකත්වයට සමානුපාතිකව තමයි වැඩ බෙදෙන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, රැකියාවක් කරන මහත්තයෙක්ට ගෙදර කරන්න වෙන වැඩ ප්‍රමාණය සහ හවුස් වයිෆ් වෙච්ච නෝනට ගෙදර කරන්න වෙන වැඩ ප්‍රමාණය සමාන කරන එක ප්‍රායෝගික නෑ. හැබැයි එහෙම අවස්ථාවකදී පවා මහත්තයා රස්සාවක් කරනවා කියල ගෙදර වැඩ ඔක්කොම නෝනට පටවන එකත් සාධාරණ නෑ. ආන්න ඒ නිසා දෙන්නගේ සමස්ත කාලය සහ සමස්ත වැඩ කොටස එක්ක තමයි සාධාරණව ගෙදර දොරේ වැඩ බෙදාගන්න ඕන.
4. කුකින් ඇන්ඩ් ක්ලීනින්ග්
සාමාන්‍යයෙන් නිවාඩු දවසක හොඳ හැටි වෙලාව අරගෙන රස කෑමක් හදනවා කියන එක ෆන් එකක්. හැබැයි දිනපතා උදේට රෑට කෑම හදනවා කියන එක වැඩක්. අන්න එතකොට කොයි තරම් උයන්න කැමති කෙනෙක්ට වුනත් ඔය වැඩේ කාලයත් එක්ක එපා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එපා වුණා කියලා නොකා ඉන්නද? බෑනේ. අපි කඩෙන් කන වැඩේට වුනත් ඒ හැටි ප්‍රමුඛතාවයක් දෙන්න කියන්නෙ නෑ. අන්න ඒ නිසා ඒකට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා.
එක්කෝ දෙන්නට මාරුවෙන් මාරුවට උයන්න දවස් සෙට් කරගන්න පුළුවන්. ඕන නම් එයා උයනකොට මම උයපු භාජන සහ කුස්සිය ක්ලීන් කරනවා, මම උයනකොට එයා කුස්සිය සහ උයපු භාජන ක්ලීන් කරනවා වගේ ඇරේන්ජ්මන්ට් එකකට යන්න පුළුවන්.
ඒ වගේම තමයි, අපි විශේෂයෙන්ම කසාද බැඳපු කපල් එකක් උනන්දු කරවන වැඩක් තමයි එක්කෙනෙක් උයන කොට අනික් කෙනාත් කුස්සියට ගිහින් අත්උදවු දෙන වැඩ, කුස්සි සහායක වැඩ කරන එක. අන්න ඒකෙන් උයන පිහන වැඩේ කම්මැලි එකක් නොවී ආතල් එකක් වෙනවා. ඇයි දෙන්නත් එක්ක එකටනේ!
5. තමන්ගේ වැඩ තමන්ම
මෙන්න මේක නම් ඇත්තටම පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්න ඕන දෙයක්. ඒ තමයි තමන්ගේ වැඩ තමන්ම කරගැනීම. ඒ කියන්නේ තමන්ගේ ඇඳුම් පැළඳුම් හෝදාගැනීම, වේලා ගැනීම සහ මැද ගැනීම. තමන්ගේ සපත්තු අරව මේවා පොලිෂ් කරගැනීම. කාලා පිඟාන කෝප්පේ හේදීම වගේ දේවල්. එහෙම නැතුව ඒවත් වයිෆ්ට භාර දෙනවා කියන්නේ තමන් අරගෙන තියෙන්නේ වැඩකාරියක් කියන එක තමයි. දැන් වයිෆ් රෙදි හෝදනකොට මම හෝදන්නෙ මගෙ ඒවා විතරයි කියලා පංගුපේරු වැඩ කරන්න අවශ්‍ය නෑ. ඒ වෙලාවට කොහොමත් රෙදි ටීක හෝදන එකේ දෙන්නගෙම ඒවා හේදුවට කාරියක් නැහැනේ. හැබැයි ඉතින් ඊට පස්සේ රෙදි වේලන වැඩේ හරි මදින වැඩේ හරි ඕන නම් මහත්තයට භාර දෙන්න පුළුවන්.
අන්න ඒ වගේ තමන්ගේ වැඩ තමන්ම කරන ගමන්, අනික් කෙනාගේ වැඩත් ෂෙයාර් කරගන්න කියන එක තමයි අපි කියන්නේ.
6. සපෝර්ට් එකක් ගන්න ඕන නම් ගමු!
සමහර වෙලාවට ගෙදර මහත්තයයි නෝනයි දෙන්නම අතිශයින්ම කාර්ය බහුල වෙන්න පුළුවන්. වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ. හැබැයි එහෙම වෙලාවකදී වුනත් ගෙදරදොරේ වැඩ අතඇරලා දාලා ඉන්න බැහැනේ. හැබැයි ඉතින් අතිශයින්ම කාර්යබහුල ජීවිත තියෙනවා නම්, ඒකට ප්‍රතිලාභයක් විදියට හොඳ ආර්ථික තත්වයක් හෝ අඩුම ගාණේ හොඳ ආර්ථික තත්ත්වයකට යන්න අවස්ථාවන් හෝ තියෙන්න ඕන. එහෙම නැතිනම් සල්ලිත් නැතුව වැඩක් පලක් කරගන්න කාලෙත් නැතුව ඇති වැඩක් නැහැනේ.
හැබැයි එහෙම ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් තියේ නම්, අපිට ගෙදර දොරේ වැඩපොල කරගන්න උදවුවක් මුදලට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හවුස්මේඩ් කෙනෙක් හරි ඩොමෙස්ටික් කෙනෙක් හරි කියලා කියන විදියේ ගෘහ සේවකයෙක් හෝ සේවිකාවක් පාට්-ටයිම් බේසිස් හරි ගන්න පුළුවන්. එහෙම නැතිනම් වත්තේ පිටියේ වැඩ ටික කරගන්න සතියට සැරයක් ඇවිත් යන කෙනෙක්. අන්න ඒ වගේ පියවරක් ගන්න ඕන. එහෙම නැතුව, දෙන්නටම වෙලාව මදි වෙලා තියෙද්දී එකිනෙකා පිට වගකීම් පටවන්න හදන එක හරියන්නෙ නෑ.
7. වගකීම් බෙදා ගමු
මේ ගෙදරදොරේ වැඩපල දෙන්නත් එක්ක බෙදාගන්නවා කියන එකත් එක්කම එන දෙයක් තමයි ගෙදරදොරේ වගකීම්. ඒ කියන්නේ බිල්පත් ගෙවීම්, නඩත්තු කටයුතු, වාහන වලට තෙල් ගැසීම්, ගෙදරදොරේ බඩුමුට්ටු වගේ කරුණු කාරණා. ආන්න ඒ වගකීම් ඇත්තටම එන්නේ මූල්‍ය කටයුතු බෙදාහදා ගැනීමත් එක්කම තමයි. ආන්න ඒකට නම් යම් කිසි සිස්ටම් එකක් හදාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් හස්බන්ඩ් මාසෙට ලිස්ට් එකේ බඩු ටික ගේනවා, වයිෆ් බැංකු කටයුතු සහ බිල්පත් ගෙවීම් කරනවා වගේ දේවල්. දෙන්නටම වඩාත් හොඳයි මේ දේවල් ගාණට නෝට් පොතක ලියලා, බිල්පත් ෆයිල් කරලා හොඳ සිස්ටම් එකක් පවත්වගෙන යන එක.
8. හොඳ සහ පිළිවෙල ලයිෆ්ස්ටයිල් එකක්
හොඳට මතක තියාගන්න. ගෙදරදොරේ වැඩ ඩබල් වෙනවා තමන් පිළිවෙලක් නැති වෙනකොට. අන්න එතකොට ඒ ඩබල් වුණු වැඩ කොහොම බෙදාගත්තත් ජීවිතේ එපා වෙනවා මිසක්, සන්තෝසෙන් ඉන්න කාලයක් ලැබෙන්නෙ නෑ. ආන්න ඒ නිසා වැඩ බෙදාගන්නත් කලින් දෙන්නා දෙමාල්ලෝ එක්ක හිතන්න ඕන පිළිවෙලක් තියෙන, හොඳ ලයිෆ්ස්ටයිල් එකක් හදාගන්න එක. අන්න ඒකට කාර්යක්ෂම විදියට තමන්ගේ දවස ගෙවන එක, දෛනික ව්‍යායාම අනං මනං එක්ක ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන එක, ප්‍රමාණවත් නින්දක් ලබාගන්න එක, රැකියාව සහ පුද්ගලික ජීවිතය වෙන් කරලා තියාගැනීම, විනෝදාස්වාදය වෙනුවෙනුත් කාලයක් වැය කිරීම වගේ දේවල් වැදගත්. එතකොට තමන් කන බොන දේවල් පවා සෞඛ්‍ය සම්පන්න වීම සහ ඒකටත් හොඳ ප්ලෑනක් හදාගැනීම වැදගත්. මෙන්න මේ විදියට ලයිෆ්ස්ටයිල් එක පිළිවෙලක් වෙනකොට, ඇත්තටම ගෙදර දොරේ වැඩපල අවුල් ජාලාවක් වෙන්නේ නෑ. ඒ වෙනුවට ගෙදරදොරේ වැඩ සරල, පහසු සිස්ටම් එකකට හැදෙනවා. ආන්න එතකොට පුළුවන් දෙන්නට ඒ වැඩ ටික බෙදාගන්න!
හරි, එහෙමනම් වැඩ වැඩි නිසා, මිනිහගෙන් හෝ ගෑණිගෙන් ගෙදර වැඩ වලට උදවුවක් නැති නිසා ඩිවෝස් වෙන්න ඕන නෑනේ?
Leave a Reply