අපි රූපවාහිනී වැඩසටහන් වලදී අප්‍රිකාව අලංකාර මහද්වීපයක් ලෙස දකී. සැම්බියාවද වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර රටකි. එහි ඇති වික්ටෝරියා ඇල්ල භූ පැලුමක් වැනි විවරයක් හරහා මහා ජල කඳක් ඇදහැලෙන මනස්කාන්ත දර්ශනයකි. අලි, කොටි, වලස්සු, සීබ්‍රාවුන්, මුවන් පිරි ඔවුන්ගේ වනෝද්‍යාන සංචාරකයින්ගේ නෙතට රසඳුනකි. එහෙත් සැම්බියාවේ වාසය කරන මිනිසුන් ඔවුන්ට ලොකු ප්‍රතිලාභයක් නොලැබීම නිසා ලෝකයට ණය කාරයෝ වී සිටිති.
1. සැම්බියාව කොහේද තියෙන්නේ?
සැම්බියාව කියන්නේ අප්‍රිකාවේ මැද හරියෙ සිම්බාබ්වේට මායිම් වෙලා තියෙන අභ්‍යන්තර රටක්. සැම්බියාවට මුහුදක් නැහැ. ඉතින් බඩු බාහිරාදිය සැම්බියාවට එන්නත්, එහෙන් යන්නත් තියෙන්නෙ ලොකු බාධාවක්. සැම්බියාවේ ජනගහණය මිලියන දාහතක්. සැම්බියා රට වර්ග කිලෝමීටර හත්ලක්ෂ පනස්දහක් තරම් විශාලයි. ඒ කිව්වේ ජනගහණය අතින් සැම්බියාව ලංකාවට චුට්ටක් කිට්ටු වුණාට භූමිය අතින් ලංකාව වගේ හත් අට ගුණයක් විශාල රටක්.
2. සැම්බියා රටේ සම්පත්
සැම්බියාවේ රත්තරන් සහ තඹ නිධි තියෙනවා. ලෝකයේ තිබෙන තඹ නිධි වලින් වටිනාම නිධි සැම්බියාවේ තිබුණා. ඒ වුණාට ඒ තඹ නිධි දැන් චීන සමාගම් අතට පත් වෙලා ඉවරයි. රටේ තිබෙන වටිනා කියන හැම දේම ටිකෙන් ටික චීනාටම යන බවක් තමයි කියවෙන්නේ. රටේ විදුලි බල සැපයුම පවා චීන සමාගම් වෙත පැවරී ඇති බවක් වාර්තා වෙනවා. තමුන් ණය නිකුත් කරලා නම්මාගත් වෙන රටවලදි වගේම සැම්බියාවෙදිත් චීනය කියන්නේ “අනේ අපි නම් එහෙම කරන්නේ නැහැ” කියලා. ඒත් සැම්බියාවෙ ඇතුළේ සහ ඉන් පිටත ලැබෙන වාර්තා වලින් සැම්බියාව චීනයට හොඳටම ණය බවක් තමයි කියවෙන්නේ.
3. මොකටද මේ ණය ගන්නේ?
රජය පැත්තෙන් ගත්තොත් සැම්බියාව අභ්‍යන්තර රටක් නිසා සැම්බියා රටට සිම්බාබ්වේ, ටැන්සානියා වගේ රටවල් එක්ක හොඳ මාර්ග පහසුවක්, හොඳ දුම්රිය මාර්ග පද්ධතියක් තිබෙන්නට උවමනා බව කියවෙනවා. ඒ ව්‍යාපෘති ආදියට සැම්බියාව ණය ගත්තා. ඒ වගේම සැම්බියාවේ ප්‍රධාන නගරය වන ලුසාකාව එකම වැඩ බිමක්. තැන තැන බිල්ඩින්, සාප්පු සංකීර්ණ ඉදි වෙනවා. ඒවායේ ඇතැම්විට චීන සහ විදෙස් ජාතිකයින් පදිංචි වෙලා ඉන්නවා. සැම්බියා රටේ ලුසාකා අගනුවර මෑතකදි ලංකාවේ කොළඹ වගේම ෂොපින් මෝල් හෙවත් සුපිරි සාප්පු සංකීර්ණ වේගයෙන් වැඩිවෙලා තියෙනවා. ඒ රටේ ඒක පිරිසක් හොඳට සැප විඳිනකොට ඒ සැප විඳින අයට ආරක්ෂිතව සොර සතුරු පීඩා නැතිව ෂොපින් කරන්න පහසුව ෂොපින් මෝල් හරහා ලැබෙනවා.
4. කොවිඩ් සහ සැම්බියාව
කොවිඩ් තත්ත්වය එක්ක රටේ සෞඛ්‍ය අංශ වැඩිදියුණු කරන්න සැම්බියාවට වැඩිපුර මුදල් යොදවන්න වෙලා තියෙනවා. ඒ එක්ක දැනට සැම්බියාව ණය වෙලා තියෙන ඩොලර් බිලියන ගණනකට අදාළ ණය වාරික ගෙවන්න ඔවුන්ට බැරි වෙලා. චීන රට නම් සැම්බියාවට මාස හයක සහන කාලයක් දීලා තිබුණා. ඒත් තාක්ෂණිකව ගත්තාම සැම්බියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය සහ චීනය කියන පාර්ශව කිහිපයකට ණයයි. එයින් චීනයට තියෙන්නේ සියයට 30ක් පමණයි කියලා සැම්බියාවේ පාලක පක්ෂය කියන්නේ. ඒ කොයිහැටි වුණත් සැම්බියාවට ණය කියන එක දැන් ස්ථිරසාර දෙයක් වෙලා ඉවරයි.
5. ණය තවත් ගන්න බැරිවෙන හිරවීම
පසුගිය දා පැවැත්වුණ ජාත්‍යන්තර සමුළුවකදි සැම්බියාවට තමුන් ණය වෙලා තියෙන මුදල කොපමණද කියලා හරිහැටි ඉදිරිපත් කරන්න බැරිවුණා. දැන් එකක් පැහැදිළියි. ඒ තමයි සැම්බියාවට තිබෙන ආර්ථික තත්ත්වය යටතේ තවදුරටත් තිබෙන ණය වාරිකවත් ගෙවාගන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් ආවම වෙන්නේ සැම්බියාවට අඩු පොලියට ණය ගන්නට බැහැ. මොකද ණය දෙන පාර්ශව වලට ණය නැවත අය කරගන්න එක ගැටළුවක් වෙනවා.
6. සැම්බියාවේ පවුල් පාලනය
1964 දී නිදහස ලැබූ සැම්බියාවේද නිදහසින් පසු පාලක පක්ෂය වුයේ එක්සත් ජාතික පක්ෂය නැමති පක්ෂයක්. ඒ පක්ෂයේ එවකට නායකයින් හොඳින් රට ගෙනගියත්, පසුව පැමිණි සැම්බියා නායකයෝ රට තව තවත් අගාධයට ගෙන ගියා. 2011 සිට 2014 දක්වා සුළු කලක් පාලනය කළ මයිකල් සාටා, තම ළමයින් 10 සමග සිය පවුලම රාජ්‍ය පාලනයට දායක කරගත්තා. මුදල් ඇමති වූයේ සාටාගේ මාමා. පළාත් පාලන ඇමති සාටාගේ ලේලි. නියෝජ්‍ය මුදල් ඇමති වූයේ ජනාධිපතිගේ මස්සිනා. පවුලේ ඥාතීන් තානාපති තනතුරු වලට පත් කළ ඔහු වඩාත් විශ්වාසවන්ත බව උදෙසා දෝ හෝ අගවිනිසුරු ලෙස සිය කිට්ටු ඥාතියෙක් පත් කළා. රෝගාතුරව මිය යන තෙක්ම බලය අත් නොහැරි මයිකල් සාටා පාලන කාලය සැම්බියාව ණය උගුලේ සැරටම සිර වූ යුගයක් ලෙස දැක්වෙනවා.
7. සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳින රට
කොවිඩ් අනතුර මෑතකදි ඇති වුවත් කලක පටන් සැම්බියාව සෞඛ්‍යය පිරිහුණු රටක්. එහි ජනතාවගේ උපතේදි ආයු අපේක්ෂාව අවුරුදු 51ක් තරම් අඩු අගයක් ගන්නවා. ජනගහණයෙන් සියයට 14ක් ඒඩ්ස් රෝගීන් වන අතර ජනතාව 40%කට පමණ හරිහැටි පානීය ජලය නැහැ. පානීය ජල ගැටළුව නිසා තවමත් සැම්බියාව කොලරා රෝගයෙන් දැඩිව පීඩා විඳිනවා. රටේ නායකයින් නගරයේ කුළුණු හදන්නට, අලුතින් ෂොපින් මෝල් හදන්නට ණය මුදල් වියදම් කරන විට රටේ තවත් කලාපයක ජනතාවට කුසගින්නෙන්, ලෙඩ රෝග වලින් පීඩා විඳ මරණයට පත් වෙන්න සිද්ධ වෙලා තියනව.
විශාල සිවිල් ඉදිකිරීම් ආරම්භ වන විට අපේ රටේද ඒ ඉදිකිරීම් අවසානයේ අච්චර මෙච්චර ලාභ ලැබෙනවාය, ණය අරගෙන කළාට අවුලක් නැතිය ආදී ලෙස දිග හෑලි ෆේස්බුක්, වෙබ් අඩවි වල සහ පුවත්පත් වල ප්‍රචාරය වෙනවා. සෝෂල් මීඩියා නොතිබූ කාලයේ පුවත් වල පිටු ගණන් පුරා ණය ගෙන කරන ඉදිකිරීම් වල වාසි ගැන සඳහන් වුණා. එහෙත් ඒ ණය අරගෙන කළ කී ව්‍යාපෘති මහා උත්සවයක් තබා විවෘත කළ පසු, මහා භාණ්ඩාගාරයේ එයට මාසික ණය සහ පොලී වාරික පමණක් ඉතිරි කර අපේ මතකයෙන් ගිලිහී යනවා. ලංකාව හා සසඳන විට සැම්බියාව දැන් සිටින්නේ ඉතා පහළ අඩියකයි. එහෙත් චීන ණය සහ ණය රැගෙන කරන මහා පරිමාණ ව්‍යාපෘති ගැන සඳහන් කරන විට ලංකාවත් දැන් ජාත්‍යන්තර උදාහරණයක් වී හමාරයි.
Leave a Reply