ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ වරප්‍රසාද

මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට ලෙඩක් දුකක් හැදුන විට ඒ ගැන මහජනයා ලෙස අප අසතුටු විය යුතුය. එහෙත් මෙවර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඇමතිවරු, මන්ත්‍රීවරු ගැන වාර්තා වූ විට මහජනයා ඒ ගැන වැඩි වශයෙන් සතුටු වූහ. වෙනත් ආසාදිත රෝගීන් උණ රෝහල සහ අදාළ රෝහල් කරා යද්දි ඇමතිවරු ඉස්පිරිතාල සඳහා ජනප්‍රිය නොවන හික්කඩුව, වාද්දුව වැනි පළාත් වල විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරන අයුරුද අපි දුටුවෙමු. එදා මන්ත්‍රීවරුන් දුම්රියේ, බස් රියේද ගමන් ගත් මුත් අද ඔවුන් ඒ මට්ටමේ ජනතාව හා සමීප වන්නේ මැතිවරණ යුගයක් පැමිණි විට පමණි.

 

1. රැස්වීමේ දීමනාව

පාර්ලිමේන්තු රැස්වීම් රූපවාහිනියෙන් විකාශනය වන මේ කාලයේදී නම් පාර්ලිමේන්තු රැස්වීම් වල මන්ත්‍රීවරුන් පෙනී සිටීමට ආසා කරති. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225න් 200ක්වත් පැමිණෙන්නේ එහෙමත් දිනකය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක් දිනක් පැමිණීම සඳහා පැමිණීමේ දීමනාව වශයෙන් රුපියල් 2500ක් ලැබේ. පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ නැති දිනවල කාරක සභා රැස්වේ නම් ඒ කාරක සභා වලට සහභාගී වන මන්ත්‍රීවරුන්ටත් මේ රුපියල් 2500 ලැබේ.

 

2. කාර්යාල දීමනාව

කාර්යාල දීමනාව ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් හිමි අතර ඒ කාර්යාලයේ සිටින කාර්ය මණ්ඩලය සඳහාද දීමනාවක් ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ 4දෙනෙක් සඳහා ගෙවීම් කරන අතර අමාත්‍යවරයෙකුට කාර්යමණ්ඩලය 15ක් පමණ තබාගත හැකිය. ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට්‍රල් ලීටර 218ක් වෙනුවෙන් අරමුදල් ලැබෙන අතර ඩීසල් වාහනයක් නම් ලීටර 264ක් සඳහා ඉන්ධන දීමනා ලැබේ. නියෝජ්‍ය ඇමති කාර්යමණ්ඩලයට වාහන 3ක් අයත් කරගත හැකිය. අමාත්‍යවරයකුට වාහන 5ක් හිමිය.

 

3. වැටුප්

සිංගප්පූරුව වැනි රටවල ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට කෙලින්ම ලැබෙන වැටුප වැඩිය. එයින් ඔවුන් මන්ත්‍රීවරුන්ගේ වක්‍ර ඉපයීම් සහ දූෂණ අඩුකිරීම අපේක්ෂා කරති. ලංකාවේ නම් සාපේක්ෂව මන්ත්‍රී සහ ඇමතිවරුන්ගේ මූලික වැටුප තරමක් අඩුය. කොටින්ම දැන් පුද්ගලික අංශයේ විධායක නිලධාරීනුත් බොහෝවිට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා වැඩි වැටුප් ගනිති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල් 54,285කි. නියෝජ්‍ය ඇමතිවරයකුගේ වැටුප රුපියල් 63,500/කි. ඇමතිවරයෙකු නම් වැටුප 65,000ක් වේ.

 

4. තීරුබදු රහිත වාහන

පාර්ලිමේන්තුවේ සිටින දුප්පත් මන්ත්‍රීවරුන්ට මේ ලැබෙන වාහන බලපත මහත් අස්වැසිල්ලක් විය. ඔවුන්ට සියළු තීරුබදු නැතිව වාහන ගන්න පුළුවන් නිසා හොඳ සුපිරි මට්ටමේ වාහනයක් රුපියල් ලක්ෂ 30-40කට මිලදී ගන්නට හැකිය. ඉන් පසු ඒ වාහනය රුපියල් ලක්ෂ 150-200කට විකුණා දැමීම අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ගේ සිරිතකි. කෙසේ වෙතත් රුපියල් හැටපන්දහසක පමණ වැටුපක් ලැබෙන මන්ත්‍රී, ඇමතිවරුන් රුපියල් ලක්ෂ 30-40ක් වාහනයට වියදම් කිරීම අප ජනතාවට ඒ හැටි පුදුම සහගත දෙයක් නොවෙයි.

 

5. කාර්ය මණ්ඩල

රාජ්‍ය සේවයේ නොව පුද්ගලික අංශයේ පවා පවුලේ ඥාතීන්ට, සැමියාට සහ බිරියට එක ස්ථානයේ සේවය කළ නොහැකිය. එහෙත් ඇමතිවරයෙකුට සිය පවුලේ සාමාජිකයින් සිය කාර්යමණ්ලය ලෙස බඳවාගත හැකිය. ඒ අනුව සම්බන්ධීකරණ ලේකම් ලෙස ඇමතිතුමාගේ බිරියද, එහි ඉහළ කාර්යමණ්ඩලය සාමාජිකයින් ලෙස දූ දරුවන්ද, ඥාතීන්ද පත්ව ඇති අවස්ථා තිබේ. එහිදී ඒ කාර්යමණ්ඩල ඉහළ තනතුරු වලට ඉන්ධන දීමනා, වාහන ආදිය හිමිවන අතර ඔවුන්ට වැටුප ලෙස මසකට රුපියල් 30,000ක් හිමි වේ.

 

6. විශ්‍රාම වැටුප් සහ රක්ෂණ

මැති ඇමතිවරුන්ගේ කාර්යමණ්ඩලට වසර පහකට පසු විශ්‍රාම වැටුප් හිමිය. මන්ත්‍රීවරයෙකු හදිසි අනතුරකින් හෝ ත්‍රස්ත ක්‍රියාවකින් මිය ගියොත් ඔවුන්ගේ පවුලේ අයට රුපියල් ලක්ෂ 50ක රක්ෂණ ආවරණයක් හිමිය. වසර පහක් අඛණ්‌ඩව පාර්ලිමේන්තුවේ සේවය කරන මන්ත්‍රීවරයෙකුට ඔහු ජීවත්ව සිටින තාක් කල් වැටුපෙන් තුනෙන් එකක් මාසිකව විශ්‍රාම වැටුප් ලෙස ලැබේ. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මේ මන්ත්‍රීවරුන්ගේ අවුරුදු 5 සම්පූර්ණ නොවීමත් එක්තරා සාධකයක් විය.

 

7. වෙනත් දීමනා

මන්ත්‍රීවරුන්ට රුපියල් 350,000ක් දක්වා තැපැල් දීමනාවක් හිමි අතර ඒ මුදල ආවරණය වන ලෙස ඔවුන්ට තැපැල් කටයුතු කරගත හැකිය. එසේම මන්ත්‍රීවරුන්ට රු 50,000ක උපරිමයකට දුරකතන දීමනාවක් ලැබේ. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් නිල නිවාස හිමිවෙන අතර මාදිවෙල ප්‍රදේශයේ ඒ මන්ත්‍රී නිල නිවාස පිහිටා තිබේ. ඇමතිවරු සඳහා නම් කුරුඳුවත්ත, කොල්ලුපිටිය ආදී සුඛෝපභෝගී කලාප වල නිල නිවාස හෝ මහල් නිවාස මිලදී ගත හැකිය.

 

රටේ තීරණ ගන්නා පුද්ගලයින් ලෙස දේශපාලකයින්ට එල්ලවන පීඩනය සුළු පටු නොවේ. හැමදෙයක්ම දේශපාලනීකරණය වී ඇති අපේ වටපිටාව තුළදී සෑම සියළු සිදුවීමකටම දේශපාලකයින් පිට වගකීම පැටවීමට මහජනයාද සැදී පැහැදී සිටිති. ඒ අනුව ඔවුන්ට පැවරෙන වගකීම් අනුව ඔවුන්ට හොඳ දීමනා, වරප්‍රසාද ලැබීමට ඔවුන් සුදුස්සන්ද වේ. එහෙත් බොහෝ මන්ත්‍රීවරුන් ව්‍යාපාරික කටයුතු හෝ දූෂණ වංචා මගින් අයථා වැඩ කර මුදල් උපයන බව ප්‍රසිද්ධ කරුණකි. එබැවින් මන්ත්‍රීවරුන්ට ලැබෙන දෙයින් මහජනයා නිසි සේවයක් නොලැබෙන කල ඒ දීමනාදිය ගැන සමාජයේ කතා බහ ඇතිවීම ස්වාභාවිකය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *