ගණං කිව්වහම අම්මෝ කියලා නේද හිතෙන්නේ? සාමාන්‍යයෙන් ගණිතය කියන්නේ අනික් හැමදේම පැත්තකින් තිබ්බත් බොහොම විනෝදජනක දෙයක් වුණත්, කණගාටුවට කාරණාව වෙන්නේ ගොඩක් අය ගණිතයට අකමැති වීම. එහෙම නැතිනම් හරියටම කිවුවොත් ගණිතයට ගොඩක් දෙනෙක් බය වීම. ඒ නිසාම තමයි ගණන් පීරියඩ් එක එහෙම ගොඩක් දෙනෙක්ගේ අප්සට්ම පීරියඩ් එක වෙන්නේ.
හැබැයි, මතකද අර රුසියන් ගණිත විනෝදය පොත? ඒකට කොයි තරම් කට්ටිය කැමතිද කියලා මතකද? ආන්න ඒකට හේතුව තමයි ඒකෙන් ඇත්තටම ගණිතය කියන එක විනෝදයක් කරලා දීපු එක. ඉතින් එහෙම නම්, ගණිතය ඇත්තටම ගේම් එකක් විදියට කරන එකෙන් විනෝදයක් ලබාගන්න පුළුවන් නම්, ඒකෙන් අපේ ගණිත හැකියාවන් වගේම වෙනත් බුද්ධිමය හැකියාවනුත් දියුණු කරගන්න පුළුවන් වෙයි නේද? ඒ ගැන ෂුවර් නැත්තං මේ ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න!
1. 2048
මේක ජොලි ගේම් එකක්. සරල ගණිත ගේම් එකක්. ඔන්න කොටු 4×4 සයිස් එකේ කොටු සෙට් එකක් තියෙනවා. මේකේ අංක මතුවෙනවා. එක වගේ අංක දෙකක් එක ලඟ දිග අතට හරි හරස් අතට හරි තියෙනකොට ඒ අංක කොටු දෙක ඒකාබද්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අංක 2 කොටු දෙකක් ඒ විදියට එකතු කළහම අංක 4 හැදෙනවා. දැන් මෙහෙම දිගින් දිගටම කොටු එකතු කරන්න තියෙන්නේ අංක 2048 එනකල්. ලේසියි නෙහ්? ලේසිමත් නෑ. අංක 2048 ගන්න ඕන කොටු ඔක්කොම පිරිලා කොටු අදින්න තැනක් නැතිවෙන්න කලින්. ඕන නම් මේක 5×5, 6×6, 8×8 සයිස් වලිනුත් ප්ලේ කරන්න පුළුවන්.
2. Math Games
බැලූ බැල්මට වචනාර්ථයෙන් දාපු ටිකක් මෝඩ පහේ නමක් වගේ පෙනුනට, ඇත්තටම මැත් ගේම්ස් කියන්නේ බොහෝම සරල, හැබැයි ගණිතමය හැකියාවන් අවශ්‍ය වෙන ගණන් ක්‍රීඩාවක්. සරලවම කියනවා නම් අපිට තියෙන්නේ අංක ගණිතමය ගැටළු ටිකක් විසඳන්න. හැබැයි දවසම ගන්න බෑ. මේකට වෙලාවක් නියම කරලා තියෙනවා ඉවර කරන්න. එතකොට වෙලාවට ගණිත ගැටළු හරියට විසඳන ප්‍රමාණයට ලකුණු එකතු වෙනවා. ඇත්තටම මේකෙන් කෙනෙක්ගේ සරල අංක ගණිතමය හැකියාවන් බලාගෙන ඉන්නකොට දියුණු කෙරෙනවා දකින්න පුළුවන්. එදිනෙදා ජීවිතේ අපිට ඕන තරම් හොඳ අංක ගණිතමය හැකියාවන්ගේ අවශ්‍යතාවය එනවානේ. අන්න එතකොට තමයි මේ ඇප් එකේ වටිනකම දැනෙන්නේ.
3. Math | Riddles and Puzzles Maths Games
1783, 3178, 8317 කියන අංක ශ්‍රිතයේ ඊලඟට එන්න ඕන ඉලක්කම මොකද්ද? මෙහෙම ගණිත ප්‍රහේළිකා අපි පොඩි කාලේ ඉඳලා කොයි තරම් නං විසඳලා තියෙනවද? හැබැයි ඇත්තම කිවුවොත් Math | Riddles and Puzzles Maths Games ගේම් එකේ තියෙන්නේ එහෙම පුංචි කාලේ විතරක් නෙවෙයි, වැඩිහිටි කාලෙත් අපිට ෆේස්බුක් එකේ එහෙම දකින්න ලැබෙන අංක ප්‍රහේළිකා වලට වඩා ටිකක් ඇඩ්වාන්ස් ගැටළු තමයි. ඒ නිසාම මේ වගේ ගැටළු විනෝදෙට විසඳන්න ආස කෙනෙක්ට මේක කියාපු ගේම් එකක්. මේකේ ඇඩ්වාන්ස් ගැටළු වගේම සරල ගැටළුත් තියෙනවා. බුද්ධි වර්ධනයට වගේම ගණිත ප්‍රහේළිකා එක්ක කාලේ ගත කරන්නත් මේක මරු.
4. Math Master
මේකත් ගේම් එකක ආකාරයට නිර්මාණය කරපු බුද්ධි වර්ධන ගණිත ක්‍රීඩාවක්. කරන්න තියෙන්නේ ලබාදෙන අංක ගණිතමය ගැටළු පුළුවන් වේගයෙන් විසඳන එක තමයි. මේක බැලූ බැල්මට කම්මැලියි වගේ පෙනුනත්, ඇත්තටම කෙනෙක්ව ඇබ්බැහි කරගන්න පුළුවන් තරම් හොඳ ගණිත විනෝදයක් සහ ගණිත පුහුණුවක් ලබාදෙන ඇප් එකක් කියලා හඳුන්වන එක නිවැරදියි. මේ ගේම් එකේ තමන්ට ඕන අංක ගණිත ක්‍රමයක් තෝරගන්න පුළුවන්. අඩු කිරීම හෝ එකතු කිරීම හෝ වැඩි කිරීම අභියෝගාත්මක මදියි වගේ නං, අංක ගණිත ක්‍රම මික්ස් කරපු ලෙවල් එහෙමත් තියෙනවා. එක් එක් ගේම් මෝඩ් එකේ ඉස්සරහට යනකොට ක්‍රමයෙන් අභියෝගාත්මක භාවයත් වැඩි වෙනවා.
5. Mental Math Master
මෙන්න මේකත් ගණිතය එක්ක මොළය පුරුදු පුහුණු කරන්න පුළුවන් ගේම් එකක්. බොහොම සරල පෙනුමක් තිබුණත්, ඇත්තටම මේකෙන් විනෝදයත් ලබාදෙන ගණිත අභියෝගයන් තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි සරල පෙනුමට රැවටෙන්න එපා. සාමාන්‍ය ගණිත දක්ෂයෙක්ට වුනත් මේ Mental Math Master ගේම් එකෙන් ලබාදෙන සමහර ගැටළු විසඳන එක ලේසි වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් ලැබෙන විනෝදය නිසා ගේම අත අරින්න හිතෙන්නෙත් නෑ. ඒ නිසාම කිසිමාකාරයක ගණිත හැකියාවක් නැති කෙනෙක්ගේ ඉඳලා, හොඳ ගණං කාරයෙක් වෙනකල් ඕනම කෙනෙක්ට තමන්ගේ ගණිත හැකියාවන් විනෝදයත් එක්ක වැඩිවර්ධනය කරගන්න මේ ඇප් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්.
6. Threes!
මේ ගේම් එක දැක්ක ගමන් අපිට මතක් වෙන්න ඕන අපි මුලින්ම කථා කරපු 2048 ගේම් එක! ඇත්තම කිවුවොත් 2048 ගේම් එක මේකේ ක්ලෝන් එකක් කියලා තමයි දන්න අය කියන්නේ. මේ ගේම් එකත් වැඩ කරන්නෙ 2048 ගේම් එක වගේම තමයි. හැබැයි මේකේ මැජික් නම්බර් එක වෙන්නේ 3! ඔන්න අංක 2 සහ 1 ටයිල්ස් දෙකක් එක ලඟට සෙට් වෙනවා කියමු. ඒ දෙක ඒකාබද්ධ කරලා අංක 3 හදාගන්න පුළුවන්. දැන් අංක 3 ටයිල්ස් දෙකක් එක ලඟට සෙට් වුණොත්, ඒ දෙක ඒකාබද්ධ කරලා අංක 6 ලබාගන්න පුළුවන්. මේ විදියට දිගින් දිගටම අංක 3 ගුණාකාර එකතු කරමින් අතිවිශාල අංකයක් හදන්න තමයි තියෙන්නේ. හැබැයි පේන තරම් වැඩේ ලේසි නෑ!
7. Sudoku – The Clean One
සුදොකු කියන්නේ තමන්ගේ ගණිතමය හැකියාවන් වගේම අවධානය, තීක්ෂණ භාවය වගේ ගුණාංගයනුත් වැඩි දියුණු කරගන්න හිතන කෙනෙක්ට ගැලපෙනම ගේම් එකක්. අවුරුදු බර ගාණක් පරණ ගේම් එකක්. දැන් මේකේ ඩිජිටල් ගේම් ගණනාවක් තියෙනවා. සරලවම කිවුවොත් සුදොකු ග්‍රිඩ් එකක කොටු නවයේ කෑලි නවයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන කොටු නවය එක් එක් කොටුව අනු කොටු නවයකට බෙදලා තියෙනවා. දැන් මේ හැම අනු කොටු නවයේ කෑල්ලකම එකේ ඉඳන් නවය වෙනකල් අංක ඇතුළත් වෙන්න ඕන. හැබැයි ඒ විදියටම දිග අතට සහ හරස් අතට තියෙන කොටු නවයෙත් එකේ ඉඳන් නවය වෙනකල් අංක ඇතුළත් වෙන්න ඕන. එකම අංකය කිසිම රෝ එකක හරි කොලම් එකක හරි කොටු නවයේ කෑල්ලක් ඇතුළේ හරි රිපීට් වෙන්න බෑ. දැන් විසඳපල්ලකෝ!
Leave a Reply