ලෝකය වෙනස් කළ නිෂ්පාදන ලොවට බිහිකළ නම් අපි දන්නවා. තෝමස් අල්වා එඩිසන්, ගුග්ලිඑල්මෝ මාර්කෝනි, ජෝන් ලොගී බෙයාඩ්, චාල්ස් බැබේජ් ආදී නම් ඉලෙක්ට්‍රොනික නිමැවුම් වෙනුවෙන් ලෝ පතල වෙලා තියෙනවා. ඒත් පසුකාලීනව අපේ ගෙදර තියෙන මට්ටමට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ දියුණු කරන්න විශාල ඉලෙක්ට්‍රොනික සමාගම් වලින් ලොකු දායකත්වයක් ලැබුණා. ඉතින් අපි ඒ විදිහට තවමත් ඉලෙක්ට්‍රොනික ලෝකයේ ජනප්‍රිය සෝනි ගමන්මග සහ නිෂ්පාදන ගැන දැනගමු.
1. ආරම්භය සහ මුල් ගල
ඉබුකු මසරු සහ මොරිටා අකියෝ කියන දෙන්නා එකතුවෙලා මුලින්ම පිහිටුවාගන්නේ සෝනි ටෙලිකොමියුනිකේශන් ඉන්ජිනේරු සමාගම කියලා එකක්. 1946 ඒක පටන් ගද්දි ජපානය ලෝක යුද්දෙන් හොඳටම බැටකාලා නට්ටන් වෙලා හිටියේ. ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවුණ ආර්ථික අර්බුදයත් එක්ක මිනිස්සු බඩු භාණ්ඩ මිලදීගන්නවත් හොරයි. ඒත් සෝනි කියන නමින් තමුන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්නේ 1958 දී. සෝනි සමාගමේ මුල්ම නිෂ්පාදනය රයිස් කුකර් එකක්. නමුත් ඒක එච්චර හොඳ එකක් වුණේ නැහැ. ඒ වෙද්දි මිනිස්සුන්ට තිබුණ ප්‍රශ්නයක් තමයි රේඩියෝ රෙපෙයාර් කරගන්න එක. ඒ නිසා සෝනි මුල් කාලේදි මිනිස්සුන්ගේ රේඩියෝ රෙපෙයාර් කරන වැඩ සහ අලුත් භාණ්ඩ නිපදවීම කියන කාර්යයන් දෙකම එකම වහලක් යටදි කළා.
2. පොකට් රේඩියෝවෙන් ටීවී එකට
සෝනි සමාගමේ පොකට් රේඩියෝ තමයි මුලින්ම හොඳට අලෙවි වුණේ. ඔවුන් 1957දි නිපද වූ පොකට් රේඩියෝව බොහොම ජනප්‍රිය වුණා. 1962 දී සමාගම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ජපාන ධජය යටතේ සිය වෙළඳාම් ආරම්භ කරනවා. 1964 දී සෝනි සමාගම එම්-ඩී 5 නැමැති ට්‍රාන්සිස්ටර් ඩෙස්ක්ටොප් සර්කියුලේටරය හදනවා. 1971දී ජපාන සෝනි සමාගම ඔවුන්ගේ ප්‍රථම රූපවාහිනිය නිපදවූවා. එවකට පැවති රූපවාහිනී වලට වඩා වර්ණ අතින් සාර්ථක මේ කලර් ටීවී එක සෝනි සමාගමේ පසුකාලීනව වැඩිම අලෙවියක් තිබූ භාණ්ඩයක් වුණා. ට්‍රාන්සිස්ටර් තාක්ෂණය සමග වඩාත් කුඩාවට තත්ත්වයෙන් ඉහළ මේ සෝනි ටීවී එක ජපන් බඩු ගැන ලෝකයේ ජනතාව අතර තිබුණ මතය වෙනස් කරන්නට සමත් වුණා.
3. වී එච් එස් (VHS) සහ වෝක්මන්
සෝනි සමාගම 1975 දී වී සී ආර් තාක්ෂණයට යොමු වුණත් මුල් කාලයේදී ඔවුන්ට වීඩියෝ පට නිපදවීම සාර්ථක කරගන්න බැරිවුණා. ඒත් 1988 දී ඔවුන් වී එච් එස් තාක්ෂණය හඳුන්වා දුන්නා. දැන් නම් වී එච් එස් පට අපි අතර නැහැ. ඒත් 1990 කාලයේදී ලංකාවෙත් වී එච් එස් පට කුලියට දෙන, විකුණන තැන් ජනප්‍රියව තිබුණා. ඒ වගේම සෝනි සමාගමේ ජනප්‍රියම බඩුවක් තමයි වෝක්මන් කියන පෝටබල් රේඩියෝ එක. ඒක දැන් ජනප්‍රිය වෙලා තියෙන තැන තැන ගෙනියන සුපිරි ෆෝන් වගේ ඒ කාලේ ධනවතුන් අත තිබුණ හොඳ කෙළි බඩුවක් වුණා. වෝක්මන් එකට දැම්මේ කැසට් පීස්.
4. කම්පැක්ට් ඩිස්ක් පෙරළිය
එවකට ලෝකයේ (1970-80) සංයුක්ත තැටි නිපදවීමේ තාක්ෂණය තිබුණේ ෆිලිප්ස් සමාගමට. ජපානයේ එම තාක්ෂණය එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා සෝනි සමාගම ෆිලිප්ස් එක්ක එකතු වෙලා දැනට තිබෙන ප්‍රමාණයේ සීඩී එක වෙළඳපොලට ඉදිරිපත් කළා. අදටත් තිබෙන ඩීවීඩී, සීඩී ආදිය නිපදවන්නේ ඒ තාක්ෂණයේම දිගුවක් විදිහට තමයි. ඒ එක්ක සීඩී එකක් දාන්න පුළුවන් වෝක්මන් කරළියට ආවා.
5. චිත්‍රපට සහ ඕඩියෝ
1985 දී සෝනි සමාගම එවකට විශාලතම රෙකෝඩ් සමාගම වුණු සීබීඑස් සමාගම මිලදී ගත්තා. ඉන් පසුව කොළොම්බියා පික්චර් සහ එන්ටර්ටේන්ම්න්ට් කියන චිත්‍රපට නිපදවන සමාගමත් සෝනි සමාගම මිලදී ගත්තා. අදටත් කොළොම්බියා පික්චර් සමාගම සෝනි සමාගම යටතේ දැවැන්ත සිනමා නිර්මාණ ඉදිරිපත් කරනවා.
6. ප්ලේස්ටේෂන්
දැනට සෝනි සමාගමේ තිබෙන නිෂ්පාදන වලින් වැඩිම අලෙවියක් තියෙන නිමැවුමක් තමයි ප්ලේස්ටේෂන් වීඩියෝ ගේම් කොන්සෝල් එක. ඒක බිහිවෙන්නේ 1994 දී. ඒ වෙද්දි සෝනි සමූහ ව්‍යාපාරය එතරම් හොඳ තැනක නෙමෙයි තිබුණේ. පසුකලෙක සෝනි සමාගම ඔන්ලයින් වර්චුවල් රියලිට් ගේම් වලටත් හොඳ වෙළඳපොලක් හදා ගත්තා. මේ ප්ලේස්ටේෂන් මාදිලි කිහිපයක්ම නිකුත් වී ඇති අතර දැනටත් සෝනි ප්ලේස්ටේෂන් ගේම් ගහන අය අතර නම රැන්දූ නිමවුමක් වෙනවා.
7. සෝනි කැමරා
වර්තමානය ගතහොත් සෝනි සමාගමේ තියෙන ප්‍රබලම බලයක් තමයි කැමරා තාක්ෂණය. කැමරා තාක්ෂණය චීනයේදී වර්තමානයේ පවා එතරම්ම දියුණු නැහැ. දැනට එන ඉහළම මට්ටමේ ස්මාට්ෆෝන් කැමරා බොහොමයක් සෝනි සමාගමේ නිපදවූ ඒවා වෙනවා. ඒ වගේම සෝනි සමාගමට වෙනමම පොකට් කැමරා සහ ඩිජිටල් කැමරා ලෝකයේ තැනක් තියෙනවා. මේ කැමරා සෙන්සර් නිෂ්පාදනය සහ කැමරා නිපදවීම තවමත් සෝනි සමාගමට විශාල වශයෙන් ආදායම් ගෙන එනවා.
අදටත් සෝනි සමාගමේ නිෂ්පාදන වලින් සියයට 30%ක්ම ජපානය තුළ අලෙවි වෙනවා. සෝනි සමාගමෙත් ස්මාට්ෆෝන් සහ මෑතකදී නිකුත්කළ ඇතැම් නිෂ්පාදනවලට වැඩිපුර වෙළඳපොල ආකර්ෂණය වුණේ නැහැ. ඒත් අපේ නිවෙස්වල පාවිච්චි කරන මට්ටමට ඇතැම් දේවල් දියුණු කරන්න සෝනි සමාගමෙන් ලැබුණ දායකත්වය සුළු පටු නැහැ. ඉතින් නව නිමැවුම් ඇතිවීම වගේම නව නිමැවුම් වලට වෙළඳපොලක් හදාදෙන මේ වගේ විශාල සමාගමුත් රටට ලෝකයට විශාල මෙහෙයක් කරනවා.
Leave a Reply