මේක සමහරුන්ට හිනා යන දෙයක්. හැබැයි මේ ප්‍රශ්නෙන් පීඩා විඳින අයට නම් රෑට පේන නපුරු හීනයකටත් වඩා අප්සට් කාරණාවක්. දැන් පොඩි දරුවන්ට චූ දාන්න ටොයිලට් එකට යන්න ඕන කියලා දැනීමක් නැති කාලෙදී ඇඳේම කියලා නෑ චූ යනවා. සමහර වෙලාවට ටිකක් වැඩිමහළු ළමයින්ට වුනත් විවිධ හේතු නිසා නින්දෙන්ම ඇඳේ චූ යන්න පුළුවන්. එතකොට වැඩිමහළු මිනිසුන්ට ගැහැණුන්ටත් කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක් තමයි ඇඳේම චූ යන එක නින්දෙන්. කියන විදියට ගොඩක් වෙලාවට වෙන්නේ මේ අය හීනෙන් දකිනවා චූ බර වෙලා ටොයිලට් එකකට යනවා හරි, ඒ වගේ සමාන දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි ඇහැරගෙන ඉන්නකොට වුනත් ලඟපාත චූ දාන්න පුළුවන් ටොයිලට් එකක් හරි ඒ වගේ තැනක් නැතිනම් අපි තදකරගෙන ඉන්නවනේ. හැබැයි ටොයිලට් එකකට ගියාට පස්සේ අපි දන්නවා නිදහසේ චූ දාන්න පුළුවන් කියලා, එතකොට අපි අර හිරකරගෙන ඉන්න එක අත ඇරලා චූ දානවා. දැන් නින්දෙදිත් වෙන්නේ ඒ වගේ දෙයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හීනෙන් දැක්කහම චූ බරක් හැදිලා ටොයිලට් එකට හෝ චූ දාන්න පුළුවන් තැනකට යනවා, හීනෙන්ම අර තදකරගෙන ඉන්න චූ බර නිදහස් කරනවා. ආන්න එතකොට ඇඳේම තමා. හැබැයි ඇඟේ චූ යනවා දැනෙනකොට තමයි අපිට නින්දෙන්ම තේරෙන්නේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඔන්න එතකොට ඇහැරෙනවා. හැබැයි එතකොට පරක්කු වැඩියි. ඇඟෙයි, ඇඳුමෙයි, ඇඳෙයි ඔක්කොගෙම චූ ගිහින් ඉවරයි!
ඕක ජීවිතේට එක පාරක් දෙපාරක් වෙන එක නෙවෙයි ප්‍රශ්නේ, අඩු ගාණේ සතියකට සැරයක්වත් සිද්ධ වෙනවා කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයිද? මොකද පැම්පර්ස් ඇඳගෙන නිදාගන්නද? අන්න ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? අන්න ඒ ගැන දැනගන්න මේ උපදෙස් කීපය කියවලා බලන්න!
1. අවුලක් ගන්න එපා
මේක ඇත්තටම ගොඩක් අයට ලැජ්ජා හිතෙන සිදුවීමක්නේ. විශේෂයෙන්ම වැඩිමහළු කෙනෙක්ට ඇඳේ නින්දෙන් මුත්‍රා යනවා කියන එක තව කෙනෙක්ට කියන්නත් ලැජ්ජා වෙන සිදුවීමක්. නරකම දේ තමයි මේක මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් වීම. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න මුලින්ම කරන්න ඕන දේ තමයි මේක මානසිකව වැටෙන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි කියන එක තේරුම් ගැනීම. ඒ වගේම තමන්ගේ ලඟ කෙනෙක්ට, ගෙදර අයට මේ ප්‍රශ්නය ගැන කියන එක වඩාත් පහසුවක්.
2. නිදාගන්න කලින් කොච්චර වතුර බොනවද?
අපි හොඳට වතුර බොන්න ඕන. ඒකේ කිසිම විවාදයක් නෑ. අපි දවසකට වතුර හොඳට බොන එක සජලතාවයෙන් පසුවෙන්න හේතුවක්. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ට දවසකට වතුර ලීටර් 3.7 ක් විතරත්, ගැහැණු කෙනෙක්ට දවසකට වතුර ලීටර් 2.7 ක් විතරත් බොන්න කියලා තමයි ඔය සමහර විද්‍යඥ ගොල්ලෝ කියන්නේ. හැබැයි ඉතින් නිදාගන්න කලිනුත් සෑහෙන්න ප්‍රමාණයක් වතුර බොන එක නම් හොඳ වැඩක් නෙවෙයි. මොකද, ඒකෙන් වෙන්නේ රෑ මැද වෙනකොටත් මුත්‍රාශය පිරිලා මූත්‍රා කරන්න වුවමනාව ඇතිවෙන එක. අන්න ඒ නිසා නිදාගන්න පැයකට දෙකකට කලින් ඉඳන් පොඩ්ඩක් වතුර බොන එක සීමා කරන එක යෝග්‍යයි.
3. කැෆීන් ලෙවල්
සාමාන්‍යයෙන් තේ, කෝපි විතරක් නෙවෙයි, ඔය කාබනීකෘත බීම – ඒ කියන්නේ එක එක පැණි බීම වර්ග, කෝලා වර්ග- සහ එනර්ජි ඩ්‍රින්ක්ස් එහෙමත් බිව්වහම මුත්‍රා කරන්න ඕන අවශ්‍යතාවය වැඩි වෙනවා කියලා දැනිලා තියෙනවද? ඇත්තටම තේ, කෝපි සහ වෙනත් මේ කියපු බීම වර්ග වල තියෙන කැෆීන් වලින් මුත්‍රා නිෂ්පාදනය වැඩිවීමක් වෙනවා. අන්න ඒ නිසා එකක්, සමස්තයක් විදියට මේ බීම වර්ග හෝ තේ, කෝපි පවා දවසකට ගන්න ප්‍රමාණය පාලනයක් තියාගන්න එක හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම නින්දට යන්න පැය කීපයකට පෙර තේ, කෝපි හෝ පැණි බීම අනං මනං කොහෙත්ම පාවිච්චි නොකරන එක ඉතාම හොඳයි.
4. ඇඳට යන්න කලින් බාත්රූම් යමු
මේක ඉතින් අනිවාර්යයෙන්ම පුරුද්දක් විදියට කරන එකෙන්, ඔය රාත්‍රියට ඇඳේ මුත්‍රා පිටවීමේ ප්‍රශ්නය සෑහෙන දුරට විසඳගන්න පුළුවන් වෙයි. නිදාගන්න යන්න මොහොතකට කලින් පුරුද්දක් විදියට බාත්රූම් එකට ගිහින් මුත්‍රා කරලා එමු. මතක තියාගන්න, මේකට මුත්‍රා බරක් තියෙන්නම ඕන නෑ. නිකම් ගිහින් කොමෝඩ් එකට ටික වෙලාවක් අල්ලගෙන හිටියත් මුත්‍රාශයේ තියෙන පොඩ්ඩක් හරි යයිනේ. වැදගත් වෙන්නේ සැහැල්ලු මුත්‍රාශයකින් යුතුව නින්දට යන එක. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් සමහරු නින්දට යන්න ඇඳට ගිනින් ස්වයං වින්දනයේ යෙදෙනවනේ. ස්වයං වින්දනයේ යෙදුණට පස්සේ සමහරුන්ට මුත්‍රා බරක් එනවා. අන්න ඒ නිසා එහෙමම නිදාගන්නෙ නැතුව මුත්‍රා කරලා ආයෙමත් ඇඳට ඇවිත් නිදාගත්තත් කමක් නෑ.
5. බාත්රූම් එක කොහේද?
රෑ තිස්සේ ඇඳේ මුත්‍රා කරන ප්‍රශ්නෙට සෘජු විසඳුමක් නොවුණත්, රාත්‍රියට බාත්රූම් එකට යන්න ඕන වුණහම පහසුවෙන් යන්න පුළුවන් වීමත් ඒ ප්‍රශ්නේ විසඳගන්න තියෙන ප්‍රොසෙස් එකට වැදගත් වෙනවා. විශේෂයෙන්ම නයිට් බල්බ් එකක් හෝ තිබීම නිසා කරුවලේ බිත්ති වල හැප්පි හැප්පි බාත්රූම් එකට යන්න ඕන වෙන්නෙ නෑ. එතකොට යන පාරේ පුටු අනං මනං තියෙනවා නං, ගෙදර පොඩි අය ඉන්නකොට සෙල්ලම් කරපු සෙල්ලම් බඩු එහෙම බාත්රූම් එකට යන පාරේ අතන මෙතන දාලා තියෙනවා නං ඒවා ඔක්කොම නිදාගන්න යන්න කලින් අයින් කරලා තියෙන එක වැදගත් වෙයි.
6. ඕන නම් රෑ මැද එලාම් එකක්
මේක ඕන නම් කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි රෑ මැද ඇහැරෙන්න එලාම් එකක් තියාගන්න එක. හැබැයි මේක තාවකාලිකව කරන්න ඕන දෙයක් මිසක් දීර්ඝකාලීනව හොඳ දෙයක් නෙවෙයි. මොකද, අපිට අතරමගදී කැඩෙන්නෙ නැති ගැඹුරු නින්දක් අවශ්‍යයි. ඒ නිසා ගැඹුරු නින්දේ ඉන්න අතරේ දිනපතාම ඇහැරෙන්න වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. හැබැයි අපිට ඇඳේ මුත්‍රා යන ප්‍රශ්නය පොඩ්ඩක් පාලනය කරගන්න කල්, රෑ මැද “චූ කරන්න යන්න එලාම් එකක්” තියාගන්න පුළුවන්. ඒත් ඒක ප්‍රශ්නය පාලනයකට එනකොටම නවත්තන්න වෙනවා. නැත්නම් ඒකත් පුරුද්දකට යන්න පුළුවන් නිසා.
7. වෛද්‍ය උපදෙස්
දැන් අපි මේ කථා කරන්නේ සාමාන්‍යය හේතු නිසා නිදි ඇඳේ මුත්‍රා පිටවෙන අවුල ගැනනේ. හැබැයි නිරන්තරයෙන් ඇඳේ මුත්‍රා පිටවෙනවා නම්, ඒක වෙනත් සෞඛ්‍ය ප්‍රශ්නයක මුලක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් යම් කිසි මූත්‍රාශය පාලනය කරගැනීමේ අපහසුවක් ඇති කරන රෝගයක රෝග ලක්ෂණයක් නිදි ඇඳේ මූත්‍රා පිටවීම විදියට එළියට එන්න පුළුවන්. අන්න ඒ නිසා නිරන්තරයෙන්ම මේ නිදි ඇඳේ මුත්‍රා පිටවීම සිද්ධ වෙනවා නම්, වෛද්‍යවරයෙක් මුණගැහිලා, නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න එක තමයි හොඳම දේ.
Leave a Reply