සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳලම අපි ඉගෙන ගන්නවනේ කම්මැලියාට වැඩ වරදී, කම්මැලිකම දියුණුවට බාධාවකි, උදාසීන නොවී කුහුඹුවන්ව ආදර්ශයට ගෙන ජීවත් වෙමු වගේ කතන්දර. ඇත්තටම බැලුවහම අපි පුංචි කාලේ කම්මැලි නෑ. හැම වෙලේම එහෙ මෙහෙ දුවන ගමන්මනේ ඉන්නේ. හැබැයි ලොකු වෙන්න ලොකු වෙන්න අපිට වැඩ වැඩි වෙනකොට, වගකීම් වැඩි වෙනකොට කම්මැලිකමෙන්, උදාසීනත්වයෙන් නිකම් ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා විතරක් නෙවෙයි, එහෙම මොහොතක තියෙන ආතල් එකත් වැඩි වෙනවා. ඇත්තටම එක මොහොතකදී කිසිම දෙයක් නොකර එක තැනකට වෙලා ඉන්න පුළුවන් උදාසීනත්වය කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් තමන්ගේ වැඩිහිටි ජීවිතයේ වැඩිම කාලයක් ගෙවන්නේ උදාසීනත්වයෙන් නම් අන්න ඒක අනිවාර්යයෙන්ම ජීවිතයට ප්‍රශ්නයක් වෙනවා.
ඇත්තටම මෙතන කම්මැලිකම, උදාසීනත්වය කියලා කියන්නේ වැඩ කරලා කරල මොහොතකට උදාසීනව හිඳීම ගැන නෙවෙයි. අපි මේ කියන්නේ කම්මැලිකමට වැඩ කල් දැමීම, උදාසීන බව නිසා කරන්න ඕන දේවල් පවා නොකර හැරීම වගේ කතන්දර ගැන තමයි. කියවලා බලන්න ඇත්තටම අපිට ඒ නිසා නැති වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා.
1. අධ්‍යාපනය
අපිට නියම විදියට ද්විතීයික අධ්‍යාපනය සහ තෘතියික අධ්‍යාපනය ඉවර කරගන්න ඉඩ නොලැබෙන්න හේතු ගණනාවක් තියෙනවා. පහසුකම් සහ හැකියාවන් නොමැතිවීම, බාහිර දේවලින් අවධානය වෙනස් වීම, අධ්‍යාපනයට දක්ෂතාවයක් නොමැති වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම, අලස බව කියන්නෙත් උසස් අධ්‍යාපනයකට නොයෑමට අලගු තියෙන නරක කාරණයක් වෙනවා අපිට කොතෙකුත් දකින්න පුළුවන්. සමහර වෙලාවට අධ්‍යාපනයට විශේෂ දක්ෂතාවයක් නැති කෙනෙක් පවා අධිෂ්ඨානයෙන් වෙහෙස මහන්සි වෙලා හොඳ ප්‍රතිඵල ලබාගන්නවා. ඒත් කුසීතයෙක් තමන්ට අධ්‍යාපන අවස්ථා තිබිලත් ඒකට යොමු වෙන්නෙ නෑ. හැබැයි ඒකේ නරක ප්‍රතිඵල ලැබෙන්නේ පහුකාලීනව. ඒ කියන්නේ තමන්ට උසස් රැකියා අවස්ථා ඇහිරෙනකොට වගේ දේවලදී විතරක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේදී තමන්ට යම් යම් අවස්ථාවලදී දැනුම නැහැ කියලා තේරෙනකොටත් ප්‍රමාද වැඩියි.
2. ජොබ් එකේ ස්ථාවරත්වය
මෙන්න අපිට නිරන්තරයෙන් මුණගැහෙන ප්‍රධාන කම්මැලි වර්ගයක්. මේ හාදයො හාදියෝ තමයි ජොබ් එකේ දවස් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් දුන්නහම සති ගණන් අදින්නේ. ඇත්තටම රත්තරං හැඳි කටේ ගහගෙන ආවෙ නැතිනම්, අපි හැමෝම රස්සාවක් කරන්න ඕනනේ ජීවත් වෙන්න. ඒත් ගොඩක් දෙනෙක් ඇත්තටම ජොබ් එකකට ගියාට පස්සේ අලස, කුසීත ජීවන රටාවකට හැඩගැහෙනවා. ඒ අයට ඊට පස්සේ ජොබ් එක ඕන කරන්නේ මාසේ පඩිය අතට එන එකට විතරයි. ඉතින් ඔහේ නාකි බල්ලො කොළඹ යනව වගේ වැඩ කරනවා. ජොබ් එකේ දියුණු වෙන්න හිතන්නෙත් නෑ. ජොබ් එකට අදාළව ඉහළ නගින්න දෙයක් ඉගෙන ගන්න ඕන කියලා හිතන්නෙත් නෑ. කම්මැලි නැතුව වැඩ කරන මිනිස්සු තමන්ව පහුකරගෙන උඩට නගිනවා දකිනකොට ඔන්න තමන්ට ජොබ් එකේ සලකන්නෙ නෑ කියල කණිපින්දං කියන්න පටන් ගන්නවා. එහෙම නැතිනම් තමන් කම්මැලිකමේ ඉන්න ගමන්ම උඩට යන එවුන්ට වල කපන්න පටන් ගන්නවා.
මෙහෙම කම්මැලි විදියට ඔහේ ජොබ් කරන මිනිස්සුන්ට නැති වෙන්නේ වෘත්තිමය ස්ථාවරත්වය සහ දියුණුව තමයි.
3. විසි ගණන් වල ගන්න තිබ්බ ආතල්
ඇත්තටම කම්මැලි කම නිසා අවුරුදු විසි ගණන් නාස්ති කරලා දැම්මද? අන්න එහෙමනම් මතක තියාගන්න. අවුරුදු විසි ගණන් ආයෙමත් ලබාගන්න බැහැයි කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. ගොඩක් දෙනෙක්ට අවුරුදු විසිගණන් කියන්නේ ජීවිතේ අතිවිශාල, බරපතල වගකීම් නැති, ඉගෙන ගැනීම සහ රස්සා කිරීම ආරම්භ කරපු, ගොඩක් දේවල් අත්හදා බැලීම, අත්දැකීම ආරම්භ වුණු දශකයක්. සමහරුන්ට විසි ගණන් වලත් බරපතල වගකීම් තියෙන්න පුළුවන්. ඒත් පොදුවේ විසි ගණන් කියන්නේ ආතල් කාලයක්. අන්න ඒ කාලේ ඉතින් ට්‍රිප් එහෙම ගිහිල්ලා, මොනවා හරි තමන්ට ආතල් දෙයක් ඉගෙන ගන්නෙ නැතුව, හොඳ වෘත්තීමය ජීවිතේකට අඩිතාලම දාගන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඉතින් ලෝක අපරාදයක්. කොටින්ම කිවුවොත් තමන්ගේ කම්මැලිකම සහ උදාසීනකම නිසා විසි ගණන් නාස්ති කරනවා කියන එකේ පාඩුව තේරෙන්නේ තිහ හතළිහ පනින කොට තමයි!
4. යාළුවෝ
ඇත්තම ඇත්ත යාළුවෝ අපේ ජීවිත වල කොයි තරම් ඉන්නවද? මේ අහන්නේ ෆේස්බුක් එකේ ලිස්ට් එකේ ඉන්න යාළුවෝ ගැන නෙවෙයි. ඇත්ත යාළුවෝ ගැන. සමහරු කියයි මගේ ෆේස්බුක් එකේ තමයි ඇත්ත යාළුවෝ ඉන්නෙ, මම මොකක් හරි දෙයක් පෝස්ට් එකක් දාලා ඇහුවහම කී දෙනෙක් උදවු කරන්න ඉදිරිපත් වෙනවද කියලා. හැබැයි මෙහෙම එකක්. එහෙම ෆේස්බුක් පෝස්ට් එකකට උදවු කරන්න ගොඩක් දෙනෙක් පෙළඹෙන්නේ, අපේ මිනිස්සුන්ගේ සහජයෙන්ම තියෙන උදවු කරන ගුණය නිසා වෙන්න පුළුවන්. තවත් සමහරු උදවු කරන්න පෙළඹෙන්නේ වෙනත් මොනවහරි වාසි ප්‍රයෝජන බලාගෙන වෙන්න පුළුවන්. හැබැයි ඒ මොකක් වුනත් ඇත්තටම යාළුවෝ ඉන්න එක ෆේස්බුක් එකෙන් මනින්න බෑ. විශේෂයෙන්ම අද කාලේ එළියේ ලෝකේ යාළුවෝ නැතුව සයිබර් ලෝකේ විතරක් යාළුවෝ ඉන්නෙත් එලියේ ලෝකෙත් එක්ක කටයුතු කරන්න තියෙන කම්මැලිකම නිසා තමයි.
5. ව්‍යායාම
මේකට නම් වෙන වෙන හේතු නෑ. ව්‍යායාම කරන්න මිනිස්සු මැළි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කම්මැලිකම නිසා තමයි. හැබැයි මේක විවිධාකාරයේ ලෙඩ රෝග විදියට එහෙම පල දෙන්න පටන් ගන්නකොට තමයි ඒ කම්මැලිකමේ විපාක තේරෙන්නේ. ඇත්තටම දැන් කාලේ අපි වැඩි දෙනෙක්ට ඇඟ වෙහෙස කරවන රැකීරක්ෂාවන් නෑ. ඒ වගේම අපි වැඩි දෙනෙක්ට හොඳ ආහාර පාන පුරුදු සහ ජීවන රටාවන් එහෙමත් නෑ. අන්න එහෙම පසුබිමකදී අනිවාර්යයෙන්ම ඇඟට ව්‍යායාම තිබිය යුතුමයි. ඒත් කම්මැලිකමට දිනපතා පොඩ්ඩක් ඇවිදින්න යන එක, ජිම් එකට යන එක අතපහු කරන අයට ඒ කම්මැලිකමේ විපාක ලැබෙන්නේ ලෙඩ රෝග, තමන්ට උහුලගන්න බැරි ශරීරයක් වගේ දේවල් විදියට තමයි.
6. ගෙදර මිනිස්සු
විශේෂයෙන්ම දැන් කාලේ අපි අඩුවෙන්ම කාලය ගත කරන්නේ ගෙදර මිනිස්සු එක්ක වෙන්න ඕන. ඒකට එක හේතුවක් තමයි අපේ අවධානය එහෙ මෙහෙ යන්න සෑහෙන්න දේවල් දැන් කාලේ තිබීම. උදාහරණයක් විදියට ගත්තොත්, දැන් කාලේ කොයි තරම් මිනිස්සු ගෙදර ඉන්න වෙලාවට තමන්ගේ කාමරෙන් එලියටවත් එන්නෙ නැතුව ලැප්ටොප් එක, ෆෝන් එක අල්ලගෙන ඉන්නවද? හැබැයි ගෙදර මිනිස්සුත් එක්ක කාලය ගත කරන්න, ගෙදර මිනිස්සු වෙනුවෙන් දේවල් කරන්න අතපහු වෙන තවත් ප්‍රධානතම කාරණයක් තමයි කම්මැලිකම. හැබැයි නරකම දේ මේකයි. මිනිස්සු මැරෙනවා. හැමදාමත් ජීවත් වෙන්නෙ නෑ. ඒ මැරෙන්නෙත් කවදද කියන්න බෑ. හැබැයි අපි කම්මැලිකම නිසා අපේ ආදරණීයයන් වෙනුවෙන් කිසිම දෙයක් නොකර ඉන්නවා කියන්නේ, අනිවාර්යයෙන්ම අපිට පහුකාලීනව පසුතැවිලි වෙන්න වෙනවා කියන එක තමයි.
7. ඵලදායී ජීවිතයක්
අන්තිමට ගත්තහම මේක තමයි සමස්තයක් විදියට අපිට නිරන්තර කම්මැලිකම, උදාසීනකම නිසා මිස් වෙන්නේ. බොහොම ලස්සනට, ඵලදායී විදියට ගත කරන්න තිබුණු ජීවිතයක්. ඇත්තටම මේක දැනෙන්න අපිට අවුරුදු හතළිහ පණහ පනින්න ඕන. අන්න එතකොට අපි ජීවිතේ හරවත් විදියට ගත කරන්න තිබුණා නේද කියලා දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම ජීවිතේ වටිනාම දේ කාලය නෙවෙයිද කියන එක දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම අපේ ජීවිත කාලය හරිම කෙටියි කියලා දැනෙන්න නම් අවුරුදු පණහවත් පනින්න ඕන. එතකොට තමයි ජීවිතේ කරන්න බැරි වුණු දේවල් මතක් වෙන්නේ. ආයෙමත් විසි ගණන් වලට ගිහින් ජීවිතේ ආරම්භ කරන්න තිබුණා නං කියලා හිතෙන්නේ. එතකොට ඔය ඵලදායී ජීවිතයක් මිස් වුණේ තමන්ගේ උදාසීනකම නිසා කියලා හිතෙනකොට දැනෙන ගිල්ටි ෆීලින් එක කොහොමද?
ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ, දැන් ඉඳලාවත් නිරන්තරයෙන්ම උදාසීනකමෙන් පසුවීම, කම්මැලිකමට ප්‍රමුඛත්වය දීම නවත්තන්න කියලා!
Leave a Reply