කාන්තාවන් අත්බෑග් මිලදී ගන්නකොට දැනගෙන ඉන්න ඕන කාරණා

අත්බෑගයක් එහෙමත් නැත්තම් හරියටම තේරෙන භාෂාවෙන් කිව්වොත් hand bag එකක් කියන්නෙ කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි ආම්පන්න වලින් එකක්. රැකියාවට, කඩපිලට වගේම මඟුලකට, මළගෙදරකට ගියත් මේ අත් බෑගය නැතුව කාන්තාවක් ගෙදරින් එළියට බහින වෙලාවල් බොහොම අඩුයි. ඒ තරමටම ඔවුන්ගේ ඇඳුමත් එක්කම සම්බන්ධ වුණ මෙවලමක් තමයි මේ අත්බෑගය. ඉතින් එච්චර වටිනා අත්බෑගය තමන්ගේ ඇඳුමට, ගමනට වගේම පෙනුමට ගැලපෙන්න මිලදී ගන්නනම් දැනගෙන ඉන්න ඕන පුංචි පුංචි කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ කාරණා නොදන්න කමින් අසරණ වෙන කාන්තාවෝ නිතර දකින නිසාම අපි අද හිතුව මේ අත්බෑගයක් මිලදී ගන්න කලින් දැනගෙන ඉන්න ඕන වැදගත් කාරණා මොනවද කියන එක ගැන පොඩි විස්තරයක් අරගෙන එන්න. මහා ලොකු ගණන් දීල බෑග් අරගෙන අපහසුතාවයට පත්වෙනවට වඩා මේක කියවලම බෑග් එකක් ගන්න යන එක ලොකු උදව්වක් වෙයි. 

 

1. අවශ්‍යතාවය

ඉස්සෙල්ලම බලන්න ඕන දේ තමයි ඔය අපි කලින් කිව්ව අටෝරාසියක් ගමන් අතරින් කොයි ගමන යන්නද මේ බෑග් එක ගන්නෙ කියන එක. ඒ වගේම යන ගමනේ හැටියට බෑග් එකේ දාගෙන යන්න තියෙන්නෙ මොනවද කියන එක. උදාහරණයක් විදිහට පොඩි දරුවෙක් එක්ක ගමනක් යන අම්ම කෙනෙක්නම් පුංචි බෑග් එකක් ලස්සනට විතරක් අරගෙන ගිහිල්ල බැහැනේ. ඒ නිසා ඒ යන ගමනේ අවශ්‍යතාවය අනුව ගමන් මල්ලක් තෝරාගන්න ඕන.

ඒ වගේම තමයි කෝකටත් තෛලය වගේ හැම ගමනටම එකම බෑග් එකක් තියාගෙන ඉන්න එක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. තමන්ට අපහසුයි වගේම පෙනුමටත් ඒක එච්චර ගුණ නැහැ. ලස්සනට අඳින ගැහැණු කෙනෙක් උනහම පෙනුම ගැනත් හුඟක් උනන්දු වෙන එකේ ඒ ඒ ගමනට හරියන විදිහට බෑග් කිහිපයක් තියාගන්න එක තමයි හොඳ. 

 

 

2. ඇඳුමට ගැලපෙන පැහැය

මේකනම් අපි කොහොමත් උනන්දු කාරණාවක්. ගමන් මල්ලක් තෝරගන්නකොට කලිනුත් කිව්ව වගේ කෝකටත් තෛලය වගේ එකම එකක් පාවිච්චි කරන එක ලස්සන නැහැ. අඳින ඇඳුමේ පැහැයට ගැලපෙන්න බෑග් කිහිපයක් අරන් තියාගන්න එක ඕනම කාන්තාවකට වටිනව. රැකියාවකට යන කාන්තාවක්නම් කළු පැහැය හුඟක් ඇඳුම් වලට මැච් කරන්න පුළුවන්. ඒ වගේම දුඹුරු පැහැයත් හුඟක් ඇඳුම් එක්ක ගලපන්න පුළුවන්. ඒ විදිහට තමන්ගේ ඇඳුමට ගැලපෙන්න, හැබැයි ඇස කඩාගෙන යන වර්ණ නොවෙන වර්ණ තෝරාගන්න පුළුවන් රැකියාවකට යනකොට අරන් යන්න. 

යාළුවො එක්ක යන ගමනකට, හවස පාටියකට වගේ තැනකටනම් ටිකක් තද පැහැති වර්ණ වල ගමන් මලු පාවිච්චි කරන්න පුළුවන්.

 

 

3. බෑගයේ ප්‍රමාණය

ප්‍රමාණය ගැන අපි කලිනුත් කතා කළානෙ. ඒ තම තමන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රමාණය වෙනස් වෙන්න ඕන විදිහ. හැබයි මේ කියන්න යන්නෙ වෙනම කතාවක්. අවශ්‍යතාවය වගේම තමන්ගේ ශරීර ප්‍රමාණයටත් බෑග් එකේ ප්‍රමාණය ගැලපෙන්න ඕන. පුංචි ඇඟක් තියෙන කාන්තාවක් මහා විශාල ගමන් මල්ලක් අරගෙන යනකොට කැතයි වගේම තමයි ටිකක් උස මහත කාන්තාවක් පොඩිම පොඩි ගමන් මල්ලක් අරගෙන යනකොටත් කැතයි. ඒ වගේ තමන්ගේ ශරිරයේ උස, මහත ගැන හිතල බලල ගන්න බෑග් එකේ දිග පළලත් තීරණය කරන්න ඕන. 

 

4. ගුණත්වය

හැඩයට ආස වෙලා ගන්නකොට මේ ගුණත්වය කියන කාරණාව මඟ හැරෙන්න පුළුවන්. ඒ නිසා බෑග් එකේ material එක හොඳින් පරික්ෂා කරන්න. සමහර බෑග් ඉක්මනින්ම හම යන්න පුළුවන්. ඒ වගේම ඇතුළත සිප්, බොත්තම් වගේම පිටත පටි ගැනත් ටිකක් පරික්ෂා කරලා බලන්න. මොකද හෑන්ඩ් බෑග් කියන්නෙ ගත්තට පස්සෙ මාරුකරන්න පුළුවන් මෙවලමක් නෙමෙයි. 

ගුණත්වය ගැන ලොකුවටම වදවෙන කෙනෙකුටනම් හොඳම වැඩේ තමයි ටිකක් ඉහළ බ්‍රෑන්ඩ් එකක බෑග් මිලදී ගන්න එක. පෙනුම වගේම කල්පැවැත්ම ගැනත් බය වෙන්න දෙයක් නැහැ. 

 

5. විලාසිතාව

විලාසිතාව කියන්නෙ ඉතින් අපි පුදුම උනන්දුවකින් හොයල බලන කාරණාවක්නේ. හැබැයි බෑග් තෝරනකොට විලාසිතාවත් යන ගමන අනුව තෝරාගන්න ඕන. දිනපතා රැකියාවට ටිකක් සුකුරුත්තන් වැඩි ගමන් මලු ගැලපෙන්නෙ නැහැ. ඒ වගේම පාටියකට යද්දි හුඟක් චාම් ගමන් මලු ගැලපෙන්නෙත් නැහැ. 

ඒ වගේම අළුත්ම hand bag trends ගැනත් නිතර නිතර අවධානයෙන් ඉන්න. ටිකක් පාරට බැහැල ඇවිදිනකොට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. Hand bag එකක් කියන්නෙ ටික කාලයක් පාවිච්චි කරන මෙවලමක් නිසා හැම වෙලාවෙම ගන්නකොට අලුත්ම විලාසිතාවකින් ගන්න අමතක කරන්න එපා.

 

6. මිල

මිල කියන්නෙ ඉතින් එක එක්කෙනාගේ සමාජ තත්ත්වය අනුව සාපේක්ෂ කාරණාවක්. ඒ වගේම මිල කියන්නෙ අපි කොයි දේ ගත්තත් ඉහලින්ම සලකලා බලන කාරණාවක්නේ. හැබැයි මිල බලන්න ගිහින් අනික් වැදගත් කාරණා අපිට මඟහැරෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි. ඒකයි කොච්චර වැදගත් උනත් මේක මුලටම නොලියන්නත් හේතුව. ඔන්න කොහොමින් හරි හැඩය, ප්‍රමාණය, ගුණත්වය ඔක්කොම බලලා මේ මිලත් අනිවාර්යයෙන්ම බලන්න ඕන. තමන්ගේ අවශ්‍යතාවය පාටියක්, outing එකක් වගේ තාවකාලික එකක්නම් අධික මිලක් දීලා බෑග් එකක් ගන්න එක අපරාදයක්. හැබැයි වැඩට යන්න ගෙනියන්න වගේ දෛනික අවශ්‍යතාවයක්නම් ටිකක් ඉහළ මිලක කල්පවතින ගමන් මල්ලක් ගන්න එක නුවණට හුරුයි. ඒ වගේම කඩවල් කිහිපයක මිල ගණන් සංසන්දනය කරල ගෙවන මිලට වැඩියම වටින බෑග් එකක් ගන්නත් මතක තියාගන්න.

 

7. පහසුව

කොයිකටත් ඉහළයි මේ පහසුව කියන කාරණාව. ඔක්කොම දේවල් බලල බෑග් එකක් අරගෙන වැඩක් නැහැ ඒක අරගෙන යන්න තමන්ට අපහසුයිනම්. බෑග් එකේ පටියේ ඝනකම, හැඩය, දිග පළල කියන කාරණා වල ඉඳල ඇතුළත, පිටතට තියෙන ගැජට් කෑලි, හදිස්සියට පොඩි සල්ලි දාගන්න තියෙන පොකට් එකක් වගේ තමන්ට පහසුවට අවශ්‍ය හැමදේම තියෙනවද බලන්න අනිවාර්යයයෙන්ම බෑග් එකක් මිලදී ගන්න කලින්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *