විස්සයි විස්ස වේවා, එක්දින වේවා, ටෙස්ට් වේවා එක පන්දු වාරයකට ලකුණු තිහකට උඩින් වාර්තා වෙනවා කියන්නේ පන්දු යවන්නාට උපරිම ලැජ්ජාවක් එකතුවෙන කාරණයක්. ඒ වගේම පිතිකරුවාගේත් ප්‍රහාරාත්මක හැකියාව ගැන ඉහළින්ම පෙන්නුම් කරන අවස්ථාවක් ඒක. විස්සයි විස්ස තරම් ප්‍රවේගකාරී නොවුණත්, විටින් විට එක්දින තරඟ පිටියේදීත් අපි දකිනව විස්සයි විස්ස අභිබවා යන විදිහේ ප්‍රහාරාත්මක පිති හරඹයන්. මේ ඒ විදිහේ පිති හරඹ දක්වමින්, එක්දින තරඟයක තනි පන්දු ඕවරයක් තුළදී වැඩිම ලකුණු ලබාගත් අවස්ථා 7ක් ගැනයි අපි ඔබට කියන්නේ.
1. හර්ෂල් ගිබ්ස් (Herschelle Gibbs) – ලකුණු 36
ලෝක එක්දින ක්‍රිකට් ජාත්‍යන්තර තරඟවලදී පන්දු ඕවරයකට හයේ පහර හයක් එල්ල කරන්න සමත් වුණු එකම ක්‍රීඩකයා වෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්. 2007 අවුරුද්දේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී නෙදර්ලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක වෑන් බන්ජ් හටයි මේ ප්‍රවේගකාරී හයේ පහර වැස්ස එල්ල වෙන්නේ. තරඟයේ 29 වන ඕවරයේදී සිදු කරන ලද මේ ප්‍රහාරයෙන් පස්සේ ඕවරයේදී ගිබ්ස් ලකුණු 72කට දැවී යන්නේ අද වෙනතෙක් මෙම සුවිශේෂී එක්දින දස්කම දැක්වූ එකම ක්‍රීඩකයා හැටියට වාර්තා පොත්වලට එක් වෙමින්.
2. තිසර පෙරේරා – ලකුණු 35
2013 වසරේදී පල්ලෙ කැළේ ක්‍රීඩාංගනයේ පවත්වපු මේ තරඟයේදී අපේ ප්‍රතිවාදීන් වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 223ක් පමණයි. ඒත් මේ තරමක පහසු ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවකදී ලකුණු 93කට කඩුලු 7ක් දැවිලා අසරණ අඩියකට වැටෙනවා. තරඟයේ 33 වැනි පන්දුවාරය දමන්න රොබින් පීටර්සන් එද්දි තිසර පෙරේරා පන්දු 14කට ලකුණු 5ක් රැස් කරගෙන මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කරමින් තමයි ඉන්නේ. ඒත් පීටර්සන්ගේ පළමු පන්දුවටම තනි අතින් ස්ක්වෙයාර් ලෙග් ප්‍රදේශයෙන් හයේ පහරක් එල්ල කරමින් ඕවරයට වේගවත් ආරම්භයක් ගන්න පෙරේරා සමත් වෙනවා. ඊළඟ පන්දුව හැටියට පීටර්සන් එවන පන්දුව වයිඩ් පන්දුවක් හැටියට සළකුණු වෙනවා. ඉන් පස්සේ පීටර්සන් එවන ඉතුරු පන්දු 5ටත් හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් තිසර විසින් එල්ල කරනු ලබනවා. මේ තරඟයේදී ලකුණු 65ක් රැස් කරමින් තිසර ක්‍රීඩා කරපු ඉනිම ලාංකික ක්‍රීඩා ලෝලීන්ට යම් බලාපොරොත්තුවක් එක් කළත් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 167කට සියළු දෙනා දැවී යනවා.
3. ඒබී ඩිවිලියර්ස් (AB de villiers) – ලකුණු 34
2015 ඕස්ට්‍රේලියාවේදී පවත්වපු එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී තමයි ඒබී ඩිවිලියර්ස් මේ දස්කම දක්වන්නේ. ඔහුගේ ප්‍රහාරයේ ගොදුර බවට පත් වෙන්නේ කොදෙවු වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් හෝල්ඩර්වයි. මේ තරඟයේ මුලින් පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම අති දැවැන්ත ලකුණු 408ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට මූලික සහාය ලැබෙන්නේ ඒබී ඩිවිලියර්ස් විසින් පන්දු 66ක් තුළදී ලබා ගන්නා වේගවත් ලකුණු 162යි. මෙය එතෙක් මෙතෙක් ලෝක කුසලාන එක්දින තරඟයක වාර්තා කරන ලද තුන් වැනි වේගවත්ම ශතකයද වනවා. මේ තරඟයේ ජේසන් හෝල්ඩර්ගේ 9 වැනි පන්දු වාරයේදී ලකුණු 34ක් රැස් කිරීමට ඒබී ඩිවිලියර්ස් සමත් වෙනවා. නිපන්දු 2කුත් යවනු ලැබූ මේ පන්දු ඕවරයේදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් එල්ල කරමින් කණ්ඩායමට ලකුණු 34ක් එකතු කරන්න ඩිවිලියර්ස් සමත් වෙනවා.
4. ජිමී නීෂම් (James Neesham) – ලකුණු 34
2019 අවුරුද්දේ නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පවත්වපු මේ එක්දින තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට නම් අමතක වෙන්න විදිහක් නැහැ. මේ තරඟයේ නවසීලන්ත කණ්ඩායම රැස් කරපු ලකුණු 319 පසුපස හඹායන අපේ කණ්ඩායම එක අවස්ථාවකදී ලකුණු 128කට කඩුළු 7ක් දැවී පරාජයේ අභියස ඉන්නේ. නමුත් තිසර පෙරේරා විසින් රැස් කරන ලද වේගවත් ලකුණු 140 නිසා අපි ජයග්‍රහණය ආසන්නයටම පැමිණියත්, අවසානයේදී අපිට පරාජය හිමි වෙනවා. මේ තරඟයේ තිසරගේ විශිෂ්ට පිති හරඹය නිසා ඔහුට තරඟයේ වීරයා සම්මානයත් හිමි වෙනවා. එහෙම වුණත් මේ තරඟයේ තිසර පන්දු යවද්දී ඔහුට අමතක නොවන අමිහිරි අත්දැකීමක් උරුම කරන්න නවසීලන්ත ක්‍රීඩක ජිමී නීෂම් සමත් වෙනවා. ඒ තිසර විසින් යවනු ලැබූ තරඟයේ 49 වන පන්දු වාරයේදී හයේ පහර 5ක් සමගින් ලකුණු 34ක් රැස් කිරීමෙන්. කොහොම නමුත් අවසානයේදී පිත්තෙන් තිසර දැක්වූ සුවිශේෂී පෙළහර නිසාවෙන් තිසරගේ ඕවරයේදී සිදු වූ විනාශය මැකී යනවා.
5. ෂහීඩ් අෆ්රිඩි (Shahid Afridi) – ලකුණු 31
2007 අවුරුද්දේ අබුඩාබිවල පවත්වපු මේ තරඟයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් ලකුණු 235ක් රැස් කරනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායමේ මුල් කඩුළු 5 ලකුණු එකසිය තිස් ගණනකට දැවිලා තරඟය බොහොම තියුණු මට්ටමකයි තියෙන්නේ. ඒත් හයවෙනි කඩුල්ල සඳහා කම්රන් අක්මාල් සමග එක්වෙන ෂහීඩ් අෆ්රිඩි තව එකදු කඩුල්ලක්වත් දැවී යන්නට ඉඩ නොදී තරඟය හමාර කරනවා. පන්දු 34 කින් ලකුණු 73ක් ලබාගන්නා අෆ්රිඩි එක පන්දු වාරයකදී ලකුණු 31ක් රැස් කරන්නත් සමත් වෙනවා. අෆ්රිඩිගේ ඒ ප්‍රහාරයට ලක්වෙන්නේ අපේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වුණු මාලිංග බණ්ඩාරයි.
6. ජේම්ස් ෆ්‍රෑන්ක්ලින්/ කේන් විලියම්සන් (James Franklin/Kane Williamson) – ලකුණු 31
මෙතෙක් වෙලා අපි කියපු පන්දු වාරයකදී වැඩිම ලකුණු රැස්කිරීම් හැම එකකටම ඇතුළත් වුණේ තනි ක්‍රීඩකයෙක් පන්දු යවන්නන්ට ලකුණු ගහපු අවස්ථායි. හැබැයි දැන් මේ කියන්න යන වැඩිම ලකුණු වාර්තාවට නම් ක්‍රීඩකයින් දෙන්නෙක්ම අයිති වෙනවා. 2011 එක්දින ලෝක කුසලානයේ නවසීලන්තය සහ කැනඩාව අතර පැවැති තරඟයක අවසන් පන්දු වාරයේදී නවසීලන්තයේ ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් සහ කේන් විලියම්සන් තමයි මේ ලකුණු 31 රැස් කරන්නේ. ඒ වගේම මේ පන්දු වාරය පන්දු යවන්නන් දෙන්නෙක් විසින් යවා නිම කිරීමත් විශේෂයි. මුලින්ම පන්දු යවන රිස්වාන් චීමාගේ පළමු පන්දු 5දී ලකුණු 28ක් රැස් කරන්න ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් සමත් වෙනවා. බීමර් පන්දු දෙකක් යැවීම නිසා අවසාන පන්දුව යවන්න ඉතිරිව තිබියදී රිස්වාන් චීමාව පන්දු යැවීමෙන් ඉවත් කරනවා. ඉතුරු පන්දුව යවන්න එන්නේ මද වේග පන්දුයවන බයිඩ්වාන්. ඔහු ඊළඟට වයිඩ් පන්දුවක් යවනවා. අවසාන පන්දුවේදී තවත් ලකුණු 2ක් සමගින් පන්දුවාරයේ මුළු ලකුණු සංඛ්‍යාව 31 දක්වා ඉහළ නංවාගන්න නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වෙනවා. මේ ලකුණු 31 වාර්තාවට නම ඇතුළු වුණත් විලියම්සන් මේ පන්දු වාරයේදී රැස් කරන්නේ 1 ලකුණක් පමණක් වීමත් විශේෂයි.
7. ශ්‍රෙයාස් අයියර්/රිෂාබ් පන්ට් (Shreyas Iyer/Rishabh Pant) – ලකුණු 31
එක්දින තරඟයක පන්දු වාරයකදී වැඩිම ලකුණු රැස් කරගත් ලැයිස්තුවේ 7 වෙනි තැන හිමිවෙන්නේත් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට. ඒ ඉන්දියාවේ ශ්‍රෙයාස් අයියර් සහ රිෂාබ් පන්ට්ට. වාර්තාවට නම ඇතුළත් වුණාට රිෂාබ් පන්ට් රැස් කරන්නේ එක ලකුණක් විතරයි. ප්‍රහාරාත්මක පිතිකරු ශ්‍රෙයාස් අයියර් හයේ පහර හතරක් සහ හතරේ පහරක් සමගින් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තමයි මේ ලකුණු සංඛ්‍යාව රැස් කරන්නේ. මේ දැවැන්ත ප්‍රහාරයට ලක්වෙන බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ රොස්ටන් චේස් මේ පන්දුවාරය යවන්න කලින් පන්දු ඕවර 4කට ලකුණු 18ක් පමණක් ලබාදී සාර්ථක පන්දු යැවීමක නිරත වෙලා හිටපු ක්‍රීඩකයෙක්. නමුත් මේ ප්‍රහාරයත් සමගම පන්දු ඕවර 5ක් අවසානයේ ලකුණු 48ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වෙනවා.
Leave a Reply