කවුරුත් කතාවෙන ලිච්ටෙන්ස්ටයින් රට ගැන විස්තර දැනගමු

ලිච්ටෙන්ස්ටයින් රට සමග තානාපති සම්බන්ධතා දියුණු කරගන්න අපේ ලංකාව උත්සාහ ගන්නවා. පාලකයින් ඒ උත්සාහ ගත්තට පුරවැසියන් විදිහට අපි හාංකවිසියක් වත් අහලා නැති රටක් නෙ මේ අලුත් රට. ඉතින් ඒ රට ගැන පොඩි විස්තර ආදිය ටිකක් ගෙන එන්නට ලයිෆි අපි හිතුවා. ලංකාව මීට පෙර කුඩා සීෂෙල්ස් රට සමග තානාපති සම්බන්ධතා තර කර, එහි ලංකා බැංකු ශාඛාවක් පිහිටුවා ගුවන් ගමන් ආදියත් පිළිවෙළ කළා. ඒ වගේම අප්‍රිකාවේ එස්වටිනි දේශය ස්වාසිලන්තය වූ කාලයේ ඒ රට සමගත් අපේ රට සම්බන්ධතා දියුණු කරගත්තා. ඒ අනුව මේ අලුත් රට මොකද්ද, ඒක කොහේද කියලා විස්තර ටිකක් අපි බලමු.

 

1. පිහිටීම

බටහිර යුරෝපයේ පිහිටලා තියෙන කිලෝමීටර 40ක් විතර දිග බොහොම කුඩා රාජ්‍යයක් වන ලිච්ටෙන්ස්ටයින් කියවන ආකාරය පුරුදු වෙන එක ඒ යාබද යුරෝපා රටවල අයටත් ටිකක් අමාරු දෙයක්. ස්විස් රටයි ඔස්ත්‍රියාවයි අතර ඇල්ප්ස් කඳුකර කලාපයක පිහිටලා තියෙන මේ රට ඉතා පොහොසත් රටක්. සංවර්ධනය මනින්නේ මිනිසුන්ට තියෙන වත්කම් සහ මුදල් මත පමණක් නම් කතා දෙකක් නැතිවම මේ කුඩා රට ලෝකයේ මුල තැනට එනවා. ලිච්ටෙන්ස්ටයින් වල අගනුවර වඩුස් කියන කුඩා නගරය. මේ කුඩා රටේ ජනගහණය මිනිසුන් හතළිස්දාහකට වඩා අඩුයි.

 

2. කෘෂිකර්මාන්තය 

මේ රට 1930 කාලයේදී කෘෂි කර්මාන්තයට ජනප්‍රිය වෙනවා. මෑතකදී මේ රටට ගිය ප්‍රකට යූටියුබ් කරුවන් දෙන්නෙක්ට නිදහස් දිනයේදී නිදහසේ බියර් එකක් ගහන එරට බලය හිමි කුමාරයා මුණගැහෙනවා. ඒ කුමාරයා කලකින් එළියට පහළියට බැහැලා නැති නිසාදෝ හෝ මේ කුඩා රටින් ඇමරිකාවට සහල් ගෙනයන බවටත්, ඒ සහල් ඇමරිකානුවෝ ආහාරයට ගන්නා බවටත් තඩි බේගලයක් ඇද බානවා. දැන් නම් ඒ තරම්ම ලොකු සැපයුමක් නැතත් කලකදී මේ කුඩා රට යුරෝපයේ බත සපයන ප්‍රබල වගා බිමක් වුණා. අදටත් මෙහි ගොවිපළ වගා බිම් තිබුණත්, ඒවා විශාල ගොවිබිම් හිමි ගොවීන් කිහිප දෙනෙකුට අයිති වෙනවා.

 

3. පාලනය

මේ රට ව්‍යවස්ථාවෙන්ම රජ කෙනෙක් පාලනය කරන රටක්. ජනගහණය අඩු නිසාදෝ හෝ මේ කුඩා රට තවමත් ලොව පොහොසත්ම රජ සිටින රට ලෙස විදිහට සැලකෙනවා. ඊට අමතරව පාලනයට ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් නියෝජිතයින්ද දායක වෙනවා. මේ රටට පොලිස් සේවයක් තිබුණත් 1868 සිට මේ දක්වා හමුදාවක් නැහැ. හමුදා සහය අවශ්‍ය නම් ඔවුන් ඒක ස්විට්සර්ලන්තයෙන් ඉල්ලාගත යුතු වෙනවා.

 

4. සම්පත්

මේ රටේ සම්පත් කියලා ලොකුවට දෙයක් නැහැ. ගඩොල් කැටේ, ලී කෑල්ල පවා පිටරටින් ගේන්නට ඕනි මේ රටේ වැඩ වලට. ඒ වගේම රට කඳු වලින් වට වෙලා තියෙන නිසා ඒ සෝදායාම් ආදියත් රට විසින් පාලනය කරගන්නට ඕනි. විකුණාගෙන කන්නට ස්වාභාවික සම්පත් නැතත් මේ රට පොහොසත් වෙලා තියෙන්නේ සේවා සහ කර්මාන්ත ආදියෙන්. පාමසියුටිකල් ඔසු නිපදවන කර්මාන්ත, ආහාර සැකසීම, ඉලෙක්ට්‍රොනික නිමැවුම් ආදියට මේ රට ජනප්‍රියයි. ලිච්ටන්ස්ටයින් 1923 සිට ස්විට්සර්ලන්ත මුදල් එරට මුදල් විදිහට පාවිච්චි කරනවා.

 

5. සංචාරක කර්මාන්තය

දියුණු රටක් වුණත් මේ රට ප්‍රචාරක වැඩපිළිවෙළ හරහා සංචාරකයින් රටට ගෙන්වාගන්නට වෙහෙසෙනවා. ඒ වගේම යාබද යුරෝපීය ඉසුරුමත් රටවලින් නිරන්තරයෙන් මෙම කුඩා අභ්‍යන්තර රට වෙත සංචාරකයින් එනවා. රටේ පවතින කිසිම දේශපාලන යුද කලකෝලාහලයක් නැති විනයවත් වටපිටාව නිවුණු සංචාරක අත්දැකීමකට කැමති අය ආකර්ෂණය කරගන්නවා. අපේ රටේ නිදහස් උත්සව අවස්ථාවල ආරක්ෂක පවුරු පදනම් මත ජනාධිපතිවරයා පෙනී සිටියත්, මේ රටේ නිදහස් දිනයේදී නිදහසේ පුරවැසියෙක්ට විතරක් නෙමෙයි, අවශ්‍ය නම් විදේශිකයෙක්ට වුණත් ඔටුන්න හිමි කුමාරයා එක්ක කතාවක් දාල, සෙල්ෆියක් ගහලා ආතල් එක්ක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පැරණි බලකොටු ගොඩනැගිලි ආදිය නැරඹීමටත්, කඳුකර පරිසරය විඳගැනීමටත් මේ රටට එන සංචාරකයින් අමතක කරන්නේ නැහැ. 

 

6. මනී ලොන්ඩරින්

මනී ලොන්ඩරින් හෙවත් වංචාකාරී සහ විනාශකාරී ලෙස උපයාගත් මුදල් ගබඩා කරන එක තැනක් විදිහට මේ ලිච්ටෙන්ස්ටයින් දේශය එක් කලකදී සැලකුණා. ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පැබ්ලෝ එස්කොබාර් වගේම අල්ක්වයිදා සංවිධානයත් මේ කුඩා රටේ තමුන්ගේ මුදල් ගබඩා පවත්වා ගත් බවට පුවත් පළ වුණා. මේ රට කුඩා, එහෙත් ප්‍රබල ස්ථාවර රටක්. ඒ නිසා තමුන්ගේ මුදල් හදල් මේ රටේ බැංකු වල තැම්පත් කරන්න ලොව පුරා ධනවතුන් සහ කළු සල්ලි හිමිකරුවන් කැමති වුණා. දැනට නම් යුරෝපා සංගමයේ නීති අනුව නිර්නාමිකව ගිණුම් පවත්වාගෙන යන්නට අපහසුයි. එහෙත් නරක නම තවමත් ඒ රටින් ඉවත් වෙලා නම් නැහැ.

 

7. වාසනාවන්ත පුරවැසියන්

ලොව වටා තලුමරමින් රස විඳින සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ නැහැ. ඒත් ජනතාව බොහොම සතුටින්, සනීපෙන් ඉසුරුමත් විදිහට දිවි ගෙවනවා. ඔවුන්ගේ කුඩා රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය යාබද ස්විස් රටේ විදිහටම දියුණු ආකාරයෙන් ඔවුන් පවත්වාගෙන යනවා. අභ්‍යන්තර රටක් නිසාත් කඳුකරය නිසාත් ඔවුන්ට සතුරන් හෝ ආක්‍රමණ ආදියෙන් ලොකු අවදානමක් නැහැ. ඉතින් ආරක්ෂිත බොහොම ස්ථාවර රටක් වෙන මේ කුඩා රට අපිට දැකබලාගන්න අමාරු වුණත්, තානාපති සබඳතා ආදිය වර්ධනය වුණාට පස්සේ අපේ ලොකු ලොකු උදවිය නම් ගිහින් ඒ රට දැක බලාගෙන, අත්දැකීම් විඳගෙන ඒවි.

 

මුදල් විශුද්ධිකරණය හෙවත් කළු සල්ලි වලට සුදු වෙන්නට අවකාශ ලැබෙන ස්විස් ආදී රටවල් දුප්පත් රටවල දේශපාලකයින්ගේ ඇල්ම බැල්ම නිතර ලැබෙන රටවල්. ඒ කොයිහැටි වුණත් අපේ රටේ විශ්වාසවන්ත දේශපාලකයින් නම් ගමින් ගමට ගිහින් ගැටළු විසඳන බොහොම ගුණයහපත් පිරිසක් නිසා ඒ විදිහේ සැක සංකා මහජනතාවට නැහැ. ඒත් කුඩා රට ගැන දැනකියාගන්න එක අපිට, අපේ දැනුමට වටීවි. ඒ නිසා මේ ලයිෆි පෝස්ටුව යාළුවන් එක්ක ෂෙයාර් කරගන්න ඔයාල අමතක කරන්නට එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *