අපි Lifie.lk එකෙන් කලිනුත් කතා කළා ක්‍රිටිකල් තින්කින්ග් ගැන. හරියටම කියනවා නම් කෙනෙක්ට තමන්ගේ ක්‍රිටිකල් තින්කින්ග් දියුණු කරගන්න අවශ්‍ය වෙන සංකල්ප ගැන. එහෙමනම්, අපි බලමුද ක්‍රිටිකල් තින්කින්ග් හැකියාවන් දියුණු තියුණු කරගන්න භාවිතා කරන්න පුළුවන් ප්‍රායෝගික ව්‍යායාම කීපයක් දිහා? බැලූබැල්මට මේ ව්‍යායාම බොහොම සරලයි. ඒත් මේ ව්‍යායාමයන්හි නැවත නැවත යෙදීම තුළින් ඔබ තුළින්ම විශේෂ වෙනසක් ඇති වෙන බව නම් ඔබට ඉක්මනින්ම අවබෝධ වේවි.
ක්‍රිටිකල් තින්කින් කියන්නේ මොකද්ද කියලා ආයෙමත් අහන අයට ඒ ගැන කියලා දෙනවා නම්, ක්‍රිටිකල් තින්කින් කියන්නේ පැහැදිලිව, තර්කානුකූලව සිතන්න මතන්න පුළුවන්කමක් තිබීම. ඒ වගේම යම් යම් දේවල්, යම් යම් අදහස් අතරේ තියෙන තාර්කික සම්බන්ධතාවය අවබෝධ කරගන්න පුළුවන් වීම.
ඇත්තටම ලෝකේ ක්‍රිටිකල් තින්කින් වලට අයිති වෙන විවිධ හැකියාවන් දියුණු කිරීමේ පරමාර්ථය උදෙසාම නිර්මාණය කරපු තනි තනිව කරන්න පුළුවන් ක්‍රියාකාරකම්, කණ්ඩායම් ක්‍රියාකාරකම් එහෙම බර තොගයක් තියෙනවා. හැබැයි අපි සරල තැනකින් පටන් අරගෙන බලමු.
1. මාධ්‍ය කීපයකින් අදහස් දක්වමු
මේක ඇත්තටම ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ට අත්‍යාවශ්‍ය හැකියාවක්. ඒ තමයි මාධ්‍යයන් අතරේ මාරුවීමට තියෙන හැකියාව. දැන් මෙතනදී මාධ්‍යයන් කියන්නේ මොනවද? සංඛ්‍යාලේඛන, ප්‍රස්තාර, රචනා, දේශන වගේ දේවල් තමයි මෙතනදී මාධ්‍යයන් විදියට ගන්නේ.
හරි. අපිට පුළුවන් වෙයිද, මොකක් හරි දෙයක් ප්‍රස්තාරයකින් දක්වන්න? ඒ කියන්නේ සංඛ්‍යාලේඛන ආශ්‍රය කරගනිමින් තමයි. දැන් අපි බලමුද ඒ දේම රචනයකින් දක්වන්නත්? ඒ කියන්නේ අර ප්‍රස්තාරයෙන් දක්වන දේ ඒ විදියටම කෙනෙක්ට තේරුම් යන විදියට වචනයෙන් ලියන එක. ඒ වගේම දේශනයක් විදියටත් ඒක කෙනෙක්ට අවබෝධ වෙන විදියට ඉදිරිපත් කරලා බලමු. ඊට පස්සේ ඒක මයින්ඩ් මැප් එකක් විදියටත් ඉදිරිපත් කරමු. රූප සටහනක් විදියටත් ඉදිරිපත් කරමු. ඕන නම් වෙන් රූප සටහනකිනුත් පෙන්නන්න උත්සාහ කරමු. ඉන්ෆොග්‍රැෆික් එකක් විදියටත් පෙන්නන්න බලමු. මෙන්න මේක නිතර නිතර කිරීම ඔස්සේ හිතන්න බැරි විදියට අපේ ඉදිරිපත් කිරීමේ හැකියාවන් දියුණු වේවි.
2. අවුරුදු 6 ක ළමයෙක්ට දෙයක් පැහැදිළි කරමු
මේක කවුරුවත් කරන්න හිතන්නෙවත් නැති දෙයක් නෙවෙයිද? හැබැයි ඒකේන් අපිට කුඩා දරුවෙක්ගේ සුරතලය දැකගන්න වගේම, අපි නොහිතන පැත්තක් තේරුම් ගන්න සහ අතිශයින්ම වැදගත් ක්‍රිටිකල් තින්කින් වලට අයත් හැකියාවක් පුරුදු පුහුණු වෙන්න අවස්ථාව ලැබේවි.
කරන්න තියෙන්නේ මෙච්චරයි. යම් කිසි සංකල්පයක් හෝ දෙයක්, හැකිතාක් සරල කරලා අවුරුදු 6 ක ළමයෙක්ට කියලා දෙන්න උත්සාහ කරන්න. හිතනවට වඩා සෑහෙන්න අමාරු, සීරියස් දෙයක් නේද? හැබැයි බැරි දෙයක් නෙවෙයි. අපිට යම් කිසි දෙයක් ඒ වයසේ කුඩා දරුවෙක්ට තේරුම් යන තරමට සරල කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අපි ඒ කාරණාව ගැන ඉතාම හොඳින් දන්නවා කියන එක තමයි. අපිට කෙනෙක්ට සරලව දෙයක් තේරුම් කරවන්න බැහැ, අපි ඒ දේ සම්පූර්ණයෙන්ම දන්නේ නැතිනම්. ඔච්චරයි කතාව.
3. ඥාණාත්මක පක්ෂග්‍රාහීත්වයන්ට චැලෙන්ජ් කරමු
මේක ටිකක් බර කතන්දරයක් වගේ නේද? හරි, අපි සරල කරගමු. අපේ ජිවිතේ අපි කොයි තරම් අපක්ෂපාතී කියලා හිතාගෙන හිටියත්, ඇතැම් මොහොතක අපි නොදැනුවත්වම පක්ෂග්‍රාහීව වැඩ කරනවා. හැබැයි පර්යේෂකයන්ට එහෙම නම් ඒ විදියේ ඥාණාත්මක පක්ෂග්‍රාහීත්වයන් බොහොම අවදානම්. මොකද, ඒ අයගේ පර්යේෂණ වල ප්‍රතිඵල නොදැනුවත්වම ඒ පක්ෂග්‍රාහීත්වයන් නිසා වෙනස් වෙන්න පුළුවන්. ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ට වුනත් එහෙමම තමයි. අන්න ඒ නිසා, මේ පක්ෂග්‍රාහීත්වයන්ට අභියෝග කරන එක හොඳ ව්‍යායාමයක්.
සමහර වෙලාවට අපේ ඔළුවේ යම් කිසි පූර්ව මතයක් තියෙනවා. ඒක අපිත් නොදැනුවත්වම ඇතිවුණු එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් අපේ ඔලුවේ රැඳිලා තියෙන්න පුළුවන් ගැහැණුන්ට හොඳ රියදුරන් වෙන්න බැහැයි කියලා අදහසක්. දැන් අපි රියපැදවීම් සම්බන්ධයෙන් මොකක් හරි පර්යේෂණයක් කරනවා කියමු. එතකොට මේ පූර්ව අදහස අපේ සොයාගැනීම් විශ්ලේෂණය කිරීමට වක්‍රාකාරයෙන් හරි බලපාන්න බැරිද? හැබැයි අන්න ඒවා ගැන හිතලා බැලුවොත් ඒ පක්ෂග්‍රාහීත්වයන් ඉවත් කරගන්න පුළුවන්.
හරි, එක්සයිස් එක මේකයි. මොකක් හරි ප්‍රශ්නයක් විසඳන්න හිතන්න. හැබැයි ප්‍රශ්නෙට විසඳුම විශ්ලේෂණය කරන්න කලින්, ඒ ගැන ඇතිවෙන්න පුළුවන් ඥාණාත්මක පක්ෂග්‍රාහීත්වයන් මොනවද කියලා හිතන්න.
4. ප්‍රශ්නයක මූලයට යමු
අපි ක්‍රිටිකල් තින්කින් දියුණු කරගන්න සංකල්ප ගැන කියනකොටත් මේ ගැන කතා කළා. අපි ගමු මොකක් හරි ප්‍රශ්නයක්. සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක් ගමුද ලේසියට? විසඳපු ප්‍රශ්නයක් වුනාට කමක් නෑ. උත්තරේ දැනටමත් දැනගෙන ඉන්න එක ගැන ගැන වදවෙන්න එපා. ඒ වෙනුවට අපි ප්‍රශ්නය පිටිපස්සට යමු. උදාහරණයක් විදියට ගත්තොත්, කොහොමද වර්තමාන ඡන්ද සහ ඒ අනුව ආසන ගණනය කරන ක්‍රමය හැදෙන්නේ? යන්න පිටිපස්සට. අන්න එතකොට සමහර වෙලාවට විසඳුම පිටිපස්සේ තියෙන නොපැහැදිලි තැන් පවා පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වෙයි.
5. නව අන්තර්ගතයන් සහ නව අන්තර්ගතයන් නිර්මාණය කරන්නන්
සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නෙම සුවපහසු කොම්ෆර්ට් සෝන් එකක. ඒ කියන්නේ අපි සුවපහසු සෝපාවෙන් බිමට බහින්න ලැහැස්ති නෑ. උදාහරණයක් විදියට කිවුවොත් ලියන කෙනෙක් ඒ මාධ්‍යය අත්හැරලා තවත් මාධ්‍යයක් ට්‍රයි කරලා බලන්න පෙළඹෙනවා බොහොම අඩුයි. අර නාකි බල්ලන්ට අලුත් සෙල්ලං උගන්නන්න බෑ කියන්නෙත් ඕක ගැනම තමයි.
හැබැයි ඉතින් ක්‍රිටිකල් තින්කර්ස්ලා නාකි බල්ලෝ වගේ නෙවෙයි. ඒ අයට වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ නිසා, අපි වෙනසකටත් එක්ක වෙනත් මාධ්‍යයකට යොමු වෙලා බලමු. යූටියුබ් චැනල් එකක්? පොඩ්කාස්ට් එකක්? බ්ලොග් එකක්? මාධ්‍යය තෝරගන්න ඔයාම.
6. නව දැනුමට නිරාවරණය වෙමු
මේ එක්සයිස් එක නම් ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ට අත්‍යාවශ්‍යයි. ඒ තමයි අලුත් දේවල් කියවන්න, අහන්න, බලන්න වැඩි වැඩියෙන් උත්සාහ කරන එක. හැබැයි ඔහේ යන්නං වාලේ දකින දකින පොත කියවන එක, දකින දකින ඩොකියුමන්ට්‍රිය බලන එක නෙවෙයි කරන්න ඕන. මුලින්ම තමන්ට යම් කිසි ක්ෂේත්‍රයක, ඉගෙන ගන්න අවශ්‍ය යම් කිසි කොටසක් හඳුනගන්න. දැන් පොඩි රිසර්ච් එකක් කරලා බලන්න, ඒ සම්බන්ධයෙන් තියෙන පොත් පත්, පර්යේෂණ පත්‍රිකා, පොඩ්කාස්ට්, යූටියුබ් වීඩියෝ, ඩොකියුමන්ට්‍රි, ටෙඩ් ටෝක්ස් මොනවද කියලා. දැන් ක්‍රමානුකූලව ඒ අතරින් හොඳම අන්තර්ගතයන් තෝරගෙන පරිශීලනය කරන්න. ඒ අතරින් ලබාගන්න දැනුම කෙටි සටහන් විදියට සටහන් කරගත්තත් කමක් නෑ!
7. බුද්ධියට අභියෝග කරන ගැටළු සහ උභතෝකෝටිකයන්
යම් කිසි ගැටළුවක් සම්බන්ධයෙන් පිළිවෙලකට හිතන්න පුළුවන් කමත් ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ට අත්‍යාවශ්‍යයි. ඒකට අපි මේ එක්සයිස් එක කරමු. දැන් ලෝකේ තියෙනවා විවිධ බුද්ධිමය ගැටළු සහ ආචාර ධර්ම සම්බන්ධ උභතෝකෝටිකයන්. ඒවා සමහරක් ඔය දාලා තියෙන ලින්ක්ස් වලින් හොයාගන්නත් පුළුවන්. එක උදාහරණයක් ගමු. ට්‍රොලි ප්‍රශ්නය:
ඔන්න ට්‍රොලියක් රේල් පාරේ එනවා. ඒක එන රේල් පාරේ මිනිස්සු පස් දෙනෙක්ව බැඳලා තියෙනවා. හැබැයි ට්‍රොලිය මිනිස්සු පස් දෙනාව යට කරන්න කලින්, වෙන රේල් පීල්ලකට හරවන්න පුළුවන් රේල් පාරේ බෙදුමකුත් තියෙනවා. අපි ඉන්නේ ට්‍රොලියටත්, මිනිස්සුන්ටත් ඈතින්. හැබැයි අපි ඉන්න තැන තියෙන ලීවරයෙන් පුළුවන් ට්‍රොලිය අනික් රේල් පීල්ලට හරවන්න. හැබැයි ප්‍රශ්නයක්. අනික් රේල් පීල්ලෙත් මනුස්සයෙක් ඉන්නවා. දැන් අපි මොකද කරන්නේ? අපිට මේ කිසි කෙනෙක්ව කෑ ගහලා පාරෙන් අයින් කරගන්න හෝ ට්‍රොලිය නතර කරගන්න හෝ බැඳපු පස් දෙනාව ලිහන්න හෝ බෑ. මේ පස් දෙනාම හෝ එක්කෙනෙක් හෝ මැරෙනවා ඒකාන්තයි. අපි ලීවරය ඇදලා ට්‍රොලිය අනික් පාරට හරවලා ඒ පාරේ ඉන්න එක්කෙනව මැරෙන්න හරිනවද? එහෙම නැතිනම් මොකුත් නොකර ඉඳලා, අර පස් දෙනාට මැරෙන්න දෙනවද?
හිතලා බලන්න. හැබැයි සරලව හිතන්න එපා. ගැඹුරින් හිතලා බලන්න.
Leave a Reply