ඇත්තටම ලෝකේ හරිම ප්‍රවෘත්ති කියලා දෙයක් තියෙනවද? අන්න ඒක තමයි අපි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ. හරි, ඇත්ත ප්‍රවෘත්ති කියලා කියන දේ සාපේක්ෂ වුණත්, අපි පුළුවන් තරම් නිවැරදි, හරිම ප්‍රවෘත්ති හොයාගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන. ඇත්තටම ඒක ලේසිත් නෑ මේ කාලේ. හේතු කීපයක් නිසා. එකක් තමයි දැන් කාලේ ඔය සෝෂල් මීඩියා, වට්ස්ඇප් වගේ ජාල හරහා විතරක් නෙවෙයි, ජනමාධ්‍ය හරහාත් සෑහෙන්න බොරු නිව්ස්, ෆේක් නිව්ස් පැතිරෙනවා. ඒ වගේම ඔය ගොඩක් මාධ්‍ය මුදලාලිලා විසින්, එක එක තැන්වලට ගැති මාධ්‍යවේදියෝ විසින් නොමග යවන සුළු විදියට පුවත් ඉදිරිපත් කිරීම, එක පැත්තකින් විතරක් පුවත් ඉදිරිපත් කිරීම වගේ දේවල් සරුසාරෙට කරගෙන යනවා. ආන්න එතකොට දේවභාෂිතය වගේ එහෙම ප්‍රවෘත්ති විස්වාස කරන උන්දැලා තීන්දු තීරණ ගන්නෙත් අන්න ඒ වගේ පච නිව්ස් මත පදනම් වෙලා තමයි. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවනේ දේශපාලකයෝ කියන පච ඇත්තම ඇත්ත වගේ රිපෝට් කරන ප්‍රවෘත්ති හරි පත්තර හරි, එතකොට තමන් කැමති පක්ෂය උස්සලා තියෙන බොරු වගේම තමන් අකමැති පක්ෂය පහතටම දාන බොරු එහෙමත් ලියන කියන මීඩියාකාරයෝ එහෙමත්.
ඔන්න ඔය කාරණාව හින්දා තමයි වර්තමානයේ ජීවත් වෙන අපි ඕනම කෙනෙක්ට නිවැරදිම ප්‍රවෘත්ති මොනවද කියලා හොයාගන්න හොඳ හැකියාවක් තිබිය යුත්තේ. ආන්න ඒ හැකියාව වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ. අපි Lifie.lk එකෙන් මීට කලිනුත් කිව්වා කොහොමද ව්‍යාජ ප්‍රවෘත්ති හඳුනගන්නේ කියන එක ගැන. අන්න ඒකත් කියවලාම ආවනම් තවත් වැඩේ ලේසියි.
1. එකක් බලාගෙන ඉන්න එපා!
අපි පහුගිය දවස් වල දැක්කා එක එක නාලිකා කොවිඩ්19 සඳහා හැදුවැයි කියන එක එක පැණි වලට කඩේ යන හැටි. කිසිම සායනික පරීක්ෂණයකින් සනාථ නොවුණු පැණි වලට බ්‍රේකින් නිව්ස් පවා ගහමින් විවිධ මාධ්‍ය නාඩගම් නටන හැටි අපි දැක්කා. දැන් ඔය විදියට මොකක් හරි පැණියක් ප්‍රොමෝට් කරන නාලිකා එහෙන් මෙහෙන් කොවිඩ්-19 වැක්සීන් වලටත් පහර ගහනවා අපි දැක්කා. වැක්සීන් කියලා කියන්නේ ආඩාතාඩෙට හදපුවා නෙවෙයිනේ. නියමිත ක්‍රමවේදයක් ඔස්සේ, පරීක්ෂණ පවත්වලා හදපු වැක්සීන් වලට පහර ගහමින්, ඒ කිසිම ක්‍රමවේදයක් පරීක්ෂණයක් නැතුව ඉදිරිපත් කරන පැණි ප්‍රමෝට් කරනකොට, මිනිස්සුත් හිතන්න ගන්නවා ඒක තමයි ඇත්ත කියලා.
ආන්න ඒක නිසා තමයි අපි කියන්නේ එක නාලිකාවක විතරක්, එක පත්තරේක විතරක් එල්ලිලා ඉන්න එපා කියලා. ඊට වඩා නාලිකා දෙකතුනක ප්‍රවෘත්ති බලන්න. පත්තර දෙකතුනක කියලා තියෙන දේවල් බලන්න. අන්න එතකොට යම් දෙයක් ගැන තියෙන වඩාත් වෙනස් අදහස්, තොරතුරුත් දැකගන්න, දැනගන්න තියෙන හැකියාව වැඩි වෙනවා.
2. කොමන් සෙන්ස්
මේක ඉතින් මනුස්සයෙක්ට අත්‍යාවශ්‍යම, ඒත් ගොඩක් මනුස්සයන්ට නැතිම දෙයක්. ඒ තමයි නිව්ස් එකක් කොයි තරම් දුරට නිවැරදිද කියලා දැනගන්න පුළුවන් සාමාන්‍ය බුද්ධියක් තිබීම. උදාහරණයක් විදියට ගත්තොත්, සමහර මාධ්‍ය ආයතන වලින් අතිශයින්ම ගොන් පාට් නිව්ස් ඉදිරිපත් කරනවා. මතකද එක පාරක් එක පත්තරේක නිව්ස් එකක් ගියා “අඟහරු මත තිබී ගඩොල් හොයාගනී” කියලා. ඕක කියවපු ඕනම සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙක්ට තේරෙනවා මේ මොකක් හරි ගොන් පාට් එකක් තමයි කියලා. මොකද, අඟහරු මත ඇත්තටම ගඩොල් තිබිලා හොයාගත්තා නං ඒක බ්‍රේකින් නිව්ස් ගහන ලෙවල් එකේ ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් නිසා. ඉතින් හිතපු විදියටම ඔය ගඩොල් කතාව ඉන්ටර්නැෂනල් පේජ් එකට නිව්ස් ලියන එක මෝඩයෙක් ඉංග්‍රීසි නොදැනීම නිසා කරගත්තු අවුලක් කියලා පස්සේ පැහැදිලි වුනා. අන්න ඒ වගේ තමයි. ඔය තරමට බේසික් ගොන් පාට් තේරුම් ගන්න සාමාන්‍ය දැනීම ඕන.
3. භාවාතිෂය, උද්වේගය දනවන පුවත් වාර්තා
ඔය සමහර පත්තර වල මර්ඩර් කේස් එකක්, රේප් කේස් එකක් එහෙම ලියනවා ආයෙ තොරණෙ විස්තරේ වගේ. උපාසක උපාසිකාවන්ට ඇඬිලා සාදු කියන්නේ. කෙලින්ම ලියපු එකා මර්ඩර් එක වෙනවා දෑහින් බලාගෙන ඉඳලා තියෙනවා!
දැන් ඕවා නිව්ස්ද? නෑ. ඕවා කයිකතන්දර. නිකම් කියවන එකා, බලන එකා තුළ උද්වේගයක් ඇති කරලා “අම්මපා මුංව එල්ලලා මරන්ඩෝනෙ” වගේ හැඟීම් ඇවිස්සුණු කතන්දර කියවගන්න කියන කතන්දර. ඇත්තටම නිව්ස් එකක වාර්තා කරන්න ඕනේ ෆැක්ට්ස්. එතකොට මර්ඩර් එකක් ගැන විශේෂාංගයක් කරනවා නම් ඒකෙන් කතා කරන්න ඕනෙ මේ සමාජ ප්‍රශ්නය ගැන. ආන්න ඒ නිසා යම් සිදුවීමක් ගැන තියෙන භාවාතිෂය, උද්වේගය දනවන කතන්දර අතාරින්න.
4. අපිම හොයලා බලමුද?
සමහර දේශපාලඥයින් වගේම සමහර මාධ්‍යත් අතේ පැලවෙන්නේ නැති, අහන බලන එකාට එකපාරටම ඇත්ත වගේ හැඟෙන ටොම් පච ගහනවා. උදාහරණයක් ගමු. ඔන්න පත්තරේක යනවා ශ්‍රී ලංකාවේ බහුතරය ඉන්නේ සිංහලයෝ, ඒ නිසා රාජ්‍ය භාෂාව සිංහල විතරයි, ඒක ව්‍යවස්ථාවෙත් කියලා තියෙනවා, අහවල් ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ඒක එහෙම වුණේ කියලා. ඕක කියවන සාමාන්‍ය මනුස්සයෙක් එක පාරටම හිතන්න පුළුවන් “අඩේ ඇත්ත තමයි, වියවස්තා සංසෝදනෙත් එක්කම දාල තියෙන එකේ ඇත්තම වෙන්ඩෝනෙ” කියලා. දැන් ඕක ඇත්තක්ද?
ඇත්තක්ද කියලා හොයාගන්න එක සරලයි. යන්න පාර්ලිමේන්තු වෙබ් අඩවියට. කියවන්න අලුත්ම ව්‍යවස්ථාව. ඒකේ එහෙම එකක් කියලා නැත්තං ඒ කියන්නේ නෑ තමයි. ඕන නං පත්තරේ කියන අහවල් ව්‍යවස්ථා සංශෝධනේටත් ගිහින් ඩබල් චෙක් කරන්න එහෙම කතන්දරයක් කියලා තියෙනවද කියලා. නෑනේ? ආ ඒ කියන්නේ පච තමා!!
මෙන්න මේ විදියට ඇත්ත වගේ පේන්න මාධ්‍ය වලින් ඔතලා දෙන ටොපි ගිලින්නෙ නැතුව ඉන්න පුළුවන්, තමන්ට ඒ කරුණු කාරණා පරීක්ෂා කරලා බැලීමේ පුරුද්දක් ඇති කරගත්තොත්.
5. අදාළ නෑනේ!
සමහර ඔය දේශපාලන කතන්දර එහෙම පත්තර වල ටීවී වල දාන කොට, සමහර වෙලාවට කිසිසේත්ම අදාළ නැති කාරණා එහෙමත් එකතු කරලා තමයි දාන්නේ. මොකටද? අපිව පුල් කන්පියුස් කරන්න, නැතිනං අවධානේ වෙනතකට හරවන්න. හොඳම උදාහරණය තමයි අර ඊයෙ පෙරේදා ප්‍රසිඩන්ට් ගියපු ගම්මැද්ද සීන් එක. දැන් ඉංග්‍රීසි ගුරුවරියක් තමන්ගේ ප්‍රශ්නේ කියනවා. ජනාධිපති කියනවා ඉංග්‍රීසියෙන් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා. ඉංග්‍රීසි ටීචර් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නේ කියනවා. ඉංග්‍රීසි කථනය එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩක් එහා මෙහා වෙනවා. ඒක ගැටළුවක් නෑ. මොකද ටිචර් ටෝස්ට්මාස්ටර් ගිහින් ඇවිත් නෙවෙයිනේ. ආන්න ඉතින් දැන් ඕක නිව්ස් වලින් ෆ්‍රේම් කරන්නේ වෙන විදියකට. මිනිස්සුන්ගේ අවධානය ටීචර්ගේ ඉංග්‍රීසි වලට මිසක් ටීචර් කියපු සැබෑ ප්‍රශ්නයට නොයන විදියට. ආන්න එව්වැයින් තමයි පරිස්සම් වෙන්න ඕන.
හැමවෙලේම නිව්ස් වලින් අදාළ නැති දේවලුත් එක්ක එකට ඔතලා නිව්ස් එකක් ඉදිරිපත් කරනකොට අදාළ ප්‍රශ්නය විතරක් ඒකෙන් වෙන් කරගන්න අපි කල්පනාකාරී වෙන්න ඕන. විශේෂයෙන්ම ඔය එක කාරණයක් ගැන අරයගෙනුයි මෙයාගෙනුයි වොයිස් කට් හිටු කියලා ගහන කොට එහෙම ඒවා පෙරලා කරලා ගන්න අපි සැලකිලිමත් වෙන්න ඕන.
6. ප්‍රවීණතාවයකින්ද පවසන්නේ?
මෙන්න මේක නම් සෑහෙන්න ප්‍රශ්නකාරී දෙයක්. සිහිමොළේ ඇති මිනිස්සුත් සමහර වෙලාවට මේවෑයින් අන්දකයිප්පු වෙනවා. මේ කියන්නේ මෙහෙම දෙයක් ගැන. දැන් අපි කියපු සීනි නිෂ්පාදනය ගැන නිව්ස් එකක් තියෙනවා කියලා. දැන් ඕකට වොයිස් කට් එකක් පංසලේ හාමුදුරුවන්ගෙන් අරගෙන හරියනවද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලොක්කෙක්ගෙන් අරගෙන හරියනවද? නෑ. සීනි නිෂ්පාදනය ගැන වොයිස් කට් හෝ අදහස් විමසන්න ඕන සීනි නිෂ්පාදනය සහ වෙළඳාමට සම්බන්ධ අයගෙන් සහ සීනි නිෂ්පාදනය ගැන රටේ ඉන්න ප්‍රාමාණිකයන්ගෙන්. වෙන විදියකට කිවුවොත් අපි කවුරුහරි ටෛටල් ගොඩක් තියෙන මනුස්සයෙක් ටීවී එකට, පත්තරේට ඇවිත් තමන්ට අදාළ නොවෙන විෂයන් ගැන කතා කරනවා නම්, පොඩ්ඩක් සැලකිල්ලකින් අහන්න ඕන.
සරල උදාහරණ දෙකක් ගමු. දැන් අර කොවිඩ් මළසිරුරු ආදාහනය කරනවද, භූමදානය කරනවද කියන එක ගැනයි ලංකාවේ වෝටර් ටේබල් ගැනයි ඩොක්ටර්ස්ලයි ප්‍රොක්ටර්ස්ලයි අදහස් දැක්වුවා. ඒ අදහස් තමන්ට ඕන විදියට පත්තර ටීවී වලින් දැම්මා. ඉතින් ඩොක්ටර්ස්ලයි ප්‍රොක්ටර්ස්ලයි වෝටර් ටේබල් ගැන ප්‍රවීණයොද? ආන්න කතන්දරේ. ඊලඟට අර සුද්දට විද්ද ඊතලයක් හම්බුණැයි කියලා පතතරෙත් ගියා. හැබැයි ඒක සුද්දට විද්ද ඊතලේ කියලා නිගමනය කරලා තියෙන්නේ පුරාවිද්‍යා එකෙන්වත් නෙවෙයි, පංසලේ ලොකු හාමුදුරුවෝ? එතකොට පුරාවිද්‍යාව ගැන හාමුදුරුවන්ට තියෙන ප්‍රවීණතාවය මොකද්ද? ඔච්චරයි අහන්න ඕන.
7. ඇයි දැන් කාලෙම ඕක කියන්නේ?
මොකක් හරි නිව්ස් එකක් යන කාල වකවානුව ගැනත් අපිට සමහර වෙලාවට අවධානය යොමු කරන්න වෙනවා, ඒක ඇත්තම නිව්ස් එකක්ද කියලා හිතාගන්න. විශේෂයෙන්ම ඔය ජාතිවාදය ආගම්වාදය එහෙම අවුස්සන නිව්ස් එන යම් යම් කාල තියෙනවා. නිකමට හිතලා බලන්න. ඔය වඳ පෙති, වඳ බ්‍රා, වඳ පෑන්ටි වගේ මුස්ලිම් විරෝධී සීන් හැම කාලෙම කතාබහට ලක් වෙනවද? නෑනේ. හැබැයි කතාබහට ලක් වෙන කාලෙට හෝයියා කියලා සමහර මාධ්‍ය වලින් දිනපතා ඒක ගැන අප්ඩේට්ස් ගහනවා. ආන්න එතකොට අපි හිතලා බලන්න ඕන ඒ මාධ්‍ය ඇත්තටම පොලිටිකල් පැත්තෙන් ඉන්නේ කොහෙද, පොලිටිකල් පැත්තෙන් ඔය වගේ ජාතිවාදී ආගම්වාදී අවුල් ඇවිලුනහම ඇත්තටම වාසිය තියෙන්නේ කාටද වගේ දේවල්. අන්න එතකොට අපිට පුළුවන් ඕවල ඇත්ත නැත්ත වඩා ගැඹුරෙන් තේරුම් ගන්න.
8. නිව්ස් පිට නිව්ස්: ට්‍රයින් ටූ හාඩ්!
මේකත් ඉතින් සුලභව දකින්න තියෙන කතන්දරයක්. අර ගොබෙල්ස් තියරියෙත් කියනවනේ බොරුවක් වුනත් නිතර නිතර කියනකොට ඒක ඉබේම ඇත්තක් විදියට පිළිගැනෙනවා කියලා. එහෙම එව්වා ඉතින් ඔය සමහර මාධ්‍ය වලින් නිතර නිතර කියනවා. ඉතින් එහෙම මොකක් හරි නිව්ස් එකක් බ්‍රේකින් ගහ ගහා එක දිගටම කියන්න ට්‍රයි කරනවා නම්, අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕන මුන්දැලා මේ එක නිව්ස් එකක් දවසට විසි තිස් පාර ගහ ගහා කාවඩි නටන්නේ ඇයි කියලා. මතකයිනේ පැණි පාලි ටික? විවිධ මාධ්‍ය ආයතන වලින් කොවිඩ් හොඳ කරන පැණි කියලා විවිධ පැණි ජාති ප්‍රොමෝට් කළා. ඒවා ආයෙ පැයට තුන් හතර පාර අප්ඩේට්ස් ගහ ගහා තමයි ප්‍රොමෝට් කළේ. ඇයි ඉතින් එච්චර දඟලන්නේ? ආන්න ඒකයි බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ සහ පාඨකයෝ හිතන්න ඕන.
දැන් තේරෙනවා නේද ඇත්තම නිව්ස් එකක් කොහොමද බොරු නිව්ස් දාහකින් වෙන් කරලා අඳුනගන්නේ කියන එක? අමාරු නෑ. පොඩ්ඩක් සාමාන්‍ය දැනීම සහ මොළේ පාවිච්චි කරන එක විතරයි ඕන කරන්නේ.
Leave a Reply