ලංකාවේ කවීන් ගැන කතා කරද්දි නිතැතින්ම අපේ මතකයට එන කවීන් කිහිප දෙනෙක්ම ඉන්නවා. මහගමසේකර, රත්න ශ්‍රී, කේයස්, මොනිකා රුවන් පතිරණ ඉන් කිහිප දෙනෙක්. මේ අය අපේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාගේ පරම්පරාවලට අයත් උදවිය. ඒ වගේම ඔවුන් ගැන තොරතුරු අපි බොහොමයක් දෙනෙක් දන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා වර්තමානයේ අපේ කවි කෙත සරු කරවන තරුණ පරපුරේ කවීන් කීප දෙනෙක්ව මේ ලිපියෙන් ඔබට හඳුන්වා දෙන්න.
1. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සෙංකොට්ටං පොත නොකියවපු සිංහල පාඨකයෙක්ව නම් හොයාගන්න ගොඩාක් අමාරුයි. ඒක ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච නවකතාවක් වුණා. ඔහු ඊට කලින් ලියපු කවි පොත් දෙකත් අමතක කරන්නම බෑ. ඔහුගේ ‘හිරුත් හිම පියල්ලක’ සහ ‘ඇහි පියන් ඇහැරිලා’ කියන කවි පොත් දෙකත් ගොඩාක් ජනප්‍රිය වුණා. ‘මාණික්කාවත’ සහ ‘අපොයියාව’ නවකතාත් ඔහුගේ ලේඛන හැකියාව අපිට කියාපාන හොඳම නිදසුන් දෙකක්…
2. සෞම්‍ය සඳරුවන් ලියනගේ
2013 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය (කාව්‍ය) දිනනවා එක පොතක්. ‘හැටේ වත්තේ මග්දලේනා’ නම් වූ ඒ පොත තමයි සෞම්‍ය සඳරුවන් ලියනගේගේ පළවෙනිම කවි පොත වෙන්නෙ. පළවෙනි පොතෙන්ම රාජ්‍ය සම්මානයත්, පාඨක ප්‍රතිචාරත් ඔහු දිනාගන්නවා. ඊට පස්සේ සොම්‍ය ලියූ ‘නුඹ නො ඒ නම් කියන්න’ කවි පොතත් ජනප්‍රිය වුණා. ඒ පොත් වල මුලින්ම හිත යන්නේ ඒ කවරයට. එයත් නිර්මාණය කරන්නේ ඔහුමයි. කවි ලියපු මොහුගේ මුල්ම නවකතාව ලෝටසුත් අමුතුම විදියේ කතාවක්.
3. දමිත් උදයංග දහනායක
‘තෙමි තෙමිම මම’ ඇත්තටම මේක පුදුම ලස්සන කවි පොතක්. අපි හිතන්නේ කියවපු කෙනෙක්ට නම් අමතක නොවෙන පොතක්ම වේවි. මේක ලියන්නේ දමිත් උදයංග දහනායක කියන රචකයා. ඊට පස්සෙ ඔහු ලියපු ‘ඉස්කිරීම’ නවකතාවත් හරිම ආදරණීය නවකතාවක් වුණා. එය තෙමි තෙමිම මම කවි පොතටත් ගොඩාක්ම සමීප බවක් පෙන්වුව කතාවක්…
4. රුවන් බන්දුජීව
රුවන් ලියපු ‘මීළඟ මීවිත’ ගොඩක් අයගේ ආසම කවි පොතක්. රුවන් බන්දුජීව කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඇත්තෙත් මේ පොත තමයි. මේ පොත ගොඩගේ, විදෝද්ය සම්මාන උළෙලවලදී ඒ අවුරුද්දේ සම්මාන දිනපු පොතක්. මීලඟ මීවිත කියන්නේ කවියට ප්‍රිය කරන අය අනිවාර්යෙන්ම කියවිය යුතුම කවි පොතක් බව කියන ගමන්ම ඒ පොතේ අපේ සිතට දැනුනු එක කවියක් පහළින් දාන්නම්…
“පියවුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑණු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි”
5. ඉරෝෂන් ප්‍රනාන්දු
‘කළුපාට රෝමාන්තිකයාගේ ආදරවන්තිය’ තමයි ඉරෝෂන්ගේ පළවෙනිම පොත. එය පාඨකයින් අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ ආපු ‘අහේතුක සැරිසරන්නා’ පොතත් ගොඩාක් පාඨකයින් ආදරයෙන් වැළඳගත්තා. ඒ කවි වල රහ කියෝපු අය දන්නවා ඇති.
6. නඳුන් යසිත දහනායක
‘විල් නෙතක මල් මතක’ කවි පොත මතකද? ගොඩාක් ජනප්‍රිය වුණ පොතක්. ඒක කියෝපු කෙනෙක්ට නම් මේ නම අමතක නොවේවි. ‘සුළඟෙහිම සුළඟක්ව’ තමයි ඔහුගේ හතරවෙනි කවි පොත. මේක 2017 අවුරුද්දේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත පුස්තක සම්මානයත් දිනාගත්තා.
7. ඉලක්ෂ ජයවර්ධන
‘කඩා වැටෙන තරුවක්’… මේක කියෝපු අයට ඉලක්ෂ ජයවර්ධන කියන්නේ මොන වගේ කවියෙක්ද කියලා අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕනේ නෑ. කඩා වැටෙන තරුවක් ගොඩාක් ජනප්‍රියම කවි පොතක් වුණා ලංකාවේ පාඨකයන් අතර. ඔහු විසින් ලියන ලද පාර මතකයි ගමට යන්නට, කොළඹටත් හොඳටෝම වහිනවා, ඔබ සොයන තැන වගේ කවි පොතුත් ලංකාවේ ගොඩාක් ජනප්‍රිය වුණා.
මේ ලිපියෙන් අපිට මගහැරුණු මෑත කාලයේ තවත් ජනප්‍රිය කවීන් ගැන ඔබට මතකයට නැගෙනවනම් ඒ ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා.
ශශින් ප්‍රබෝද්
Leave a Reply