රසම රස අන්නාසි ගැටෝ කේක් එකක් මුල ඉඳන්ම හරියට හදාගන්න හැටි දැනගමුද?

ලයිෆි අපි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ ගැටෝ කේක් එකක් හදන හැටි. ගැටෝ කිව්වම චොකලට් ගැටෝ, ස්ට්‍රෝබෙරි ගැටෝ, මැංගො ගැටෝ වගේ ගැටෝ වර්ග ගණනාවක්ම තියෙනව. මේක අන්නාසි ගැටෝ එකක්. ස්පොන්ජ් කේක් එක හදාගන්න විදියේ ඉඳන් පියවරෙන් පියවර මේ අන්නාසි ගැටෝ එක හදන හැටි කේක් හදන්න නොදන්න ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් විදියට බොහොම සරලව දාලා තියනවා. එහෙනම් අපි වැඩේට බහිමු. 

 

1. ස්පොන්ජ් කේක් එක සාදාගන්නා ආකාරය

ස්පොන්ජ් කේක් හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සම්පූර්ණ බිත්තරයම බීට් කරල හදන ක්‍රමය. අනිත් ක්‍රමය බිත්තර කහමද හා සුදුමද වෙන් කරලා හදන ක්‍රමය. අපි අද කියල දෙන්නෙ බිත්තර මද වෙන් කරලා හදන ක්‍රමය. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කාමර උෂ්​ණත්වයේ තියාගත් බිත්තර කහමද 5
  2. කාමර උෂ්​ණත්වයේ තියාගත් බිත්තර සුදුමද  5
  3. කුඩු කරගත් සීනි ග්‍රෑම් 100 (50 බැගින් දෙකට වෙන් කරගන්න)
  4. කේක් පිටි ග්‍රෑම් 100
  5. මෙල්ට් කරගත් ලුණු රහිත බටර් ග්‍රෑම් 45
  6. වැනිලා තේ හැඳි 1/2

 

  • මුලින්ම අවන් එක සෙල්සියස් 170°ට ප්‍රීහීට් වෙන්න තියන්න. කේක් පිටි ටික පෙනේ​රයකින් හලලා තියාගන්න. අඟල් 8ක රවුම් තැටියක් බේකින් ශීට් දාලා ලෑස්ති කරගන්න. මෙල්ට් කරගත් බටර් වලට වැනිලා එක් කර පැත්තකින් තියාගන්න.
  • බිත්තර කහමද වලට සීනි ග්‍රෑම් 50ක් එක් කරගෙන හොඳින් ඉලෙක්ට්‍රික් බීටර් එකකින් බීට් කරගන්න. බීටරේ ඉස්සුවම බීටරෙන් බේරෙන මිශ්‍රණය බැටර් එක මත ඉරි වගේ හිටින ක්‍රීම් ගතියට බීට් වෙන්න ඕන. මේක පැත්තකින් තියාගන්න.
  • වතුර හෝ තෙල් ගතිය නැති හොඳින් සෝදා වියලාගත් පිරිසිදු බෝල් එකකට බිත්තර සුදුමද ටික දාගන්න. ඉලෙක්ට්‍රික් බීටර් එකකින් මීඩියම් ස්පීඩ් එකට බිත්තර සුදුමද බීට් කරන්න ගන්න. 
  • ඉතිරි සීනි ග්‍රෑම් 50 තුන්වරකට සුදුමද වලට එක් කරන ගමන් හොඳින් බීට් කරන්න. හිම වගේ පිම්බිලා භාජනේ අනිත් පැත්ත හැරෙව්වම වැටෙන්නෙ නැති ගාණට බීට් වෙන්න ඕන. (ස්ටිෆ් පීක් ගාණට)
  • දැන් කහමද මිශ්‍රණයට බිත්තර සුදුමද වලින් 1/3ක් එක් කරලා ස්පැතූලා එකකින් හරවමින් ලාවට කලවම් කරන්න. ඒකට කේක් පිටි වලින් භාගයක් එක් කරල කලවම් කරන්න. 
  • ඉතුරු සුදුමද සහ කේක් පිටි ටිකත් මේ විදියටම එක් කරගන්න. මේකට වැනිලා මිශ්‍ර මෙල්ට් කරගත් බටර් ටික එකතු කරල යන්තම් පෙරලමින් කලවම් කරගන්න. 
  • බෝල් එකේ අඩිය සූරමින් උඩට එන විදියට කලවම් කරන්න. මේක ඕනවට වඩා කලවම් කරන්න එපා මොකද මිශ්‍රණයේ තියෙන වාතය එළියට ගියොත් කේක් එකේ සොෆ්ට් ගතිය නැති වෙනවා. සේරම මිශ්‍ර වෙන විදියට අත සැහැල්ලුවෙන් කලවම් කරාම ඇති.
  • දැන් කලින් සූදානම් කරගත් ට්‍රේ එකට මේ මිශ්‍රණය දාගෙන ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 30ක් බේක් කරගන්න. විනාඩි 30කට පස්සෙ කූරක් ගහල මැද බේක් වෙලාද බලන්න නැත්නම් තව විනාඩි කීපයක් තියන්න.
  • බේක් වුණාට පස්සෙ කේක් එක ට්‍රේ එක පිටින්ම දැලක් උඩට අනිත් පැත්ත හරවගෙන තෙත මිරිකගත්ත රෙද්දකින් වහල නිවෙන්න තියන්න.
  • හොඳින් නිවුණම ට්‍රේ එක අයින් කරගෙන හොඳින් ආවරණය කරලා අයිසින් කරන්න කලින් රැයක් තියන්න.

 

2. අන්නාසි සිරප් එක හා ස්ටූ එක

කේක් එක හරිනෙ. දැන් මේකට සිරප් එකයි අන්නසි ස්ටූ එකයි හදාගන්න ඕන. 

 

අන්නාසි සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කපාගත් අන්නාසි කෝප්ප 2
  2. සීනි ග්‍රෑම් 100
  3. වතුර කෝප්ප 1

 

  • පෑන් එකක් ලිපේ තියලා සීනි හා වතුර දාගන්න. ටිකකින් අන්නාසි ටිකත් දාලා හොඳට ස්ටූ කරගන්න. බුබුළු දාගෙන එනකොට ලිපෙන් බාලා අන්නාසි සිරප් ටික සහ කෑලි ටික වෙනම පෙරලා තියාගන්න. 

 

3. විපින් අයිසින් එක

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. විප් ක්‍රීම් 250ml
  2. අයිසින් ෂුගර් ග්‍රෑම් 150 පමණ

 

  • විප් ක්‍රීම් එක ෆ්‍රිජ් එකේ තියලා බීට් කරන වෙලාවටම එළියට ගන්න ඕනේ. ඒ වගේම විපින් අයිසින් එක හදන බෝල් එක සහ බීටර් එකේ කූරු දෙකත් ෆ්‍රිජ් එකේ පැය 1/2ක්වත් තියලා අයිසින් එක හදන වෙලාවට ගන්න ඕනේ. 
  • එහෙම නැත්තන් විපින් අයිසින් එක හදන බෝල් එක අයිස් කැට දාපු බෝල් එකක් උඩ තියාගෙන බීට් කරන්න. (පින්තූරයේ විදියට)
  • දැන් බෝල් එකට විප් ක්‍රීම් දාලා විනාඩියක් හයි ස්පීඩ් බීට් කරන්න. ඊළඟට අයිසින් ෂුගර් දෙතුන් පාරකට ටික ටික දාලා බීට් කරන්න. ස්ටිෆ් ගතියට එනකල් බීට් කරන්න. ස්ටිෆ් වෙන කොටම බීට් කරන එක නතර කරන්න. ගොඩක්ම බීට් කරන්න එපා බටර් වෙන්න බලනවා. මේක ෆ්‍රිජ් එකේ තියාගන්න.

 

4. ගැටෝ එක හදමු

  • හදාගත්තු ස්පොන්ජ් කේක් එක ලේයර් තුනකට කපාගන්න. මේකට වෙනම උපකරණ තියනවා. හැබැයි ඔයාලට පුළුවන් කේක් එක වටේම මාක් කරගෙන පිහියකින් හරි නයිලෝන් නූලකින් හරි ගාණට කපාගන්නත්. 
  • දැන් යටම ලේයර් එක අරගෙන ඒක අපි හදාගත්ත සිරප් එකෙන් 1/3ක් දාල පොඟවගන්න. දැන් අපි හදපු විපින් අයිසින් එකෙන් ටිකක් කේක් එක උඩට දාගෙන හොඳට ලේයර් කරගන්න.
  • ඒකට උඩින් ස්ටූ කරගත්ත අන්නාසි කෑලි ටිකක් දාගන්න.
  • තව කේක් ලේයර් එකක් තියල කලින් වගේම සිරප් වලින් පොඟවගෙන අයිසින් ගාලා අන්නසි දාගන්න.
  • අන්තිම කේක් ලේයර් එක තියාගෙන සිරප් වලින් පොඟවගෙන වටේම විපින් අයිසින් එකෙන් කැමති විදියට කවර් කරගෙන අන්නසි කෑලි වලින් සරසගන්න.

අපි මේ කියලා දුන්නෙ මූලිකවම පයිනැපල් ගැටෝ එක හදාගන්න විදියයි. මේක හදලා බලලා අපිටත් රස කියන්න ඕනෙ හොඳේ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *